ජිනීවා යෝජනාවෙන් ශ්‍රී ලංකාවට යහපතක් සිදුවන්නේ නැහැ

ජිනීවා යෝජනාවෙන් ශ්‍රී ලංකාවට යහපතක් සිදුවන්නේ නැහැ

ජපානය අවධාරණය කරයි

“ශ්‍රී ලංකාව පිළිබඳ ජිනීවා හි මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව ශ්‍රී ලංකාවේ ප්‍රගතියට ඉවහල් වනු ඇත්දැයි වනු අප විමර්ශනය කළා. අපේ නිගමනය වුණේ එසේ නොවන බවයි.

ඒ නිසයි අප ඡන්දය දීමෙන් වැළකී සිටියේ” යනුවෙන් ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය සෙයිජි කිහාරා මහතා ඊයේ සවස අරලියගහ මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවේ පැවැසීය.

ජපාන උප ඇමතිවරයා නිල චාරිකාවක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටී. “මේ සත්‍යය ලෝකයට කියන්න” ජනාධිපති රාජපක්ෂ මැතිතුමා කිහාරා මහතාගෙන් ඉල්ලීමක් කළේය. “ජිනීවා යෝජනාව ගෙන ආ කණ්ඩායම කරන ඉල්ලීම්වලින් අන්තර්ජාතික පරීක්ෂණය හැර අන් සියලු දේ අප ඉටු කරමින් සිටිනවා”, එතුමා කීය.

අන්තර්ජාතික වේදිකාවල දී ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය වන බවට ජපාන උප ඇමතිවරයා සහතික විය. “අන්තර්ජාතික ආයතන පිළියෙල කරන අගතිගාමී වාර්තා ජපානය පිළිගන්නේ නැහැ. ගැටලු එකින් එක විසඳා ගැනීමට ශ්‍රී ලංකාව සමත් බව අපට විශ්වාසයි”, කී කිහාරා මහතා අන්තර්ජාතික ප්‍රජාවට ශ්‍රී ලංකාවේ යථාර්ථය පැහැදිලි කළ යුතු බව සඳහන් කළේය.

ජනාධිපති රාජපක්ෂ මැතිතුමා පසුගිය වසරේ ජපානයේ කළ චාරිකාව සිහිපත් කළ කිහාරා මහතා එහිදී අස්සන් තැබුණු ගිවිසුම් ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කිරීමට ඉවහල් වූ බව පැවැසීය. ජනාධිපතිතුමාගේ නායකත්වය මේ ප්‍රගතියට බලවත් පිටිවහලක් විනැයි කී ඔහු ආර්ථික, වෙළෙඳ ආයෝජන හා සාමුද්‍රීය ආරක්ෂාව යන අංශවල ශ්‍රී ලංකාව සමග සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීමට ජපානය අපේක්ෂා කරන බව ප්‍රකාශ කළේය.

“ජපානය අපේ සමීප මිතුරෙක්. ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම ආයෝජනය කර ඇති රට” යයි පැවසු රාජපක්ෂ මැතිතුමා ජපාන ආධාර ඇතිව යාපනයේ ඉදිකළ රෝහල දිවයිනේ දැනට ඇති හොඳම රෝහල බව පෙන්වා දුන්නේ ය. ජපාන විදේශ අමාත්‍යාංශයේ නිරිත දිග ආසියානු අංශයේ අධ්‍යක්ෂ මකොතෝ මත්සුදා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති නොබුහිතෝ හොබෝ මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් කිහාරා මහතා සමග පැමිණ සිටියහ.

සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා සහ විදේශ අමාත්‍යාංශයේ ලේකම් ෂෙනුකා සෙනෙවිරත්න මහත්මිය සාකච්ඡාවට සහභාගී වූහ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා