කෝපයට පත් මගීහු පොල්ගහවෙල කළඹති

පන්සිය පනස් ජාතක පොත් වහන්සේ නව තාක්ෂණයෙන්

2559 වෙසක් උළෙල නිමිත්තෙන් පන්සිය පනස් ජාතක පොත් වහන්සේ නව තාක්ෂණය මඟින් ඩිජිටල් මාධ්‍යයට ඉදිරිපත් කෙරෙන “විශ්ව බලධර්ම සංගෘහිත චෛත්‍යරාජයාණන් වහන්සේ” රටට හඳුන්වා දීමේ මංගල උළෙල අද (10) දින පස්වරු 5.05 ට ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 10 මාලිගාකන්ද මහා පිරිවෙන් විහාරස්ථානයේදී පැවැත්වේ.

එම ඩිජිටල් තාක්ෂණික උපකරණ චෛත්‍යයක අනුරුවක් තුළ සකසා ඇත. ප්‍රථම විශ්ව බලධර්ම සංගෘහිත චෛත්‍ය රාජයාණන් වහන්සේ ජනාධිපතිතුමාට පිරිනැමීම බුද්ධ ශාසන හා ආගමික අමාත්‍යාංශයේ නියෝජ්‍ය ඇමැති එම්. කේ. ඩී. එස්. ගුණවර්ධන මහතා විසින් සිදුකෙරේ.

පන්සිය පනස් ජාතක පොත අවශ්‍ය විටෙක ශ්‍රවණය කළ හැකි වන සේ සංගෘහිත චෛත්‍ය රජාණන් වහන්සේ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය විසින් සැලසුම් කරන ලද්දකි. මෙය ජනාධිපතිතුමාගේ බෞද්ධ කටයුතු උපදේශක බෙංගමුවේ නාලක හිමියන්ගේ සංකල්පයකි.

ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය හා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශ හා පොලිස් දෙපාර්තමේන්තුව එක්ව මෙම ශාසනික මෙහෙවර කර ඇත. ‍මෙය හා සමගාමීව එකම වේලාවක තෝරාගත් විහාරස්ථාන 550 කදී මෙම චෛත්‍ය රාජයාණන් වහන්සේ දොරට වැඩීමට නියමිතය.

අමාත්‍යාංශයේ ලේකම් එම්. කේ. බී. දිසානායක, මෙහි සංකල්පකරු වන බෙංගමුවේ නාලක හිමියන්, කෘතියේ නිර්මාතෘ ලෙස්ලි රංජිත් රාජසේකර හා පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාව වර්ණවත් කරනු ඇත. ‍මීට අමතරව පන්සිය පනස් ජාතක පොත පදනම් කරගනිමින් කෙටි චිත්‍රපට වීඩි‍යෝ චිත්‍රපට පනහක් නිර්මාණය කිරීමට අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා