දුම්රිය ප්‍රමාදය වළක්වා ගැනීමට රියැදුරන් හා බලධාරීන් පොදු එකඟතාවක සිටිය යුතුයි

දුම්රිය ප්‍රමාදය වළක්වා ගැනීමට රියැදුරන් හා බලධාරීන් පොදු එකඟතාවක සිටිය යුතුයි

දුම්රිය ප්‍රමාදය වළක්වා ගැනීම සඳහා රියැදුරන් හා බලධාරීන් අතර පොදු එකඟතාවයක් ඇති කරගත යුතු යැයි වෘත්තීය සමිති පෙන්වා දෙයි.

මෑතක සිදුවූ දුම්රිය අනතුරු සම්බන්ධයෙන් වැඩිපුර දුම්රිය රියැදුරන් වෙත පමණක් වරද පැටවීමට විරෝධය පාමින් ලොකොමොටිව් රියදුරු සංගමය පෙරේදා(8) දුම්රිය ආරක්ෂා නීතිවලට අනුව කටයුතු කිරීම නිසා දුර ගමන් ඇතුළු සියලු දුම්රිය ගමන් ප්‍රමාදවී ධාවනය කෙරේ.

මේ නිසා රැකියා හා විවිධ රාජකාරි සඳහා යන මගී ජනතාව දැඩි අපහසුතාවයට පත්වී තිබෙන අතර දුම්රිය කාර්ය මණ්ඩල හා මගී ජනතාව අතර මේ සම්බන්ධයෙන් ගැටුම් ඇතිවෙමින් පවතී.

දුම්රිය දෙපාර්තමේන්තුවේ ගමනාගමන අධිකාරි එල්.ඒ.ආර්. රත්නායක මහතා මේ සඳහා ස්ථිර විසඳුමක් ලැබෙනතුරු මගීන්ට වන අපහසුතාවයන් වළක්වා ගැනීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා බව පැවසීය. ලොකොමොටිව් දුම්රිය රියැදුරු සංගමයේ ප්‍රධාන ලේකම් කේ.ඒ.යු. කොන්තසිංහ මහතා මෙම ගැටලුව විසඳා ගැනීම වෙනුවෙන් බලධාරීන් සමග සාකච්ඡාවකට සූදානම් බව පැවසු අතර දුම්රිය අනතුරකදී රියැදුරන් පමණක් නොව ඊට වගකිව යුතු තවත් අංශ වගකිව යුතු බව පෙන්වා දුන්නේය.

මෙහිදී මගී ජනතාවට සිදුවන අපහසුතාව පිළිබඳ කණස්සල්ල පල කරන බව පවසන කොන්තසිංහ මහතා ආරක්ෂක නීතිරීති පිළිපදින විට මෙසේ වේග සීමා ඇතුළු තව අංශ කෙරෙහි අවධානය යොමු කළ යුතු බව අවධාරණය කළේය.

ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ දුම්රිය දෙපාර්තමේන්තුවේ ශාඛාවේ සභාපති නදීර මනෝජ් මහතා වර්තමානයේ දුම්රිය ගමනාගමනය පිළිබඳ ඇති වී තිබෙන අර්බුදය විසඳීමට දෙපාර්ශවය අතර කඩිනමින් එකඟතාවයක් ඇතිවිය යුතු අතර නැත්නම් වේග සීමා ක්‍රමය දිගටම අනුගමනය කළොත් කිසිදිනෙක මගීන්ට කලට වේලාවට ගමන් කිරීම අපහසුවන බව පැවසීය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා