මාර්ග ආරක්ෂාව ගැන ජාතික දිනයක්

මාර්ග ආරක්ෂාව ගැන ජාතික දිනයක්

මාර්ග රිය අනතුරු අවම කරමින් සුරක්ෂිත මාර්ග පද්ධතියක් ශ්‍රී ලංකාවාසී ජනතාවට ලබා දීමේ අරමුණින් “ජාතික මාර්ග ආරක්ෂණ දිනයක්” නම් කිරීමට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව තීරණය කර ඇත.

මේ දිනය ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ඉදිරියේ දී නම් කිරීමට නියමිත බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති නීතිඥ ගාමිණී ඒකනායක මහතා පවසයි. මෙහිදී රාජ්‍ය, රාජ්‍ය නොවන සංවිධාන හා අනිකුත් සියලු සම්බන්ධිත ආයතන හා එක්ව මාර්ග ආරක්ෂාව පිළිබඳ විවිධ වැඩ සටහන් ක්‍රියාත්මක කිරීමට ද නියමිතය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය 2011 – 2020 කාල සීමාව මාර්ග ආරක්ෂාව පිළිබඳ දශකය ලෙස නම් කර ඇති අතර මීට සමගාමීව 2011 මැයි 11 වන දින ජාතික මාර්ග සුරක්ෂිතා සමුළුවේ දී 2011 – 2020 කාල සීමාව ශ්‍රී ලංකාවේ ද මාර්ග ආරක්ෂාව පිළිබඳ දශකය ලෙස නම් කර ඇති බවද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකාවේ දිනකට මාර්ග රිය අනතුරු හේතුවෙන් 6 – 7ක් මිය යන අතර 115ක් පමණ බරපතළ තුවාල ලබති. මෙම මාර්ග අනතුරු හේතුවෙන් පවුලේ එකම ආදායම උපයන්නා මිය යාම නිසා පවුලේ සාමාජිකයන් අනපේක්ෂිත ලෙස බරපතළ ආර්ථික ප්‍රශ්නයන්ට මුහුණදීමට සිදු වෙයි.

තවද, මාර්ග රිය අනතුරු හේතුවෙන් බරපතළ ලෙස තුවාල ලබන අයට ප්‍රතිකාර ලබාදීම සඳහා රජය විශාල මුදලක් වැය කරති. මාර්ග රිය අනතුරු අවම කර ගැනීමට හැකි වුවහොත් ප්‍රතිකාර සඳහා වියදම් කරන මුදල් අධ්‍යාපනය, නිවාස හා විදුලිය වැනි යටිතල පහසුකම් සංවර්ධනයට යොදා ගත හැකි බව ද සභාපති නීතිඥ ගාමිණී ඒකනායක මහතා අවධාරණය කර සිටියි.

මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව මාර්ග අනතුරු වැළැක්වීමේ ජාතික ආයතනය ලෙස 1998 අංක 5 දරන මෝටර් රථවාහන පනතට ගෙන එන ලද සංශෝධනය මඟින් ස්ථාපිත කර තිබේ. මෙම ජාතික සභාව පොලීසිය, මාර්ග සංවර්ධන අධිකාරිය, ගමනා ගමන කොමිෂන් සභාව ඇතුළු ආයතන 17ක ප්‍රධාන නිලධාරී මණ්ඩලයක් නියෝජනය කෙරේ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා