බෞද්ධයාගේ අරමුණ විය යුත්තේ දැහැමි ජීවිතයක්

ශ්‍රාවස්තිෙය් ධම්මික හිමියන්ගේ හොඳ ප්‍රශ්නයට හොඳ පිළිතුරක් කෘතියේ සිංහල පරිවර්තනය

- 8 කොටස

බෞද්ධයාගේ අරමුණ විය යුත්තේ දැහැමි ජීවිතයක්

l මම විශ්වාස කරන්නේ බෞද්ධයෝ සම්පූර්ණයෙන්ම නිර්මාංශ විය යුතුයි කියායි. ඔවුන් මස් මාංශ ආහාරයට ගැනීම වරදක් බව මට හැ‍ඟෙනවා.

මස් මාංශ ආහාරයට ගැනීමෙන් සපුරාම වැළැකිය යුතුයි කියා නියමයක් බෞද්ධ ප්‍රතිපදාවෙ නැහැ. මස් මාංශ කෑමෙන් වැළැකිය යුතු යැයි බුදුන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවකයන්ට පැනවීමක් සිදු කර නැහැ. සම්පූර්ණයෙන්ම නිර්මාංශ නොවූවත් ඉතා හොඳ දැහැමි ජීවිත ගත කරන බෞද්ධ පිරිස් අපට දැකගත හැකියි.

l කෙනෙක් මස් මාංශ අනුභව කරනවා කියන්නේ ඔහු වක්‍රාකාරයෙන් සත්ව ඝාතනයකට සම්බන්ධ වනවා කියන එකයි. එසේ වූ විට පළමුවැනි සිල්පදය බි‍ඳෙනවා නේද?

මස් මාළු කන විට කෙනෙක් වක්‍රාකාරයෙන් සත්ත්ව ඝාතනයට වගකිව යුතු වන බව සත්‍යයක්. එහෙත් එළවළු ආහාරයට ගන්නා විටත් කිසියම් ආකාරයක සත්ත්ව ඝාතනයකට ඔබ වක්‍රාකාරයෙන් වගකිව යුතු වන බව මදක් කල්පනා කර බැලීමේ දී පෙනී යනවා.

ඇයි මා එසේ කියන්නේ? ගොවියෙක් එළවළු වගා කිරීමේ දී නොයෙක් ආකාරයේ කෘමිනාශක වර්ග භාවිතා කරනවා. කෘමි සතකු විසින් ඇති කරන ලද කිසිදු සිදුරක්, පළුද්දක් නැතිව හොඳ පෙනුමෙන් යුත්. එළවළු ඔබට වෙළෙඳපොළෙන් මිලදී ගත හැකි වන්නේ ඒ නිසාය.

අනෙක් අතට ඔබ පාවිච්චි කරන සම් පටි, සම් අත් බෑග් ආදිය නිෂ්පාදනය කරන්නත් යම් සත්ත්වයකුට ජීවිතය පුදන්නට සිදුවනවා නේද? තෙල් වර්ග, සබන් වර්ග ඇතුළු වෙළෙඳ පොළේ ඇති දහසකුත් එකක් පරිභෝජන භාණ්ඩ නිපදවීමටත් විවිධාකාරයෙන් සත්ත්ව කොටස් යොදාගෙන තිබෙනවා.

ඒ අනුව බැලූ විට, කිසිදු ආකාරයක සත්ත්ව ඝාතනයකට වක්‍රාකාරයෙන් හෝ වගකිවයුත්තෙක් නොවී එදිනෙදා ජීවිතය ගත කළ නොහැකි බව පෙනී යනවා. මෙය එක් අතෙකින් පළමුවැනි ආර්ය සත්‍ය පැහැදිලි කිරීමට ඉදිරිපත් කළ හැකි උදාහරණයක් ද වෙනවා. දුක්ඛ සත්‍යයෙන් කියැවෙන්නේ සාමාන්‍යයෙන් අප ගත කරන මේ ජීවිතය දුකෙන් හා අතෘප්තියෙන් වෙළී පවතින බවයි. දුක මත ලෝකය පිහිටා තිබෙනවා.

පළමුවැනි සිල්පදය ගැන ඔබ සඳහන් කළ නිසා මෙයත් කිව යුතුයි. පාණාතිපාතා වේරමණී සික්ඛා පදං සමාදියාමි එනම් පරපණ නැසීමෙන් වැළැකීම කියා ශික්ෂා පදය සමාදන් වී එය ආරක්ෂා කිරීමෙන් කෙනෙක් සත්ත්ව ඝාතනයකට සෘජුවම වගකිව යුත්තෙක් වීමෙන් වැළැකෙනවා.

l මහායාන බෞද්ධයෝ මස් මාළු කන්නේ නැහැ නේද?

චීනයේ මහායාන බෞද්ධ සම්ප්‍රදාය තුළ නිර්මාංශ වීම සඳහා විශාල පෙළඹවීමක් ඇති කරනවා. එහෙත් ජපානයේ හා ටිබෙටයේ තත්ත්වය ඊට වෙනස්. ඒ රටවල භික්ෂූන් වහන්සේ සහ උපාසක උපාසිකා යන දෙපිරිසම සාමාන්‍යයෙන් මස් මාංශ අනුභව කරනවා.

l ඒ වුණත් මම නම් තවමත් විශ්වාස කරන්නෙ බෞද්ධයන් අනිවාර්යයෙන්ම නිර්මාංශ විය යුතු බවයි.

එක් මිනිසෙක් සිටිනවා, සම්පූර්ණයෙන්ම නිර්මාංශ ආහාර තමයි ඔහු අනුභව කරන්නේ. එහෙත් ඔහු ආත්මාර්ථකාමියි; වංකයි; ලෝභයි. තවත් කෙනෙක් සිටිනවා මස් මාංශ ආහාරයට ගත්තත් ඔහු අනෙක් අය ගැන සිතා බලා කටයුතු කරනවා. දයාව, කරුණාව සහ අවංකකම ඔහු තුළ තිබෙනවා. මේ දෙදෙනාගෙන් වඩාත් හොඳ බෞද්ධයා කවුරුන්ද?

l අවංක, කාරුණික සහ අන් අය ගැන සිතා කටයුතු කරනා තැනැත්තා ඒ දෙදෙනා අතරින් වඩාත් හොඳ බෞද්ධයා බව කිව හැකියි.

ඇයි ඔබ එහෙම තීරණය කළේ?

l එවැනි කාරුණික තැනැත්තකු තුළ හොඳ හදවතක් පවතින බව පැහැදිලියිනෙ

ඇත්තෙන්ම මස් මාළු අනුභව කළා වූවත් කෙනෙකු තුළ පිරිසිදු හදවතක් තිබිය හැකියි. මාංශ ආහාරයට ගන්නේ නැතත් කෙනෙකුගේ හදවත අපිරිසිදු නම් එහි වටිනාකමක් නැහැ. බුදු හිමියන්ගේ දේශනාව අනුව, වඩාත් වැදගත් වෙන්නේ පවිත්‍ර හදවත මිස ආහාරවේලෙහි අඩංගු වන දෙය නොවෙයි.

සමහරුන් තමන්ගේ ආහාර වේලෙන් මස් මාංශ ඉවත් කර ගැනීම පිළිබඳ ලොකු උනන්දුවක් දැක්වූවත් තමන්ගේ හදවතේ තිබෙන ලෝබකම, ආත්මාර්ථකාමී බව, වංකකම හා ඊර්ෂ්‍යාව වැනි දුර්ගුණ ගැන ඒවා ඉවත් කර ගැනීම ගැන කොහෙත්ම සැලකිල්ලක් දක්වන්නෙ නැහැ.

ඔවුන් තමන්ගේ ආහාරවේලෙන් මස් මාංශ ඉවත්කරනවා. එය කිරීම සිතෙන් අපිරිසිදු දුර්ගුණ ඉවත්කිරීමට වඩා ඉතා පහසු නිසා. එහෙත් මතක තබාගන්න බුදු දහමේ ඉගැන්වීම්වලට අනුව මස් මාංශවලින් වැළැකීමට වඩා වැදගත් වන්නේ සිත පිරිසිදු කර ගැනීමයි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා