ජනාධිපතිගේ නිහතමානිත්වයට මහා සංඝරත්නයේ ආශිර්වාදය හිමි වෙනවා

ජනාධිපතිගේ නිහතමානිත්වයට මහා සංඝරත්නයේ ආශිර්වාදය හිමි වෙනවා

පැවිදිකමට මහා ශක්තියක් ඇතැයි රුවන්වැලි මහා සෑය විහාරාධිපති කියති

රටේ නායකයා වුවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඇති නිහතමානීත්වයට මහා සංඝරත්නයේ ආශිර්වාදය නිබඳව හිමි වන බව රුවන්වැලි මහා සෑය විහාරාධිපති, නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන හිමියෝ ප්‍රකාශ කළහ.

පල්ලේගම හේමරතන හිමියන් මේ බව ප්‍රකාශ කෙළේ කුලදරුවන් 75 දෙනකු පැවිදි කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුරය ඵෙතිහාසික රුවන්වැලි මහා සෑය අභියස ඊයේ (09) පැවැති පුණ්‍යොත්සවයකට එක්වෙමිනි.

ප්‍රථමයෙන් අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත් ජනාධිපතිවරයා අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නායක හිමිපාණන් වහන්සේ බැහැදැක උන්වහන්සේගේ සුව දුක් විමසා කෙටි පිළිසඳරක නිරත විය.

ඵෙතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳු වැඩ සිටින පරිශ්‍රය ආශ්‍රිතව සිදු කෙරෙන ඉදිකිරීම් කටයුතු ද මෙහිදී ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය. අනතුරුව රුවන්වැලි සෑය විහාරාධිපති පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේ බැහැ දුටු ජනාධිපතිවරයා බැහැ දැක සුව දුක් විමසීය. කුලදරුවන් 75 දෙනකු සසුන්ගත කිරීමේ පුණ්‍යෝත්සවයට ජනාධිපතිතුමා එක් වූ යේ ඉන් අනතුරුවය. සසුන්ගත වූ සාමණේර භික්ෂුන් වහන්සේලා වෙත පිරිකර පුජා කෙළේය.

අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් සහ රුවන්වැලි චෛත්‍යාරාමධිපති පල්ලේගම හේමරතන නාහිමියන් පැවිදි බිමට පත්ව වසර 46ක් සම්පූර්ණ වීම ද ඊයේ ට යෙදී තිබීම සුවිශේෂී කරුණකි.

මහා සංඝරත්නය නායකයකු වශයෙන් ජනාධිපතිතුමාට කැමැත්තක් දක්වන බව පෙන්වා දුන් උන්වහන්සේ මෙවැනි රාජ්‍ය නායකයකුගේ සහභාගීත්වයෙන් මෙම පුණ්‍යෝත්සවය පවත්වන්නට ලැබීම අද පැවිදි බිමට පත් වූ පොඩි හාමුදුරුවන්ට කෙරුණු ගෞරවයක් බවත් සිහිපත් කළහ. රටේ ප්‍රධානියාගේ පමණක් නොව විදේශීය නායකයන්, රජවරුන් වැනි බලවතුන් සමඟ සම මට්ටමින් හෝ ඉහළින් සිටීමට අවස්ථාව හිමි වී ඇත්තේ පැවිදිකමේ, සිවුරේ බලය නිසා බවත් ඒ අධ්‍යාත්මික ශක්තිය, චරිත ශක්තිය මහා වටිනාකමකින් යුක්ත බවත් ප්‍රකාශ කළහ.

භික්ෂූන් වහන්සේලාගේ චරිත ශක්තිය, අධ්‍යාත්මික ශක්තිය හරිහැටි ඇත්නම් ඊට ඉහළින් යන්නට මේ තුන්ලොව කිසිවකුත් සමත් නැති බවත් උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ. උතුරු මැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, ප්‍රධාන අමැති එස්.එම්. රංජිත්, නියෝජ්‍ය අමැති ඩබ්ලිව්. බී. ඒකනායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා