ගොවිතැන අද හොඳ රැකියාවක්

ගොවිතැන අද හොඳ රැකියාවක්

මහින්ද යාපා අබේවර්ධන
කෘෂිකර්ම ඇමැති

කෘෂිකර්ම ක්‍ෂේත්‍රයේ නවෝදය සඳහා ආණ්ඩුව ගෙන ඇති ක්‍රියා මාර්ග මොනවාද, එම ක්‍රියාමාර්ග මඟින් කෘෂිකර්මාන්තයේ වැඩි දියුණුව සැලැසී ඇත්තේ කෙසේ ද සහ තවත් කාලීන හා සමාජ කරුණු ගැන ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතා සමඟ සිදුකළ සාකච්ඡාවකි මේ.

* කෘෂිකර්මාන්තය ඉහළ නැංවූ බවට ආණ්ඩුව දිගින් දිගටම අදහස් පළ කළත් එම කර්මාන්තයේ ප්‍රමාණාත්මක වර්ධනයක් දක්නට නැතැයි ඇතැම් පාර්ශව අදහස් පළ කරනවා. මේ අදහසට ඔබ එකඟ ද?

මේ අදහස්වල කිසිදු සත්‍යතාවක් හෝ පදනමක් නැහැ කියල මං මුලින්ම කියනවා. කෘෂි කර්මාන්තය මීට කලකට පෙර එදා වේල පිරිමසා ගැනීමටත්, යැපීමටත් පමණක් සීමා වූ දෙයක් පමණක් වෙලා තිබුණා. ඒත් අද එහෙම නොවෙයි, ගොවිතැන ගොවිකම ගෞරවනීය වෘත්තියක් විතරක් නොවෙයි, හොඳ ආදායමක් ලබා ගත හැකි රැකියාවක් බවටත් පත් වෙලා තිබෙනවා. අද තරුණ කණ්ඩායම් පවා ගොවිතැනට කෘෂිකර්මාන්තයට උනන්දුව දක්වන පිරිසක් බවට පත්වෙලා තිබෙනවා.

මේ පරිවර්ත-නයට මුලික හේතුව වුණේ අන් දෙයක් නො-වෙයි, මහින්ද චින්තනය තුළ කෘෂි කර්මාන්තයට විශාල තැනක් හා පිළිගැනීමක් ලබා දීමයි. එපමණක් නොවෙයි, ගොවියාට සහ පාරිභෝගිකයාට මේ ආණ්ඩුව යටතේ විශාල වැඩපිළිවෙළක් ඇතිකර තිබෙනවා. මේ තත්ත්වය තුළ ගොවිතැනට නිසි තැනක් හෝ නිසි පිළිගැනීමක් ලබා දී නැහැ කියලා කිසිවකු කියනවා නම් ඒක ඉතාමත් වැරැදි අදහසක්.

* ඔබ ගොවිතැනට කෘෂි කර්මාන්තයට ඉහළ පිළිගැනීමක් ලැබී ඇතැයි ප්‍රකාශ කළත්, ඒ තත්ත්වය තහවුරු කිරීමට ඇති සාධක මොනවා ද?

අද වී කිලෝවකට ඉහළ වටිනාකමක් ලැබිලා තිබෙනවා. එදා රුපියල් දහයට පහළොවට නැතිනම් විස්සට අලෙවි වූ වී කිලෝවට අද ඉහළ සහතික මිලක් ලැබී තිබෙනවා. ඒ නිසා අද කෘෂිකර්මාන්තය කියන්නේ ආදායම් ලැබිය හැකි කර්මාන්තයක් බවට පත්වෙලා තිබෙනවා. ඒ ගොවිතැන පමණක් නොවෙයි, තේ කර්මාන්තය, රබර් කර්මාන්තය ඇතුළු සියලු කෘෂිකාර්මික අංශවලටත් එළවළු නිෂ්පාදකයාටත් හොඳ මූල්‍ය වාසියක් ලබා ගැනීමටත් හැකියාව ලැබී තිබෙනවා. මේ සියලු කරුණු සලකා බැලුවිට මහින්ද රාජපක්‍ෂ යුගයේ දී තමයි කෘෂිකර්මාන්තයට, ගොවිතැනට විශාලම ඉඩක් ලැබිලා තියෙන්නෙ කියලා ඉතාම පැහැදිලියි.

* ඔබ වර්තමාන යුගය ගැන පමණක් කතා කරනවා. පසුගිය යුගයේ බලයේ සිටි ආණ්ඩු කෘෂිකර්මාන්තයට කිසිදු සේවයක් ඉටුකර නැතිද?

එහෙම නොවෙයි, මේ ආණ්ඩුව තමයි විශාලම කාර්යභාරයක් සැලැසුම් සහගත වැඩපිළිවෙළක් ඇතිව කටයුතු කළේ. ඒ නිසා තමයි ගොවි ජනතාවගේ ආර්ථික තත්ත්වය ඉහළ නැංවීමට හැකියාව ලැබුණේ. එපමණක් නොවෙයි අද වී අතිරික්තයක් ඇතිවන තරමටම වී ගොවිතැනෙන් අද රට ස්වයංපෝෂිත වෙලා තිබෙනවා. ඒත් ඔබට මතක ඇති කාලයක් මෙරට සහල් ආනයනය කිරීමට පවා සිදු වුණා. එවැනි තත්ත්වයක සිට තමයි අද තත්ත්වයට කෘෂිකර්මය ඉහළ නැංවීමට අපට පුළුවන් වෙලා තිබෙන්නේ. ඇත්තෙන්ම ආණ්ඩුවක් විදිහට අප ඉතාමත් සතුටට පත් වෙනවා කෘෂි කර්මාන්තයෙන් ස්වයංපෝෂිත තත්ත්වයට රට පත් කිරීමට පුළුවන් වීම ගැන.

* ඔබ කියන තරම් කෘෂිකර්මාන්තයට රජය ලබා දුන් අනුග්‍රහය කුමක් ද?

ගොවීන්ට පොහොර සහනාධාරය ලබාදීම පමණක් ම වුණත් ගොවින්ට ලබා දුන් සුවිශේෂ සහනයක් විදිහට හඳුන්වාදීම වරදක් නොවෙයි. මීට පෙර කිසිදු ආණ්ඩුවක් මේ තරම් විශාල සහනයක් ගොවි ජනතාවට ලබා දුන්නේ නැහැ. ඒ ගැන ගොවි ජනතාව තුළ විශාල ගෞරවයක් හා ප්‍රසාදයක් තිබෙනවා. ඒ නිසා තමයි ඡන්ද ප්‍රතිඵල අනුවත් ගොවි ජනතාව නියෝජනය කරන ප්‍රදේ්ශවලින් ආණ්ඩුවට විශාල සහයෝගයක් ලැබුණේ. ඉදිරියට මේ සහයෝගය අපට නොවෙනස්ව ලැබෙනවා. ඒ ගැන අපට කිසිදු සැකයක් නැහැ. වී ගොවීන්ට පමණක් නොවෙයි. පොල් වගාකරුවන්ටත් සෙසු අංශ වෙතත් අඩු මිල ගණන් යටතේ පොහොර ලබාදීමට ආණ්ඩුව වැඩ කටයුතු සම්පාදනය කර තිබෙනවා.

* එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ විපක්‍ෂය ජාතික මැතිවරණයක් ලබාදෙන ලෙස ඉල්ලීම් කරනවා. මේ ඉල්ලීමට ඉඩ ලබාදීමට ආණ්ඩුව සූදානම් ද?

එජාපයට හෝ විපක්‍ෂයට අවශ්‍ය වෙලාවට මැතිවරණ ලබාදීමට බැහැ. මැතිවරණ කාල සටහන් අනුවයි මැතිවරණ පවත්වන්නේ. අපිට මැතිවරණයකට මුහුණ දීමටත් එම මැතිවරණ ජයග්‍රහණය කිරීමටත් පුළුවන්කම තිබෙනවා. පසුගිය පළාත් සභා මැතිවරණවලින් අපට විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට පුළුවන් වුණා. මේ ප්‍රතිඵල අප ලබාගත්තේ පළාත් සභා මැතිවරණයකින්. ජනාධිපතිවණයක දී හෝ මහ මැතිවරණයක දී අපට මීට වඩා හොඳ ඉහළ ප්‍රතිඵලයක් ලබා ගැනීමට පුළුවන් බව විශ්වාස යි. නියමිත කාලයේ දී ජනාධිපතිවරණයක් සහ මැතිවරණයක් පැවැත්වෙනවා. ඒ ගැන කිසිවකු ප්‍රශ්නයක් ඇති කර ගත යුතු නැහැ. අප එක්සත් ජාතික පක්‍ෂය කළ විදිහට මැතිවරණ සිතියම කිසිම මොහොතක හකුළන්නේ නැහැ.

නියමිත කාලයට නියමිත වෙලාවට මැතිවරණ පවත්වනවා. ඇතැමුන් මැතිවරණයක් ඉක්මනින් ම දෙන්න කියලා ආණ්ඩුවට අභියෝග කර තිබුණා. මේ අයට මේ මොහොත දක්වා බැරිවෙලා තිබෙනවා තමන්ගේ පක්‍ෂය ඇතුළත සමඟිය තහවුරු කර ගැනීමට. නායකයාට විරුද්ධව නියෝජ්‍ය නායකයා කැරලි ගහනවා, නායකයාට මන්ත්‍රීවරු පහරදෙන්න උත්සාහ කරනවා. මේ විදිහේ අබල දුබල දේ්ශපාලන පක්‍ෂවලට ඉදිරියට යාමට තබා තම සිටිනා තැන හෝ ආරක්‍ෂා කර ගැනීමට ලැබුණොත් ඒක පුදුමයක්. ජනතා බලය ජනතා වරම තිබෙන්නේ මේ ආණ්ඩුවට යි. ඒ ගැන අප අතිශයෝක්තියෙන් කියන දෙයක් නොවෙයි. ආණ්ඩුවට ඇති ජනතා ආකර්ශනය තවමත් බිඳකුදු අඩුවෙලා නැහැ.

* ප්‍රජාතන්ත්‍රවාදී මූල ධර්මවලට අභියෝග කරමින් විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකාරකම්වලට බාධා එල්ල කරන බවට චෝදනා එල්ල වෙනවා. මේ ගැන ඔබේ අදහස පැහැදිලි කළ හැකි ද?

විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට කිසිදු බලපෑමක් එල්ල වෙලා නැහැ. ඔවුන්ට නිදහසේ තම ක්‍රියාකාරකම් සිදු කරගෙන යාමට අවශ්‍ය පසුබිම ඇතිකර තිබෙනවා. අද හුදෙකලා සිදුවීමක් පමණක් ගෙන සමස්තයට විවේචනය කිරීම හොඳ දෙයක් නොවෙයි. අනෙක එජාපයට මේ වගේ දේවල් අරගෙන කතා කරන්න සදාචාරවත් අයිතියක් නැහැ. එදා ඔවුන්ට බලය තිබූ කාලයේ දී කටයුතු කළේ කොහොම ද කියලා මුළු රට ම දන්නවා. එහෙම තිබියදී තමයි එක්සත් ජාතික පක්‍ෂය ආණ්ඩුවට එරෙහිව එක් එක් විදිහේ චෝදනා එල්ල කරන්නේ.

* ඌව පළාත් මැතිවරණය දේශපාලන කරළියේ විශේෂ මැතිවරණයක් ලෙසයි දේ්ශපාලන විශ්ලේෂකයන් අදහස් පළ කරන්නේ. මේ ගැන ඔබේ මතය පැහැදිලි කළ හැකි ද?

මම නම් එහෙම විශේෂත්වයක් මේ මැතිවරණය තුළ දකින්නේ නැහැ. ඌව කියන්නේ අපට ඉතාමත් වාසිදායක ප්‍රදේශයක්. ඒ නිසා අපට පහසුවෙන්ම ඌව පළාත් සභා මැතිවරණය ජයග්‍රහණය කිරීමට පුළුවන්.මේ පළාත තුළ අප ආණ්ඩුවක් විදිහට විශාල කාර්ය භාරයක් ඉටුකර තිබෙනවා. සංවර්ධනය පුළුල් කර තිබෙනවා. ඒ ගැන අපට සතුටක් තිබෙනවා වගේම ජනතාවටත් මේ ආණ්ඩුව ගැන විශාල ප්‍රසාදයක් තිබෙනවා.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා