පොදු අපේක්ෂකයා - සැඟවුණු අමුත්තා හා බොදු බලය

පොදු අපේක්ෂකයා - සැඟවුණු අමුත්තා හා බොදු බලය

ගෙවී ගිය අවුරුදු සමයේ එක්තරා පිටිසරබද ගමක අපූරු බක්මහ උළෙලක් පැවැත්විණි. එහි කැපී පෙනෙන අංගය වූයේ සැඟවුණු අමුත්තා සෙවීමේ තරගයයි. කටහැකර නිවේදකයා පළමුව කියා සිටියේ හිස මුඩු කළ කෙනෙකු සැඟවුණු අමුත්තා වන බවය. ප්‍රේක්ෂකයෝ එතැන් පටන් හාමුදුරුවන් පසුපස යන්නට වූහ. නිවේදකයා දෙවනුව කියා සිටියේ කොණ්ඩය ඩොංකි කැපූ උස මහත කාන්තාවක සැඟවුණු අමුත්තා වන බවය. ප්‍රේක්ෂකයෝ ඉන් පසු කොණ්ඩය කැපූ ගෑනුන් පසුපස හඹා යන්නට වූහ. නිවේදකයා තෙවැනුව කියා සිටියේ රැවුල පැසුණු තට්ටය පෑදුණු ද්‍රවිඩ ජාතික මහත්මයෙකු සැඟවුණු අමුත්තා වන බවය. මෙලෙස සැඟවුණු අමුත්තා තරගය මහා විකාරයක් බවට පත් විය.

අපේ දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක්වන පොදු අපේක්ෂකයා පිළිබඳ මාතෘකාව ද මෙබඳු විකාරයක් යැයි අපට සිතේ. පළමුව පොදු අපේක්ෂකයා ලෙස පෙනී සිටියේ ගෞරවනීය භික්ෂූන් වහන්සේ නමකි. ඉක්බිති උන්වහන්සේ පිළිබඳ විවේචන එල්ලවන්නට පටන් ගත්තේය. එම විවේචනවලට අනුව නම් උන්වහන්සේට කිසි දිනක පොදු අපේක්ෂකයා වීමට බැරිය. දෙවනුව පොදු අපේක්ෂිකාව ලෙස පෙනී සිටියේ ශ්‍රී ලංකාවේ හිටපු දේශපාලන නායිකාවකි. එතුමියට රටේ ඡන්ද තබා තමා උපන් ගමේවත් ඡන්ද නැත. ඊළඟට පොදු අපේක්ෂකයා ලෙස පෙනී සිටි තැනැත්තාට රටේ පොදු අපේක්ෂකයකු වනු තබා එසේ සිතීමටවත් යුක්ති සහගත අයිතියක් නැත. මේ අයුරින් පොදු අපේක්ෂකයා සංකල්පය විකාරරූපී රංගනයක් බවට පත්ව තිබේ.

සමහරු පොදු අපේක්ෂකයා පිළිබඳ සිහින ඇතිව නින්දට යති. තව සමහරු පොදු අපේක්ෂකයා තමන් යැයි සිතමින් තමන් වෙත යෝජනා ඉදිරිපත් වෙතැයි කල්පනා කරමින් ගෙයින් එළියට නොබැස සිටිති. තවත් සමහරු තමන් පොදු අපේක්ෂකයා යැයි කෙළින්ම කියා සිටිති. ඒ විහිළුවට ද ඇත්තට දැයි කියන්නට දන්නේ නැත. කුමක් වුවත් පොදු අපේක්ෂකයා යන්න රටේ දේශපාලන විහිළුවක් බවට පත්ව තිබේ. මේ විහිළුව ඉදිරියටත් පැවතීම දේශපාලනයට හානිකරය.

පොදු අපේක්ෂකයා යනු කවරෙක් ද? ඔහුට තිබිය යුතු මූලික සුදුසුකම් කවරේද? ශ්‍රී ලංකාව යනු සිංහල බෞද්ධ රාජ්‍යයකි. එය දේශපාලන යථාර්ථයක් ලෙස පිළිගත යුතුය. හොඳ බෞද්ධ පදනමක් නැති කෙනෙකුට පොදු අපේක්ෂකයා වීමේ හැකියාවක් නැත. භික්ෂූන් වහන්සේ නමක පොදු අපේක්ෂකයා ලෙස පිළිගන්නට ද මේ රටේ මිනිසුන් කැමැති නැත. අද බංකොලොත්භාවයට පත්ව ඇති දේශපාලන නායකයන්ට ද පොදු අපේක්ෂකයා වීමේ හැකියාවක් නැත. පොදු අපේක්ෂකයා රටම පිළිගත් කොන්දක් ඇති නායකයෙකු විය යුතුය. මේ අනුව පෙනී යන්නේ එකිනෙකා දකින සිහින පොදු අපේක්ෂකයාට අදාළ නැති බවය.

පසුගියදා අරලියගහ මන්දිරයේදී භික්ෂූන් වහන්සේ උදෙසා රැස්වීමක් පැවැත්විණි. එහිදී රාමඤ්ඤ නිකායේ ලේඛකාධිකාරී මාතලේ ධම්මකුසල හිමියෝ නැඟී සිට අපූරු ප්‍රකාශයක් කළහ. මේ ප්‍රකාශයට අනුව නිදහසින් පසු ශ්‍රී ලංකාවේ වෙහෙර විහාර දියුණු වූ අනගි යුගය රාජපක්ෂ යුගයයි. භික්ෂූන් වහන්සේගේ අධ්‍යාපනය සඳහා විශාල ‍මෙහෙයක් සිදු වූ යුගය ද මෙයයි. මාස්පතා අරලියගහ මන්දිරයේ ධර්ම දේශනයක් පවත්වමින් රාජ්‍ය නායකයකු ලෙස රටට මහත් ආදර්ශයක් ලබා දුන් එකම නායකයා මහින්ද රාජපක්ෂ මහතා බව ද ඔහුට කෘතවේදීත්වය පළකිරීම සඳහා ජය පිරිත් දේශනාවට භික්ෂූන් වහන්සේ දහස් ගණනින් සහභාගි වූ බවද ඒ හිමියෝ පෙන්වා දුන්හ. මෙයින් පෙනී යන්නේ භික්ෂූන් වහන්සේගේ කැමැත්ත හා පිළිගැනීම ජනාධිපතිවරයා වෙත පවතින බවය.

යුද ජයග්‍රහණයෙන් පසු මේ රටේ දේශපාලනයේ කැපී පෙනෙන වෙනස්කම් ගණනාවක් ඇති විය. එකක් නම් ප්‍රධාන විපක්ෂය කැබලිකරණයට ලක්වීමය. දෙවැන්න සුළු පක්ෂවල හඬ අවදිවීමය. තෙවැන්න ලැබූ නිදහස යටතේ අලුත් දේශපාලන සංකල්ප හා අලුත් දේශපාලන යෝජනා ඉදිරිපත් වීමය. විවිධ දේශපාලන මතිමතාන්තර පැවතිය ද රටේ බහුතර ජනතාව ජනාධිපතිවරයා සමඟ සිටින බව මෙතෙක් පැවැත්වූ හැම මැතිවරණයකින්ම හොඳ හැටි පැහැදිලි වේ. ඇතැම් විට පොදු අපේක්ෂක සිහිනය තව තවත් අය දකින්නට පුළුවන. විපක්ෂය සමඟ උරණ වූ ජනතාව අලුත් පක්ෂ වෙත ඇදී යන්නට පුළුවන. ආණ්ඩුව සමඟ තාවකාලිකව ප්‍රශ්න ඇතිකර ගත් අය තීරණාත්මක නොවන අවස්ථාවලදී අලුත් පක්ෂ වෙත ඇදී යති. එහෙත් එය දේශපාලන ප්‍රවණතාවක් ලෙස දිගින් දිගටම පවතින්නේ නැත.

එම සත්‍යය බොහෝ දෙනෙකු වටහාගෙන නැත. අවසන් විග්‍රහයේදී පොදු අපේක්ෂකයා යනු රටේ පවතින දේශපාලන ව්‍යාපාර අතුරින් වැඩි ගණනක් නියෝජනය කරන්නා විය යුතුය. ඔහු බොදු බලයෙන් වැඩි හරියක් දිනාගන්නා පුද්ගලයා ද විය යුතුය. සුළු ජාතිකයන් වෙතින් ගෞරවනීය පිළිගැනීමක් නැති කෙනෙකුට ද පොදු අපේක්ෂකයා වීමේ හැකියාවක් නැත. ලෝක දේශපාලනයේදී පිළිගත් හා එඩිතර නායකයෙකු නොවන කෙනෙකුට පොදු අපේක්ෂකයා වීමේ හැකියාවක් නැත. මෙබඳු කෙනෙකු සිටින්නේ නම් ඒ මහින්ද රාජපක්ෂ මහතා පමණි.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා