තැලසීමියා මැඩ පිබිදුණු මල් කැකුළ

තැලසීමියා මැඩ පිබිදුණු මල් කැකුළ

වෛද්‍ය විද්‍යාවට අභියෝග කළ පැටියා

ඕ තරුණ මවකි. කුඩා කාලයේ පටන් ම තැලසීමියා රෝගයෙන් පෙළුණු ඈ එවැනි රෝගයකින් පෙළෙන බව වෛද්‍යවරුන් දැන හඳුනා ගත්තේ ඉපදී මාස තුනක් නික්ම යන්නටත් මත්තෙනි. කැකිරාව, මරදන්කඩවල, මිදිවත්ත ප්‍රදේශයේ පදිංචි ඉසුරිකා කලණී ඉලංගසිංහ නැමැති ඇය මෙම රෝග තත්ත්වයෙන් පෙළෙන බව තහවුරු වීමත් සමඟ මසකට වරක් ඕ පොසිටිව් වර්ගයේ රුධිරය ලබා ගත්තේ වෛද්‍ය උපදෙස් මතයි.

තවමත් නිශ්චිත ප්‍රතිකාර සොයාගෙන නොමැති රෝග ලැයිස්තුවට අයත් තැලසීමියා රෝග තත්ත්වය සමාජයෙන් තුරන්කිරීම සඳහා ගත හැකි ස්ථිර විසැඳුම තැලසීමියා දරුවන් ලොවට බිහිවීමේ ඉඩකඩ ඇහිරීම යි. මෙම රෝගයේ දී සිරුරේ රතු රුධිරාණු නිෂ්පාදනයේ දී පවතින ගැටලුකාරී තත්ත්වයත් නිසා අනිවාර්යෙන්ම මසකට වරක්වත් රුධිරය ලබාදීම කළ යුතුවෙයි. කෙසේ වෙතත් පිටතින් ශරීරයට රුධිරය ලබාදීමේ දී ද ශරීරයේ යකඩ ප්‍රමාණය වැඩි ඒවා හෘදය වස්තුවේ වකුගඩුවල සහ අක්මාවේ තැන්පත් වීම නිසා අඩු වයසින් මෙම රෝගීන් ජීවිතක්ෂයට පත් වීම නොවැළැක්විය හැකි කාරණයකි.

තැලසීමියා රෝගියකුගේ ආයුකාලය ඉතාමත් අඩු වුණත් වර්තමානයේ වෛද්‍ය විද්‍යාවේ දියුණු ප්‍රතිකාර විධි ක්‍රම නිසා එවැනි රෝගීන්ට තවත් යම් ආයු කාලයක් පිළිබඳ බලාපොරොත්තු තබා ගැනීමේ වාසනාව උදා වී තිබේ. එසේ වුවත් ජීවත්වීම පිළිබඳ ආශාව දෛවෝපගත කාරණාවකින් හෝ විසැඳුවද කාන්තාවකට ඔවුන් ජීවිතය අපේක්ෂා කරන සොඳුරුතම සිහිනය දකින්නට ද වරම් නොලැබෙයි. විශේෂයෙන් කාන්තාවකගේ ශරීරයේ සිදු වන ස්වභාවික හෝර්මෝන ක්‍රියාවලියත් තැලසීමියා තත්ත්වයෙන් පෙළෙන කාන්තාවකගේ ශරීරයේ ඇති වන සංකූලතාවත් අතර ගැටුම නිසා මෙවැනි තැනැත්තියකට දරු ගැබක් පිහිටීම ද සිදුවන්නේ නැත. එසේ දරු ගැබක් පිහිටිය ද මුල් අවස්ථාවේදීම සිදුවන ගබ්සාවක් හෝ මළ දරු උපතක් අනිවාර්යය.

තැලසීමියා රෝග තත්ත්වය කාන්තාවකට එරෙහිව දක්වන මෙම අකාරුණික ප්‍රතිචාරය හොඳින් ම දන්නා වෛද්‍යවරු මෙවැනි අයට දරුවකු සාදා ගැනීමට කිසිසේත්ම උපදෙස් නොදෙයි. දරු ගැබ විනාශ වීමටත් වඩා එවැනි අවස්ථාවක මවගේ ජීවිතයට සිදුවන මාරාන්තික බලපෑමද නොවැළැක්විය හැකිය.

කෙසේ වෙතත් විවාහයකින් පසු තැලසීමියා දරුවකු බිහිවන්නේ මවගේ සහ පියාගේ රුධිරය එකිනෙකට නොගැළපීම නිසා යි. විවාහ වීමට අපේක්ෂිත සෑම යෞවන යෞවනියකටම රුධිර සාම්පලයක් පරීක්ෂා කර තමා තැලසීමියා රෝගියෙක් ද, එසේත් නැත්නම් තැලසීමියා වාහකයෙක් ද එසේත් නැත්නම් සියයට සියයක්ම මෙම අවස්ථා දෙකටම අයත් නොවන සාමාන්‍ය අයෙක් ද යන්න සැක හැර දැන ගන්නා ලෙස උපදෙස් ලබා දී තිබේ. මෙම රුධිර පරීක්ෂාව සිදු කර නොමැති අයට අනිවාර්යෙන්ම ගර්භණී සායනයකදී තමාගේ සහ ස්වාමිපුරුෂයාගේ රුධිර වාර්තාවක් ඉදිරිපත් කිරීමට ද වෛද්‍යවරු උපදෙස් ලබා දෙති.

තැලසීමියා රෝගියෙකුට විවාහයට බාධාවක් නැත. සමාජ සම්මතයන් ඊට හරස් වුව ද සමස්ත සත්ව වර්ගයාට වුවමනා කරන ආදරය, රුකවරණය, ප්‍රතිවිරුද්ධ ලිංගිකයකුගේ ප්‍රේමය හෝ ආකර්ෂණය කිසිසේත්ම බාධාවක් නැත. නමුත් තමන්ට දාව දරුවකු බිහි නොකරගන්නා ලෙස වෛද්‍යවරුන් උපදෙස් දෙන්නේ මවුපිය සංවාසයෙන් උපදින දරුවා අනිවාර්යෙන්ම තැලසීමියා රෝගියකු බවට පත්වීම සියයට සියයක්ම ප්‍රත්‍යක්ෂ බව වෛද්‍ය පරීක්ෂණවලින් සනාථ වීම නිසා ය.

නමුත් ඉකුත් 23 වැනි දින ආශ්චර්යමත් සිදුවීමක් සිදු විය. තැලසීමියාවෙන් පෙළෙන ඉසුරිකා තරුණ මව නිරෝගී දරු‍ෙවක් බිහි කළා ය. මෙම පුවත මාධ්‍යයට ප්‍රවෘත්ති මවන අසාමාන්‍ය සිදුවීමක් වුවා පමණක් නොව වෛද්‍යවරුන් ද විමතියට පත් කිරීමට හේතු විය.

2013 ජනවාරි මස විවාහ දිවියට පත් ඉසුරිකාට වෛද්‍ය උපදෙස් ලැබුණේ මොනයම් හේතුවක් නිසාවත් දරුවකු පිළිසිඳනොගන්නා ලෙස ය. මේ නිසා ම ඉසුරිකා සිය ආදරණීය ස්වාමිපුරුෂයාගේ ද අනුදැනුම මත උපත්පාලන ක්‍රමයක් පාවිච්චි කළාය. නමුත් ඔවුන් අතින් සිදු වූ යම් අතපසුවීමකින් හෝ යොදාගත් උපත්පාලන ක්‍රමයේ දෝෂයකින් හෝ අනපේක්ෂිතව ඇයට දරු ගැබක් පිහිටියා ය.

ඉසුරිකා ගර්භණීභාවයට පත්වීම ඇයටත් ඇයගේ පවුලේ අයටත් වඩා භාරධුර වගකීමක් හිස මතට ගන්නට සිදුවූයේ වෛද්‍යවරුන්ටය. මැරෙන්නට පණ අදින රෝගීන්ට වඩා ජීවත්වීමේ භාග්‍ය උදාකර දෙන ඔවුහු නම් මිහිපිට වසන දෙවිවරු ය. අනුරාධපුර වෛද්‍ය පීඨයේ මහාචාර්ය සායනික ඒක ප්‍රධාන නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය නන්දන ප්‍රියංකර හෙට්ටිගම, නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය කුමාර දිසානායක, ව්‍යාදිවේදි රෝහිණී ප්‍රනාන්දු, රක්තවේදී විශේෂඥ ඉරේෂා ධර්මසේන යන වෛද්‍ය කණ්ඩායම මෙම භාරධූර කාර්යයට උරදුන්හ.

“ඇය තැලසීමියා රෝගියෙක් අනපේක්ෂිතව ඇය ගැබ්ගෙන. මෙය ඉතාමත් අවදානම් සහගත තත්ත්වයක් නමුත් අපට ඇයව අත්හරින්නට බෑ.

මිනිසුන් අතර දෙවිවරු වසන්නේ යැයි සත්‍යක් කොට පසක් ලූ නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය නන්දන ප්‍රියංකර මහතා දිනමිණට සිය හඬ අවදි කළේය.

තැලසීමියා මවක් ගර්භණීභාවයට පත් වුණොත් මවට හෝ දරුවාට හෝ දෙදෙනාගේම ජීවිතයට අනතුරුදායකයි. නමුත් මෙම අනපේක්ෂිත සිදුවීම සැහැල්ලුවෙන් සැලකීමට වෛද්‍යවරුන් හැටියට අපිට කළ හැක්කක් නොවෙයි. මේ නිසා උපදින්නට සිටින දරුවා කුමන තත්ත්වයකින් පසුවිය හැකිද කියන පූර්ව නිගමනයට නොයා අපි තැලසීමියා රෝගියකුට සහ ගර්භණී මවකට යන තත්ත්ව දෙකම සලකා බලා ඇයට ප්‍රතිකාර ලබා දුන්නා. ඇයගේ ශරීරයේ තැන්පත් වන වැඩි යකඩ පාලනය කිරීමට සේලයින් මඟින් බෙහෙත් ලබා දුන්නා......”

ගර්භණී මුල් අවස්ථාවේ පටන් ම විශේෂඥ වෛද්‍යවරුන්ගේ පරීක්ෂණවලට භාජනය වුණු අතර එහිදී පිළිසිඳගත් කළලය ගබ්සාවක් වීම හෝ දරුවා මවු කුසක නිසි ලෙස නොවැඩීම හෝ වැනි ගැටලු නොමැති නීරෝගී මවකගේ කුස තුළ නීරෝගී දරුවකු වැඩෙන අයුරින් ම මෙම ක්‍රියාවලිය සිදුවිය. තවද මවගෙන් සංකූලතා ලක්ෂණ පහළ නොවීමත් වෛද්‍යවරුන්ගේ අස්වැසිල්ලට හේතු විය.

තම ජීවිතය අවදානමකට රැගෙන යන රෝගයකින් පෙළෙන බව කිසිසේත්ම නොසිතූ ඉසුරිකා තම කුළුඳුල් කිරිකැටියාගේ මුහුණ දැක ගන්නට නොඉවසිල්ලෙන් පසු වූවා ය. තම ජීවිතය කොතරම් කාලයක් හෝ රැකදෙන ඉෂ්ට දේවතාවා තම දුවා ද සුරකින බව පමණක් විශ්වාසයට ගත් ඈ අවදානම පසෙකලා සුබදායී හැඟීම් තුළින් සියලු අවස්ථාවන්ට මුහුණ දුන්නා.

සති මාස ගෙවී කෙමෙන් ගර්භය මෝරද්දී දරු ප්‍රසූතියට ආසන්න ලකුණු පහළ විය. මේ මොහොතේ වෛද්‍යවරුන් පිහිට ඕනෑවටත් වඩා ඇයට ලැබිණි. නන්දන ප්‍රියංකර වෛද්‍යතුමා මේ භාරධුර අවස්ථාව පැහැදිලි කළේ මෙලෙසින් ය.

“සාමාන්‍යයෙන් සති 34 – 35 ක් වන විට ගර්භණී මවක් රෝහලට ඇතුළත් කරන ලෙස වෛද්‍යවරුන්ගෙන් උපදෙස් ලැබෙනවා. නමුත් ඒ පිළිවෙළට අනුගමනය නොකර අපි තව දවස් කිහිපයක් බැලුවා. අපිට අවශ්‍යවුණේ ඇයගේ දරුවා සාමාන්‍ය ක්‍රමයට බිහිවීමට ඉඩ ප්‍රස්ථා ලබාදීමයි. නෝමල් විදිහට දරුවා බිහිවන විට ඇති විය හැකි ප්‍රශ්නකාරී තත්ත්වයන් අවමයි. අනෙක සිසේරියන් සැත්කමකට ඇය භාජනය කළොත් සාමාන්‍යයෙන් සිදුවන රුධිර වහනයක් වුණත් ඇයට අහිතකර ලෙස බලපාන්න පුළුවන්. නිසි දින වකවානුවේදී ඇය ප්‍රසූත වේදනා පහළ වුණ නමුත් ඒ අවස්ථාවේ දරුවාගේ හෘද ස්පන්ධනයේ ඇතිවුණු වෙනස්කම් නිසා සිසේරියන් ක්‍රමයට දරුවා ගැනීමට අපි තීරණය කළා.......”

මේ අයුරින් ඉකුත් 23වැනි දින දසමස් කුසේ දරා රැක ගත් ඉසුරිකාගේ සිඟිති දරුවා මෙලොව එළිය දුටුවේය. දරුවා සියයට සියයක්ම නීරෝගී දරුවෙක් විය. ඉතා හොඳ උපත් බරක් ද සහිත සිඟිත්තා සිය මවගේ ස්නේහයෙන් උපන් රන්කිරි තොළගාමින් සුවසේ පසුවිය.

මෙවැනි ආශ්චර්යමත් දරු උපතක් ලංකාවෙන් වාර්තාවුණු පළමු අවස්ථාව මෙය විය. ලෝක වාර්තා අනුව ද මෙය පළමු හෝ දෙවැනි සිදුවීම වනවාට කිසිදු සැකයක් නැති බැව් වෛද්‍යතුමා පැහැදිලි කළේ මෙලෙසිනි. සාමාන්‍යයෙන් මෙවැනි තැලසීමියා මවක් එකවර දරුවන් හතරදෙනෙක් බිහිකළොත් එම දරුවන් හතරදෙනාගෙන් දෙදෙනෙක් අනිවාර්යෙන්ම තැලසීමියා වාහකයන් වෙනවා. අනෙක් දරුවා අනිවාර්යයෙන්ම තැලසීමියා රෝගියෙක් වෙනවා. ඉතාමත් දුර්ලභ අවස්ථාවක් විදිහට සෙසු දරුවා පමණක් නිරෝගී අයෙක් වෙන්න ඉඩ තිබෙනවා. තැලසීමියා මවකගෙන් සිවුදරු උපතක් සිදුවීම දුර්ලභ කාරණයක් වන්නා සේම රෝගි මවකගෙන් නිරෝගී දරුවකු ලොවට බිහිවීමත් විශ්වය ජනක සිදුවීමක්....”

නීරෝගී දරු ප්‍රසූතියකින් පසු සංකූලතාවලින් නොපෙළුණත් ඉසුරිකාගේ ශරීරයේ ලේ හිඟකම ප්‍රත්‍යක්ෂ කරගත් වෛද්‍යවරුන් ඇගේ ජීවිතය තවදුරටත් සුරක්ෂිත කරගනු වස් ස්වාමිපුරුෂයා ඇතුළු ඇගේ පවුලේ අයගේ ද පූර්ණ කැමැත්ත මත LRT හෙවත් වන්ධීකරණ සැත්කමකට ඇය ලක් කළේ යළි දරු ප්‍රසූතියක් සිදුවුවහොත් ඇතිවිය හැකි අවදානම සැලකිල්ලට ගෙන ය.

දරුවා ඉතාමත් නීරෝගී තත්ත්වයෙන් පසුවන අතර දරුවාට තැලසීමියා වැලඳීමට කිසිදු ඉඩක් නැති බව වෛද්‍ය වාර්තා ප්‍රත්‍යක්ෂ කොට තහවුරු කර ඇත. දරු සෙනෙහසින් මුසපත්ව සිටින ඉසුරිකා වයස අවුරුදු 21 තුරා තමන්ට ජීවත්වීමට වරම ලබාදුන් වෛද්‍යවරුන් ඇතුළු කාර්යමණ්ඩලයටත් අප්‍රමාණ ප්‍රේමයකින් තමා රෝගියකු බව දැන දැනත් විවාහ කරගෙන කතකට ලැබිය හැකි ඉහළම වරය ලබා දෙමින් සියලු ස්වාමිපුරුෂයන්ට ද ආදර්ශයක් දුන් සිය සැමියාටත් ස්තූතිය පුද කළ ඈ ඉන් එහා වැඩි යමක් නොපැවැසුවාය. දරු ප්‍රසූතියකින් විඩාපත්ව සිටි මුත් සිත තුළ උපන් අප්‍රමාණ සන්තෘෂ්ටිය ලොවට සඟවන්නට සියලු බාධාවන් අපහොසත් විය.

වැලි ඇටයක් පැතූ කෙනකුට මැණිකක් හිමිවන්නා සේ, තඹයක් නැති කෙනකුට දහසින් බැඳි පියළි ලැබුණක් සේ ඉසුරිකාත් ඇගේ සැමියාත් සිය දරුවාට තුරුළට ගෙන යෙහෙන් කල් ගෙවති.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා