අද එළිදකින ‘කොළඹ ප්‍රකාශනය’ ලෝක තරුණයාගේ ගමන් මඟ තීරණය කරනවා

අද එළිදකින ‘කොළඹ ප්‍රකාශනය’ ලෝක තරුණයාගේ ගමන් මඟ තීරණය කරනවා

ලෝක තරුණ සමුළුවේ නිල ප්‍රකාශනය වන කොළඹ ප්‍රකාශනය අද (10දා) පෙරවරුවේ එළිදක්වන බවත් එය ඉදිරි වසර 10ක 15ක කාලය තුළ ලෝක තරුණයන්ගේ ගමන් මඟ කෙසේ විය යුතුද යන්න තීරණය කරන බව යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ (9) දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා‍ පරිශ්‍රයේදී පැවැසීය.

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන තරුණයන් පිළිබඳ ලෝක සමුළුවේ ක්‍රියාකාරීත්වය පිළිබඳව මාධ්‍ය දැනුවත් කරමින් ඇමැතිවරයා මේ බව පැවසීය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද පැවසීය. මේ සමුළුව සාර්ථකද අසාර්ථකද යන්න පිළිබඳව ජාත්‍යන්තර කථිකාවතක් ඇතිවිය යුතු බවත්, ඒ සඳහා මාධ්‍ය පෙරමුණ ගත යුතුයි.

තරුණයන් පිළිබඳ ලෝක සමුළුවේ සාර්ථකත්වය ප්‍රධාන කාරණා 3ක් ඔස්සේ සලකා බැලිය හැකියි. මේ සමුළුව සඳහා රටවල් 148ක් නියෝජනය කරමින් තරුණ නියෝජිතයන් 608ක් සහභාගී වුණා. 1936න් ඇරැඹි ලෝක තරුණ සමුළු ඉතිහාසයේ වැඩිම සහභාගීත්වය ලැබෙන්නේ මේ සමුළුවටයි. අද පෙරවරුවේ සමුළුවේ නිල ප්‍රකාශනය වන 'කොළඹ ප්‍රකාශනය' එළිදක්වනවා.

එය ඉදිරි වසර 10ක 15ක කාලය තුළ ලෝක තරුණයන්ගේ ගමන්මග තීරණය කරාවි. මීට පෙර පැවැති ලෝක තරුණ සමුළු‍වලදී සමුළු නියෝජිතයන් එක් ප්‍රකාශනයකුත්, ප්‍රතිපත්ති සම්පාදකයන් ලෙස තරුණ කටයුතු ඇමැතිවරුන් එක් ප්‍රකාශනයකුත් නිකුත් කළා. නමුත් කොළඹ ප්‍රකාශනයට සමුළු නියෝජිතයන් සහ ප්‍රතිපත්ති සම්පාදකයන් යන දෙපිරිසම අස්සන් කැර තිබෙනවා.

මේ සමුළුව සාර්ථක අසාර්ථක ද යන්න පිළිබඳව ජාත්‍යන්තර කථිකාවතක් ඇතිවිය යුතුයි. ඒ සඳහා මාධ්‍ය පෙරමුණ ගත යුතු බව මගේ විශ්වාසයයි. හෝටල් කාමරයක අඩුවක් කෑම පැකට් එකක් බෙදාදීමේදී සිදුවූ ප්‍රමාදයක් වැනි කාරණා මේ තුළ සිදු වෙන්න පුළුවනි. මෙවැනි සමුළුවක් සංවිධානය කරද්දී එවැනි දේ විය හැකියි. නමුත් සමුළුවේ සමස්ත වටිනාකම එවැන්නකට ලඝු නොකළ යුතු බව මා විශ්වාස කරනවා.

ඊයේ (9) දා දිනය තුළ නයිජීරියානු තරුණ පිරිසක් ශ්‍රී ලංකාවේදී උද්ඝෝෂණයක නිරත වුණා. එය ශ්‍රී ලංකාවේදී තරුණ සමුළුව අතරතුර ඔවුන්ට සිදුවූ අසාධාරණයක් හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව කළ උද්ඝෝෂණයක් ලෙස සමාජගත විය හැකියි. පසුගිය දිනවල නයිජීරියාවේදී නයිජීරියානු පාසල් සිසුවියන් පිරිසක් අතුරුදන් වෙලා තිබෙනවා. ඔවුන් තරුණ සමුළුවට ලංකාවට පැමිණ මෙස් උද්ඝෝෂණය කළේ එම සිද්ධියටයි. එය නයිජීරියානු තරුණයින් නයිජීරියානු ආණ්ඩුවට එරෙහිව කළ උද්ඝෝෂණයක්. තරුණයන් උද්ඝෝෂණ අරගල කළ යුතුයි. තරුණයන් එවැනි දේ නොකරන්නේ නම් එය තරුණකම පිළිබඳ ප්‍රශ්නයක් යැයි ඇමැතිවරයා පැවසීය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා