අපේ දරුවන් බිල්ලට ගන්න කිසිවකුට ඉඩ දෙන්න බැහැ

ඩොලර් හෝ වෙනත් වාසිවලට යටවී

අපේ දරුවන් බිල්ලට ගන්න කිසිවකුට ඉඩ දෙන්න බැහැ

* 88-89 ටයර් සෑ උඩ ගියෙත්-ප්‍රභා නිසා මළේත් රටේ දරුවන්
* රටේ සංවර්ධනයේ ජවය අපේ තරුණ පරපුරයි
* කඩා කප්පල්කාරීන්ට උදවු දීමට ඇතැම් තානාපති කාර්යාල සුදානම්

ජනාධිපති මහින්ද රාජපක්ෂ අවධාරණය කරයි

කාගේවත් ඩොලර් හෝ වෙනත් වාසිවලට අපේ දරුවන් ගොදුරු කර ගැනීමට ඉඩ දිය නොහැකි බව පාසල් දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කර පටු අරමුණු ඉටු කර ගැනීමේ වැඩපිළිවෙළට ආධාර කිරීමට ඇතැම් තානාපති කාර්යාල සූදානමින් සිටියත් අපේ දරුවන් බිල්ලට ගැනීමට කිසිවකුටත් ඉඩ නොතබන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කෙළේය.

1988 - 1989 කාලවල ටයර් සෑයන් උඩ දැවුණේත් යුද්ධයේ දී ප්‍රභාකරන් නිසා මියගියේත් මේ රටේ තරුණ පරපුර බව පෙන්වා දුන් ජනාධිපතිවරයා තරුණ පරපුර යනු මේ රටේ සංවර්ධනයට දායක වන ජවය බවත් මෙසේ නොමඟ යාමෙන් අපට නැති වෙන්නේ ඒ වටිනා සම්පත බවත් පැවසීය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ අදහස් පළ කෙළේ තලාව මහා විද්‍යාලයේ මහින්දෝදය විද්‍යාගාරය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (09) එක්වෙමිනි. රට පුරා මහින්දෝදය පාසල් දහසක් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ යටතේ ඉදිකෙරුණු මෙම විද්‍යාගාරය අංග සම්පූර්ණ ගණිතාගාරයකින්, පරිගණක 25කින් සමන්විත භාෂාගාරයකින්, පරිගණක 40කින් සමන්විත පරිගණකාගාරයකින් සහ දුරස්ථ ඉගෙනුම් මධ්‍යස්ථානයකින් සමන්විතය.

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර දී මෙමස 11 වැනිදා පැවැත්වෙන ලෝක නව නිර්මාණ තරගාවලියට සහභාගී වන, තඹුත්තේගම මහා විද්‍යාලයේ 12 වැනි වසරේ ඉගෙනුම ලබන නාමල් උදාර සිසුවාට ජනාධිපතිවරයාගේ අතින් ලැප්ටොප් පරිගණයක් මෙහිදී පිරිනැමිණි.

පාසල් යන වයසේ දරුවන් තමන්ගේ වුවමනාවන් වෙනුවෙන් වැරැදි මාර්ගයේ ගෙන යන්නට එපා යැයි දේශපාලනඥයන්ගෙන් ඉල්ලා සිටි ජනාධිපතිවරයා මේ රටේ සිටින සියලු දරුවන් අපේ දරුවන් බවත් දරුවන් නොමඟ ගියහොත් මේ කෙරෙන සංවර්ධනයෙන් ඵලක් නැතැයි පැවසීය. කොළඹ නගරයේ කිහිපදෙනකුට සීමා වී තිබූ අධ්‍යාපනය වත්මන් ආණ්ඩුව ගමට ගෙනා බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ගමේ දරුවන් අධ්‍යාපනයෙන් ඉහළට යාමට අවස්ථාව ලබා දීම ඇතැමුන්ගේ ඇහට කටු අනින්නාක් මෙන් වී ඇති බවත් ප්‍රකාශ කෙළේය.

රුවන්වැලි චෛත්‍යාරාමාධිපති, නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයත් උතුරු මැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, ප්‍රධාන ඇමැති එස්. එම්. රංජිත් සමරකෝන්, අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන, විශේෂ ව්‍යාපෘති ඇමැති හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති එස්. එම්. චන්ද්‍රසේන, නියෝජ්‍ය ඇමැතිවරුන් වන ඩබ්ලිව්. බී. ඒකනායක, වීරකුමාර දිසානායක, එස්. සී. මුතුකුමාරණ, පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මහත්වරුන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා