කැකෑරෙන මිනිස් හදවත දමනයට බුදු දහම අගනා ඔසුවක්

කැකෑරෙන මිනිස් හදවත දමනයට බුදු දහම අගනා ඔසුවක්

වියට්නාමයේ පැවැති එක්සත් ජාතීන්ගේ 11 වන වෙසක් දින සැමරුම් උලෙළේ දී අගමැති දි.මු. කියයි

බෞද්ධ දර්ශනය ලෝකයේම පිළිගැනීමට ලක්වෙමින් පවතින අවදියක මිනිස් ආවේගශීලී හැගීම් පාලනය කිරීම සඳහා බුදු දහමේ ඉගැන්වීම් උපයෝගී කර ගත යුතු යැයි අගමැති ආචාර්ය දි.මු.ජයරත්න මහතා පැවැසීය.

ලෝකයේ ඇතැම් රටවල් දුරාචාරයට යොමු වන්නේ සමාජයේ පවතින වැරැදි නිසා බවත් ඔවුන් නිසි මඟට ගෙන ඒමේ වගකීම සමස්ත ලෝකයාටම පැවරෙන්නක් බවත් අගමැතිවරයා කීවේය. බෞද්ධයන් වන අප අන් අයට සෑම විටම කරණාව, මෛත්‍රිය, දයාව දක්වන පිරිසක් විය යුතු අතර ඒ මානුෂීය ගුණාංගයන්ගෙන් ඉවත් වන පුද්ගලයා මෙන්ම සමාජය ද පරිහානියට පත් වෙනවා.

 අගමැති ආචාර්ය දි.මු.ජයරත්න මහතා, එක්සත් ජාතීන්ගේ 11 වන වෙසක් දින සැමරුම් උළෙලේ විශේෂ දේශනය කළ අවස්ථාව.

එක්සත් ජාතීන්ගේ 11 වන වෙසක් දින සැමරුම් උළෙල වියට්නාමයේ, නින්හ් බින්හ් ප්‍රාන්තයේ බායි ඩින්හ් විහාරස්ථානයේදී ආරම්භ වූ අතර එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විශේෂ දේශනයක් පවත්වමින් අගමැතිවරයා එසේ කීවේය.

වියට්නාම ජාතික බෞද්ධ සංඝ සභාවේ මෙහෙවී මෙන් රටවල් අනූවක මහා සංඝරත්නය එක් දහස් පන්සියයක් හා දසදහසකට අධික බෞද්ධ සම්භාවනීය ආරාධිතයන්ගේ සහභාගීත්වයෙන් ආරම්භ වූ මෙම සැමරුම් උළෙල 11 වන දින දක්වා එම විහාරයේදී පැවැත්වේ.

තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම ශතවර්ෂ විසිහයකට වඩා පැරැණි වුව ද ඒ දේශනාව එදා සිට මේ දක්වාම අඛණ්ඩව පිළිගැනීමට ලක් වෙන බවත් ජයරත්න මහතා පැවැසීය. මහා භාරතයේ සම්භවය ලැබූ බුදුදහම පිළිබඳ බටහිර ඇතුළු ලෝකයේ විවිධ රටවල් අධ්‍යයන හා පර්යේෂණ පවත්වන බව පැවැසු අගමැතිවරයා බුදු දහමේ ඉගැන්වීම් හොඳින් අධ්‍යයනය කොට භාවනා ආදියෙන් විවිධ මාර්ග ඵල කරා ගමන් කරන පිරිස් නිවන් මග ප්‍රාර්ථනා කරමින් බෞද්ධ දර්ශනයේ විපුල ඵල අත්කර ගන්නා බව කීවේය.

අගමැති දි. මු ජයරත්න මහතා මෙසේ ද කීය.

1998 නොවැම්බරයේදී ශ්‍රී ලංකාවේ දී පැවැත්වූ ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනයේ නිර්දේශයන්ට පිළිතුරු ලෙස 1999 දෙසැම්බර් මස පවත් වන ලද එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනය වෙසක් දින උත්සවයට ජාත්‍යන්තර පිළිගැනීමක් ලබාදෙනු සඳහා ඒකමතිකව ප්‍රඥප්තියක් සම්මත කර ගත්තා.

ඒ යටතේ වියට්නාම් රජය විසින් කැඳවන ලද අන්තර් රාජ්‍ය බෞද්ධ සම්මේලනයක් වන මෙම වැදගත් අවස්ථාවේ දී අප අද සාකච්ඡාව සඳහා යොදා ගත් එක්සත් ජාතීන්ගේ සහශ්‍ර ඉලක්ක ළඟා කර ගැනීම උදෙසා බෞද්ධ දර්ශනය යන තේමාව නූතන ජාත්‍යන්තර තත්ත්වයන්ට ඉතා හොඳින් අදාළ වෙනවා. ලෝකය සංවර්ධන ඉලක්ක කරා සීඝ්‍රයෙන් පියමං කරන විට ඔවුන්ට සාරධර්ම අමතක වන බව අමුතුවෙන් කිව යුතු නැහැ. නමුත් අපට හෘද සාක්ෂිය මෙන්ම අපගේ ආගමට පරිබාහිරව හැසිරිය නොහැකියි. ඒ නිසා තමන් කවර තරාතිරමක් දැරුව ද සාධාරණ සමාජයක් නිර්මාණය කිරීම සඳහා හෘද සාක්ෂියට එකඟව ක්‍රියාකළ යුතුයි.

එක්සත් ජාතීන්ගේ එකසිය අනූ එකක් වන සියලු සාමාජික රටවල් විසින් 2015දී අත්කර ගැනීමට පොරොන්දු වී ඇති එක්සත් ජාතීන්ගේ සහශ්‍ර සංවර්ධන ඉලක්කයන් ගණන අටකි. 2000 වර්ෂයේ සැප්තැම්බරයේ දී අත්සන් තබන ලද එක්සත් ජාතීන්ගේ සහශ්‍ර ප්‍රකාශනය මගින් දුප්පත්කම, කුසගින්න, ලෙඩ රෝග, නිරක්ෂරතාව, පාරිසරික විනාශය, කාන්තා හිංසනය පිටුදැකීම සඳහා ලෝක නායකයින් විසින් පොරොන්දු වුණි. එම සහශ්‍ර සංවර්ධන ඉලක්ක සඳහා විශේෂිත වූ ඉලක්කයන් හා දර්ශකයන් ඇත. ඊට සමගාමීව බෞද්ධ දර්ශනය රැක ගැනීම හා ආරක්ෂා කිරීම වෙනුවෙන් මේ අයුරින් ලොව රටවල් රැසක් ඉදිරිපත්වීම පිළිබඳ මම බෙහෙවින් සතුටට පත්වෙනවා.

විශ්වීය ජනවාර්ගික පද්ධතියේ පදනමක් සේ ගත් කළ බෞද්ධ ඉගැන්වීම් මගින් සමාජයීය සහජීවනය හා විශ්වීය සාධක ප්‍රවර්ධනය කිරීමට දායක වෙනවා. අව්‍යාජ සාමයක් හා සංවර්ධනයක් ළඟා කර ගැනීමට නම් රටක ආර්ථිකය සංවර්ධනය කරන්නේ යම් තාක් ද එරටෙහි මිනිසුන්ගේ ආධ්‍යාත්මය ද ඒ හා සමානව සංවර්ධනය කළ යුතුයි.

ජාතික සංඝ සම්මේලනයේ සභාපති න්‍යුයෙන් සිංහ් යුන්ග් හිමිපාණන් වහන්සේ, වියට්නාම කථානායක න්යුයෙන් සින්හ් ය්‍යුන්ග්, එක්සත් ජාතීන්ගේ වියට්නාම නේවාසික සම්බන්ධීකාරක ප්‍රතිභා මෙතා මහත්ම මහත්වරුන්, උගන්ඩා ටොරෝ රාජධානයේ රජු එච්.එම්.කින්ග් ඔයෝ ඇතුළු දෙස් විදෙස් සමභාවනීය ආරාධිතයෝ විශාල පිරිසක් ද සහභාගි වී සිටියහ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා