ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර නව ගුවන් ගමන් සේවා ගිවිසුමක්

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර නව ගුවන් ගමන් සේවා ගිවිසුමක්

නව ගුවන් ගමන් සේවා ගිවිසුමක් සඳහා ශ්‍රී ලංකාව හා නවසීලන්තය අත්සන් තබයි. එම ගිවිසුම වෙනුවෙන් විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී.එල් පීරිස් සහ නවසීලන්ත ප්‍රවාහන ඇමැති ජෙරී බ්‍රවුන්ලී මහත්වරුන් අතර අත්සන් තැබූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලංකාව සහ නවසිලන්තය අතර නව ගුවන් සේවා ගිවිසුමට විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී.එල් පීරිස් සහ නවසීලන්ත ප්‍රවාහන ඇමැති ජෙරී බ්‍රවුන්ලී මහත්වරුන් අත්සන් තැබූ අයුරු.

නවසීලන්තයේ නිල සංචාරයක නිරත වූ විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ව්‍යාපාර සබඳතා මෙන් ම ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ද වර්ධනය කිරීමේ රජයේ ප්‍රතිපත්තියට අනුව ගුවන් ගමන් මාර්ග සම්බන්ධතා සම්බන්ධයෙන් එරට රජය සමඟ සාකච්ඡා කළේය.

ඒ යටතේ නවසීලන්ත ප්‍රවාහන ඇමැතිවරයා සමඟ ද්විපාර්ශ්වික ගුවන් සේවා ගිවිසුමකට ඕක්ලන්ඩ්හි දී අත්සන් තැබූ අතර මෙම ගිවිසුමට අනුව ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ උන්නතිය උදෙසා මෙමගින් වැදගත් කාර්ය භාරයක් ඉටුවනු ඇත.

මෙම සංචාරයේ දී ජී.එල් පීරිස් මහතා ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන සංවර්ධනය සහ ශ්‍රී ලංකාවේ පශූ විද්‍යාව හා සම්බන්ධ විශ්වවිද්‍යාල සමඟ සහයෝගිතාව සවිබලගැන්වීම සම්බන්ධයෙන් ද නවසීලන්තයේ ප්‍රකට විශ්වවිද්‍යාලයක් වන මැසේ විශ්ව විද්‍යාලයේ දී සාකච්ඡා පැවැත්වීය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලය සමඟ එළඹි සහෝදර ගිවිසුමකට අනුකූලව, මැසේ විශ්වවිද්‍යාලය මේ වනවිට පශු විද්‍යා විෂය සම්බන්ධයෙන් සහ පශු සම්පත් කර්මාන්තයේ උපාධිධාරීන්ගේ ධාරිතාව වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් තාක්‍ෂණික නායකත්වය ලබා දෙන අතරම ව්‍යාපෘති කළමනාකරණ නිපුණතා සඳහා පහසුකම් සැලසීමෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට සහාය ලබාදෙයි.

ශ්‍රී ලංකා - නවසීලන්ත කිරි නිෂ්පාදන අංශය හා සම්බන්ධ සහයෝගිතා ගිවිසුම් යටතේ, යෝග්‍ය කිරි නිෂ්පාදන ව්‍යාපෘතියක් ඇරඹීම පිළිබඳව විදේශ ඇමැතිවරයා, මැසේ විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උප කුලපති මහාචාර්ය රොබර්ට් ඇන්ඩර්සන් මහතා හා එම විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ අධ්‍යක්‍ෂ මයිකල් ඕ ෂෝග් නෙයි මහතා සමඟ ද සාකච්ජා කළේය.

ශ්‍රී ලාංකීකයන්ට විධිමත් පදනමකින් මැසේ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබිය හැකි ශිෂ්‍යත්ව ගිවිසුමක් පිළිබඳව ද මෙහිදී වැඩි දුරටත් අවධානය යොමු කෙරිණි. කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය හා නවසීලන්තයේ මැසේ විශ්වවිද්‍යාලය අතර සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම තව දුරටත් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ජා කෙරිණි.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා