වංචනික ලෙස පුද්ගලයකු රවටා ඉඩමක් අත්කරගත් චීවරධාරියාට වැඩ වරදී

වංචනික ලෙස පුද්ගලයකු රවටා ඉඩමක් අත්කරගත් චීවරධාරියාට වැඩ වරදී

අමරපුර නිකායේ සංඝ සභාව විසින් භික්ෂු ධුරයෙන් ඉවත්කරන ලද හිමිනමක් යලිත් සිව්රු පොරවාගෙන රුපියල් ලක්ෂ 25 ක් පමණ වටිනා ඉඩමක් වයෝවෘද්ධ පුද්ගලයෙකු රවටා ලබාගෙන වටිනාකම රුපියල් ලක්ෂ 4ක් බව සඟවමින් ඒ සම්බන්ධයෙන් ඔප්පුවක් අත්සන් කරගෙන වංචාවක් සිදු කර ඇතැයි නීනිඥ කසුන් ජයරත්න මහතා පාණදුර අතිරේක දිසා විනිසුරු සහ ප්‍රධාන මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා හමුවේ 08-05-14 දින කියා සිටියේය.

පමුණුගම සීලරතන නමින් අධිකරණය හමුවේ පෙනී සිටි චීවරධාරියා මෙම නඩුවේ විත්තිකරුය . ඔහු චෝදනා ලබා සිටියේ පාණදුර පමුණුගම බෝධිරුක්ඛාරාම විහාරයට යාබදව පිහිටි පර්චස් 10 විශාල ඉඩමේ පදිංචි වී සිටි වයෝවෘද්ධ පුද්ගලයෙකු වු ඇඩෝ සිල්වා නැමත්තාගේ ඉඩම ඔහු රවටා ඔප්පුවක් ලියා ගෙන වංචාවක් කිරීම සම්බන්ධයෙනි.

මෙම ඉඩම රුපියල් ලක්ෂ 25 ක් වටින අතර ඔප්පුවේ සඳහන් කර ඇත්තේ රුපියල් ලක්ෂ 4 කට එම ඉඩම මිලදී ගත් බවයැයි නීතිඥවරයා අධිකරණයට පැවසීය. පොලිසියද එය පිලිගත්තේය. මෙම වයෝවෘද්ධ පැමිණිලිකරුට නෑදෑයින් නැත. ඔහු ජීවත්වනතුරු ඔහුව නඩත්තු කරන බවට පොරොන්දුවී විත්තිකාර චීවරධාරියා පමුණුගම බෝධිරුක්ඛාරාම පන්සලට යාව තිබෙන ඔහුගේ ඉඩම වංචාවෙන් ලබාගෙන ඇති බවද පොලිස් පරීක්ෂණයෙන් අනාවරණය වී ඇති බවද නීතිඥවරයා අධිකරණයට පැවසීය.

මෙම වීවරධාරියා භික්ෂුධූරයෙන් අමරපුර සංඝ සභාව විසින් ඉවත් කිරීමේදී ප්‍රකාශයට පත් කළ නිල නිවේදනයද නීතිඥවරයා අධිකරණයට ඉදිරිපත් කළේය. භික්ෂුවේශයෙන් පෙනී සිටින මෙම විත්තිකරු ගිහියෙකු මිස භික්ෂුවක් නොවන බව නීතිඥ කසුන් ජයරත්න මහතා තවදුරටත් අධිකරණයට පැවසීය. අදාළ විහාරස්ථානයේ කාමරයක නාඩගම් නැටූ මෙම විත්තිකරු ලඟ තිබී අසභ්‍ය සී.ඩී. තැටි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන වෙනම නඩුවක් ඔහුට විරුද්ධව මෙම අධිකරණයේ පවරා තිබෙන බවද නීතිඥවරයා අධිකරණයට කියා සිටියේය.

පාණදුර පොලිසියේ විශේෂ අපරාධ සහ වංචා අංශයේ සැරයන් හේරත් මහතා අධිකරණයට කරුණු දැක්විය. නඩුව විභාග කිරීමට තීරණය කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නඩුව අගොස්තු මස 7 දිනට කල් දැමීය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා