අවබෝධයෙන්

අවබෝධයෙන් කලකිරුණු කෙනා ප්‍රබෝධවත්

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

නාවලපිටියේ

අනුරාධා සුධම්මිකා

මෙහෙණින් වහන්සේ,

සිංහල අධ්‍යයන අංශය,

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

මෙරට දසසිල් මාතාවන් සහ භික්ෂුණීන් වහන්සේලා මුහුණදෙන විවිධ ප්‍රශ්න සහ ධර්ම කාරණා පිළිබඳ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, නාවලපිටියේ අනුරාධා සුධම්මිකා මෙහෙණින් වහන්සේ සමඟ කළ කතාබහකි මේ.

l සිල් මාතාව සහ මෙහෙණින් වහන්සේ අතර වෙනස අප අර්ථ කථනය කරගත යුත්තේ කුමන ආකාරයටද?

සිල් මාතාවක් කියන්නෙ සාමණේර ශීලය රකින පැවිදි කාන්තාවන්ට. මෙහෙණින් වහන්සේ නමක් කියන්නේ පැවිද්දේ ඉහළම තත්ත්වය වන උපසම්පදාව ලැබූ පැවිදි කාන්තාවකටයි.

බුද්ධ කාලයේදී සිල් මාතා කියලා වචනයක් තිබුණෙ නෑ. කොහොම වුණත් මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කළාට පස්සෙ රජ මෙහෙසිය වුණ අනුලා දේවිය ඇතුළු කාන්තාවන් පිරිසක් ධර්මය අසා පැහැදිලා සඝමිත් මහ රහතන් වහන්සේ මෙරටට වඩිනතෙක් බලාසිටි බව මහා වංසයේ සඳහන් වෙනවා.

ඒ අය දස සිල් මාතාවන් විදිහට සිටි උපාසිකා පිරිසක්. මේ සිදුවීම වුණේ ක්‍රි. පූ. තුන්වැනි සියවසේදී. ඒ කාලයේදී වුණත් උපාසිකා යන වචනය භාවිත වුණා මිසක්, සිල් මාතාව යන වදන භාවිත වී නෑ. ‘මහණ’ සහ ‘මෙහෙණි’ යන වචන අප භාවිත කරන්නේ ගෞරවාර්ථයෙන්.

අනුරාධපුර යුගයේ අග භාගය සහ පොළොන්නරු යුගයේ මුල් භාගය වෙද්දි ලංකා මෙහෙණි සසුන විවිධ දේශපාලන ගැටුම් සහ ආරවුල් නිසාත්, රාජ්‍ය අනුග්‍රහය නොලැබීම නිසාත්, රජවරුන්ට වඩාත් සමීපව සිටියේ භික්ෂූන් වහන්සේලා නිසාත් යන විවිධ කරුණු කාරණා හේතුවෙන් මෙහෙණින් වහන්සේලා දකින්න ලැබෙන්නේ නෑ.

කෙසේ වුවත් 1905 වගේ කාලය වනවිට නැවතත් මෙරට සිල් මාතා පරපුරක් ඇතිවුණා. එය සිදුවුණේ බුරුම රටේ ශාසනගත අයගේ මූලිකත්වයෙන්. ඊට පසුවත් විවිධාකාරයේ උන්නති සහ අවනති වරින්වර ඇති වුණත්, සිල් මාතා පරපුර අභාවයට ගියේ නෑ.

1986 වසරේ ප්‍රේමදාස යුගයේදී එතුමාගේ මැදිහත් වීමෙන් කුලදැරියන් සියයක් අනුරාධපුරයේදී පැවිදි කළා. එය සිල් මාතා පරපුරේ චිරස්ථිතිය වෙනුවෙන් සිදුකළ මහඟු මෙහෙයක්. එදා පැවිදිවුණු එම කුල දැරියන් සිය දෙනාගෙන් කෙනෙක් විදිහට මා හඳුන්වන්න පුළුවන්. එදා අනුරාධපුරයේදී පැවිදි වුණු අප සැමට ම ‘අනුරාධා’ යන නම භාවිත කළා. එදා ඒ අයුරින් සිදු කෙරුණු එම මාහැඟි කර්තව්‍ය, මෙරට පැවිදි කාන්තා පරපුර ධෛර්යවත් කිරීමක් වුණා.

1998 වසර වන විට මෙරට භික්ෂූණී පරපුර නැවතත් බිහි වෙනවා. එහිදී සිදු කෙරුණෙ දීර්ඝ කාලයක් පැවිදිව සිටි සිල් මාතාවන්ට උපසම්පදාව ලබා ගැනීමට මඟ පෑදීමයි. ඒ අවස්ථාවේදී ලාබාල සිල් මාතාවන්ට පවා උපසම්පදාව ලබා ගැනීමට හැකි වුණා. එතැන් පටන් ශ්‍රී ලංකාවේ සිල් මාතාවන් හා මෙහෙණින් වහන්සේලා යන පාර්ශ්ව දෙකක් ඇති වුණා.

l සිල් මාතාවක් සහ මෙහෙණින් වහන්සේ නමක් වෙන් වෙන් වශයෙන් හඳුනාගත හැක්කේ කොහොමද?

බාහිර ස්වරූපය අනුව දැකීමෙන් හඳුනාගන්න බෑ. ඇසුරු කිරීමෙන්ම තමයි හඳුනාගන්න පුළුවන් වෙන්නෙ. ‘සංවාසේන ඛෝ භික්ඛවේ සීලං වේදිතබ්බං’ යැයි බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නෙ, කෙනෙක්ගෙ ශීලය හඳුනාගත හැකි වන්නේ ඇසුරු කිරීමෙන් ම බව හැඟවීමටයි.

l බුදුන් වහන්සේ පහළ වුණේ‍, කාන්තාව අවමානයට ලක්වෙමින්, අඩු වරප්‍රසාද ලබමින්, බමුණු මත අනුව කටයුතු කෙරුණු යුගයකයි. එවන් කාලයක කාන්තාව පිළිබඳ බෞද්ධ මතය කෙබඳුවී ද?

බුදු රජාණන් වහන්සේ කිසිම අවස්ථාවක කාන්තාව පහත් තත්ත්වයට ඇද දමලා, දෙවැනි තැනට දාලා කතා කරලා නෑ. කොසොල් රජතුමාට දියණියක් ලැබුණුවිට බුදු හිමියන් පැවසුවේ ඇය හොඳින් පෝෂණය කරන්න, අනාගතයේදී ඇය පතිවත රකින සිල්වත්, බුද්ධිමත් කාන්තාවක් වේවි කියලයි.

ඉත්ථිභාවෝ නොකිං කයිරා
චිත්තංහි සුසමාහිතෝ
ඥානම්හි වත්තමානම්හි
සම්මා ධම්මං විපස්සතෝ

යන සෝමා තෙරණියගේ උදාන ගීයෙන් කියැවෙන්නෙ, සිත සමාධිගත කළ හැකි නම්, ඥානයේ වර්ධනය සහ වත්මානත් පිරිය හැකිනම්, යහපත් ධර්මයේ හෙවත් විදර්ශනා ඥානය උපදවාගත හැකිනම්, ස්ත්‍රී භාවය කුමක් කරයි ද යන අදහසයි.

ස්ත්‍රී භාවයට වඩා ඥාන ශක්තිය උත්කෘෂ්ඨ බව සලකලා මඟ පෙන්වූ අවස්ථා බෞද්ධ සාහිත්‍ය තුළ බොහෝ අවස්ථාවල හමු වෙනවා. එබඳු දැක්මක් බුදුරජාණන් වහන්සේට පැවැති නිසා තමයි, සම්බුද්ධ ශාසනයේ ඥානයෙන් හා ඍද්ධියෙන් අගතැන්පත් අග්‍ර ශ්‍රාවිකාවන් දෙනමක් වගේම තවත් විවිධ ශඛ්‍යතා විශේෂතා පැවැති භික්ෂුණීන් වහන්සේලා විවිධ අග තනතුරු ලබන්නෙ.

ඒ වගේම තමයි කාන්තාවන් අතුරින් විශාඛා මහ උපාසිකාව, චූල සුභද්‍රාව වැනි සෝවාන් කතුන් වගේම, බුජ්ජුත්තරා, වේළුකන්ඨකී නන්දා මාතා වැනි අනාගාමී තත්ත්වයට පත්වුණ කාන්තාවන් ශාසනයේ රැඳී සිටි නිසා, ඒ අය අනුගමනය කරන්න යැයි බුදුරජාණන් වහන්සේ උපදෙස් දී තිබුණේ. බුද්ධ මාතා ගෙදර බුදුන් අම්මා වැනි ගෞරවණීය වදන් කාන්තාව ඇමතීමට යෙදුවෙ කාන්තාව කෙරෙහි උන්වහන්සේ තුළ පැවැති ගෞරවය නිසයි.

මේ අනුව අපට පැහැදිලි වෙන්නේ කාන්තාව කෙරෙහි පැවැති බමුණු මතවලට වඩා, බෞද්ධ දෘෂ්ටිකෝණය වෙනස් ‍බවයි.

l ඒත්, කාන්තා පැවිද්ද ලබාදීමට ප්‍රමාද කිරීම මගින් පෙනෙන්නෙ එවකට පැවැති සමාජ තත්ත්වය අනුව බුදු හිමියන් කටයුතු කළ බව යැයි සමහරු තර්ක කරනවා.

ඒ අදහස සම්පූර්ණයෙන්ම වැරැදි එකක්. ඒ කාලෙ ජෛන ආගමේ පරිබ්‍රාජිකාවො ඕනතරම් හිටියා. භික්ෂුණී ශාසනය පිහිටුවීමේ ප්‍රමාදයක් නෙමෙයි වුණේ. බුදු රජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පස්වැනි වර්ෂයේදී කිඹුල්වතට වැඩිවේලේ පැවිදි වීමට වරම් ලබාදෙන ලෙස ඉල්ලා සිටියෙ යශෝදරාවයි. එතෙක් එවැනි ඉල්ලීමක් ඉදිරිපත් වූ බවට සාක්ෂි නෑ. ප්‍රථමයෙන් ම ඇය පැවිදි කළානම් සමාජ අපවාද එන්න පුළුවන්. ඒ නිසා කාන්තා පැවිද්ද පිළිබඳ ප්‍රථම ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා.

ශාඛ්‍ය කෝලීය දෙපාර්ශ්වයෙන් 500ක් දෙනා පැවිදිවූ අවස්ථාවේ, එම කුමාරවරුන්ගේ දේවීන්වහන්සේලා 500ක් දෙනා තම කුමාරවරු මුණගැසීමේ අරමුණෙන් ප්‍රජාපතී ගෝතමිය හරහා පැවිද්ද ලබාගැනීමට ඉල්ලීම් කරනවා. ඔවුන්ගේ අරමුණ දුකින් නිදහස්වීම හෝ නිර්වාණය නොවන නිසා ඒ අවස්ථාවෙදිත් බුදු රජාණන් වහන්සේ මේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා.

සුදොවුන් රජ පිරිනිවීමෙන් පසු ප්‍රජාපතී ගෝතමිය පැවිදි වීමට නැවත අවසර පතනවා. ඒ සමීප කාලයේදී පැවිද්ද ලබා දුන්නොත් වැන්දඹුවන්ගේ පරපුරක් බවට මෙය පත්වේ යැයි හිතලා උන්වහන්සේ තෙවැනි ඉල්ලීමත් ප්‍රතික්ෂේප කළා.

බුදු රජාණන් වහන්සේ භික්ෂූන්ට දේශනා කළේ, ‘ආ‍රණ්‍යගතෝවා, රුක්ඛමූලගතෝවා, ශුන්‍යාගාරගතෝවා කියලයි. ඒත් කාන්තාවකට ඒ අයුරින් වැඩ වාසය කරමින් කල් ගෙවීමේදී භාහිර අනාරක්ෂිත බව නිසාත් මෙසේ ප්‍රතික්ෂේප වීමට ඉඩ තිබුණා.

ඒ කාලෙ වනවිට භික්ෂුණීන් සඳහා වෙනම ආරාම නොවූ නිසාත්, එවැනි සම්පත් එකවර ලබාදීමට අපහසු වීමත්, ස්ත්‍රී ලක්ෂණ නිසා ඇය සුරක්ෂිත කිරීමේ ගැටලුත් කාන්තාවට පැවිදි බව ලබාදීමට පෙර බුදු හිමියන් හිතන්නට ඇතැයි සිතිය හැකියි. මෙවැනි බොහෝ කරුණු නිසා කාන්තාවට පැවිද්ද ලබා දීමට කාලයක් ගතවුණා.

කාන්තාවට පැවිද්ද ලබා ගැනීමට නම්, අෂ්ඨගරුධර්ම පිළිගන්න සිදුවුණා. එහි එන යම් යම් නීතිවලින් භික්ෂුණියට අඩු වටිනාකමක් ලැබී තිබෙනවා යැයි කෙනෙක්ට තර්ක කරන්න පුළුවන්.

අෂ්ඨගරුධර්ම ඉදිරිපත් කළේ ප්‍රජාපතී ගෝතමියට මිස, සමස්ත පැවිදි කාන්තා පරපුරටම නෙමෙයි. ඒත් පසුකාලීනව විනය පොත ලියැවී තිබෙන්නෙ හැමෝටම අදාළ කරලයි. මේ පිළිබඳ විවිධ අය විවිධ මත දරන්න පුළුවන්. ඒත් ගරුධර්ම ඉදිරිපත් කළේ පැවිදි කාන්තාව අවමානයට ලක් කිරීමට නෙමෙයි.

l බුදුන් කල මාර්ගඵල ලද භික්ෂුණියන් වගේම ගිහි කාන්තාවන් පවා හිටියා. වත්මන් සමාජය තුළ එවැනි සිවුවනක් පිරිසක් නොමැති වීමට හේතුව මොකක්ද?

වත්මන් සමාජයෙන් එවැනි අය සිටින්න පුළුවන්. අධ්‍යාත්මික දියුණුවක් ලැබූ අය සිටිය හැකියි. ඒ තත්ත්වයට පත්වූවන් කවුරුවත් තමා මගපල ලැබුවා යැයි පවසන්නේ නෑ. මේ නිසා වත්මන් සමාජය තුළ එවැන්නක් නැතැයි අපට කොහෙත්ම කියන්න බෑ.

l අපේ රටේ පවතින්නෙ පුරුෂ මූලික සමාජයක්. එවන් තත්ත්වයක් තුළ භික්ෂුණීන් වහන්සේලාට වගේම දසසිල් මාතාවන්ට ලැබෙන්නෙත් අඩු තක්සේරුවක්. ඔබ වහන්සේලාත් සමාජය හමුවේ විවිධ ගැටලුවලට ලක්වෙනවා.

ඒ සම්බන්ධයෙන් මට බොහෝ අත්දැකීම් තිබෙනවා. මා විවිධ අපහසුතාවලට ලක්වූ අවස්ථා තිබෙනවා. බොහෝ මෙහෙණින්වහන්සේලා සිල් රැක්කත්, ගුණදම් පිරුවත්, සමහර භික්ෂූන් වහන්සේලා ඉදිරියේ අපහසුතාවට ලක්වෙනවා.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමේදී භික්ෂූ, දසසිල්මාතා යන දෙපිරිසම එක්ව අසුන්ගෙන හිටියත්, සාමාන්‍ය සමාජයේදී භික්ෂූන් වහන්සේට වඩා පහත් අසුනක අසුන් ගතයුතු යැයි පවසන අවස්ථා තිබෙනවා. ඒත් මධ්‍යස්ත මත දරන භික්ෂූන් වහන්සේලා කවමදාකවත් භික්ෂුණිය අපහසුතාවට ලක්වන විධිහට ක්‍රියා කරන්නේ නෑ.

l අද වනවිට විවිධ ප්‍රශ්න නිසා කලකිරීම, පැවිදිවීමට හේතුවක් බවට පත්ව තිබෙනවා. මේ පිළිබඳ ඔබ වහන්සේගේ මතය මොකක්ද?

කලකිරීම මහණ වීම සාර්ථකවුණ අවස්ථා වගේම අසාර්ථක වුණ අවස්ථා තිබෙනවා. ඒකට හේතුව ශරීරය පැවිදි කළාට හිත පැවිදි නොවීමයි. අවබෝධයෙන් කලකිරුණු කෙනා ප්‍රබෝධවත්.

‘සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාණ සච්ඡිකරණත්ථාය’ යන පාඨයෙන් කියවෙන්නේ සියලු දුක් නැතිකර ගැනීමටත්, නිවන සාක්ෂාත් කර ගැනීමටත් පැවිදි වන බවයි. පැවිද්දේ අරමුණ විය යුත්තේ එයයි.

l වත්මන් සමාජයේ වෙසෙන කාන්තාව විවිධ ප්‍රශ්නවලින් පෙළෙනවා. ස්ත්‍රී දූෂණ, හිංසනය, ඝාතන වැඩිවෙමින් පවතිනවා. කාන්තාව මුහුණ දෙන මෙවැනි ගැටලුවලින් ඔවුන් මුදාගැනීමට මෙහෙණින් වහන්සේලා ලෙස දායකත්වය සැපයිය හැක්කේ කුමන ආකාරයටද?

අපට කරන්න පුළුවන් ජනතාවට අවබෝධය ලබාදීම පමණයි. ප්‍රශ්නවලින් පෙ‍ෙළන කාන්තාවන්ට අප උපදේශනය ලබාදෙනවා. අප කොපමණ උපදෙස් දුන්නත්, ඒවා සුරක්ෂිත කර ගැනීම තමන් සතු කාර්යයක්.

අප ජීවත් වෙන්නෙ කෙලෙස් පිරුණු ලෝකයකයි. ඒ නිසා අවබෝධය ඇතිව ජීවත් විය යුතුය. සිල්වත්ව ආරාමික කටයුතු කරමින්, දායකකාරකාදීන්ගේ දානමාන, භාවනා පිංකම්, බෝධිපූජා, පිරිත් පිංකම්වලට දායක වෙමින් නිහඬව අමිල මෙහෙවරක් කිරීමට මෙරට මෙහෙණින් වහන්සේලා කටයුතු කරනවා.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා