තුරුණු දිවියේ හැරවුම් ලක්ෂය

තුරුණු දිවියේ හැරවුම් ලක්ෂය

දිවියෙහි සුන්දරම අවදිය යෞවන සමය ලෙස හැඳින්වීම යුක්ති සහගතය. මන්ද තරුණවිය අන් අවදි සියල්ලටම වඩා මනහරය. චමත්කාරජනකය, එමෙන්ම වේගවත්ය. එසේ හෙයින්ම තරුණ සමයේ බොහෝ දෙනෙකු මඟ නොමඟී හඳුනාගැනීමට අපොහොසත් වෙති. මඟ යැයි සිතා නොමඟ යති. ජව බල සම්පන්න තුරුණුවිය නිසි ලෙස හැසිරුණහොත් සැබැවින්ම සුන්දරය. තුරුණුවිය අනිසි ලෙස යෙදවීම තුළ මුළු දිවියම අසුන්දර වීම වලකාලනු නොහැකිය. මන්ද තුරුණුවියේ දී සිදු කරනු ලබන ක්‍රියාකාරම් මුළු දිවියටම බලපාන බැවිනි. එහෙයින් තරුණ දූ පුතුන් තම යෞවනය නොමගට නොව සුමඟට යොමු කොට ගත යුතුය.

යෞවන, යෞවනියන් දත යුතු මඟ නොමඟ හැඳිනීමේ දහම තම තමන්ගේ දිවියට ආරෝපණය කරගැනීම බුද්ධිගෝචරය. මන්ද,දහමෙන් තොර දිවිය නිසරුවන බැවිනි. යා යුතු නිවැරැදි මාවත සෙවීමේදී සමාජය හා එහි වසන විවිධාකාර පුද්ගලයන් පිළිබඳ අවබෝධයක් පැවැතිය යුතු වේ. පුද්ගලයන් පිළිබඳ විමසීමේදී බුදුරදුන් පෙන්වා දෙනුයේ සමාජය තුළ පුද්ගලයන් තිදෙනෙකු දක්නට හැකි වගයි. “තිණිමානි පුද්ගලානි සංවිජ්ජමානො ලොකස්මිං කථමානි තිණි, එක චක්ඛු, ද්විචක්ඛු අන්ධො”

සමාජයේ දැකිය හැකි පළමු පුද්ගලයා ‘එකචක්ඛු ලෙස හදුන්වන අතර හෙතෙම එක ඇසක් පමණක් පෙනෙන තැනැත්තෙකු ලෙස පෙන්වා දෙනු ලබයි. මෙහිදී ඔහුගේ ‘මසැස’ පිළිබඳ නොව ඔහුගේ චර්යාවන් පිළිබඳ ‘එක ඇසින්’ අර්ථාන්විත වේ. මෙම පුද්ගලයා මේ ලෝකය ගැන පමණක් සිතා කටයුතු කරනු ලබයි. ධනය භෝග සම්පත් උපයන අතර ඒවා තම භුක්තිය පිණිසම වේ. පරලෝකයක් නමැති උපතක් පිළිබඳ ඔහු හට සංඥාවක් නොමැති අතර එහෙයින් දාන, ශීල භාවනා කෙරෙහි සිත නොනැමේ. මෙසේ මේ ජීවිතය ගැන පමණක් සිතා කටයුතු කරන්නා ‘එක චක්ඛු’ හෙවත් එක ඇසක් පමණක් ඇත්තෙකු ලෙස බුදුදහමේ පෙන්වා දෙනු ලැබේ.

‘ද්විචක්ඛු’ හෙවත් ඇස් දෙකම ඇත්තාගේ ක්‍රියාකාරකම් පිළිබඳ පැහැදිළි කරන බුදුරජාණෝ පෙන්වා දෙනුයේ ඇස් දෙකම ඇත්තෝ මෙලොව ජීවිතයට අවශ්‍ය ධනය, භෝග උපයා සපයා ගන්නා අතරම පරලෝකය පිළිබඳ සිහි අත්නොහරී.

හෙතෙම තමන් උපයන ධනයෙන් මෙලොව ජීවිතය සුඛිත මුදිත කරගන්නා සේම කර්මය කර්මඵලය අදහාගෙන දාන ශීල භාවනාදී ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් කෙරෙහි ද සිත යොමු කරනු ලබයි. එසේ වූ මෙලොව පරලොව පිළිබඳ තකන්නා ඇස් දෙකම ඇත්තෙකු ලෙස හැඳින්වේ.

ඇස් දෙකම නොපෙනෙන තැනැත්තා අන්ධයෙකු ලෙස සාමාන්‍ය සමාජ ව්‍යවහාරයයි. බුදුරදුන් පෙන්වා දී ඇත්තේ මෙලොව පරලොව යන දොලොවම පිළිබඳ උදාසීන වන පුද්ගලයා අන්ධයෙකු බවයි. හෙතෙම මෙලොව ජීවිතයට අවශ්‍ය ධනය, භෝග සම්පත් උපයා ගැනීමට උත්සුක නොවන අතර පරලොව ගැන තැකීමක් කොට දානාදී පුණ්‍ය ක්‍රියාවන් පිළිබඳ ද සිත යොමු කිරීමක් නොමැතිය. මෙසේ වූ පුද්ගලයන් තිදෙනෙකු සමාජය තුළ දක්නට හැකි බව දැන යහ මාර්ගයෙහි ගමන් කිරීමට අපේක්ෂිතයෝ මෙලොව පරලොව යන දොලොව ගැනම සිතනා පුද්ගලයන් ඇසුරු කළ යුතුය.

පුද්ගලයෙකුගේ සොඳුරුතම අවධිය වන තරුණ සමය නිසි ලෙස කළමනාකරණය කර ගැනීම තුළ දිවිය පුරාවටම පසුතැවිලි නොවන ලෙස ජීවිතය සකස් කර ගත යුතුය. මන්ද කෙතරම් සුන්දර යුගයක් වුව ද තරුණ බව සදාකාලික නොවන බැවිනි. තරුණ සමය වේගයෙන් ඉක්ම යන අතර තරුණකල කළකී දෑ පිළිබඳ මහලුකල පසුතැවිලි නොවීමට නම් තරුණ ජීවිත නිසි ලෙස කළමනාකරණය කරගත යුතුය.

සිය දිවියෙහි තරුණ සමය නිකරුනේ නැති නාස්ති කොට ගෙන අවසානයේදී මහලු කල මසුන් නොමැති දිය සිදුණු විලක පියඹා වෙනතකට යා ගත නොහැකි කොස්වා ලිහිනියෙකු මෙන් අසරණ නොවීමට නම් තරුණ කල උපයා සපයා ගනු ලබන දෑ නිසි කළමනාකරණයක පිහිටවිය යුතු ය. බුදු සමය පෙන්වා දෙනුයේ.

උපයන දෙයින් එක කොටසක් සිය භුක්තිය සඳහාද කොටස් දෙකක් සිය කර්මාන්තයේ දියුණුවටද විපතක් පැමිණි කල ගැනීමට කොටසක්ද ඉතිරි කළ යුතු වග සිඟාලෝවාද සූත්‍රයේ පෙන්වා දී ඇත. ධනය පමණක් නොව පුද්ගල සම්පත්තිය ද කළමනාකර‍ණය විය යුතුය. පුද්ගලයෙකුගේ දියුණුවට හෝ පරිහානියට එම පුද්ගලයා ඇසුරු කරනු ලබන පුද්ගලයන් ද බලපානු ලබයි. එසේ හෙයින් යෞවන, යෞවනියන්, හඳුනාගත යුතු චරිත හතරක් පිළිබඳ කියවෙන ‘තමො’ සූත්‍රය තුළ සමාජයේ දැකිය හැකි පුද්ගලයන් සිව්දෙනෙකු පෙන්වා දෙනු ලබයි.

I තමො තම පරායනො

II තමො ජොති පරායනො

IIIජොති තම පරායනො

IV ජොති ජොති පරායනො

I. මෙහි පළමු පුද්ගලයා නම් අඳුරෙන් අඳුරට යන තැනැත්තාය. හෙතෙම උපතින් දුක්ඛිත ජීවිතයක උපත ලබන අතර එයින් අත් මිදීමට හෝ මෙලොව දියුණුව සලසා ගැනීමට කල්පනා නොකරන අතර සිය දිවියේ දී ප්‍රාණඝාතාදි පස් පව්වලට බර වේ. මෙසේ අඳුරේ සිට අඳුරටම යන පුද්ගලයා තමො තම පරායන් නම් වේ.

II. දෙවැනි තැනැත්තා වනුයේ ‘අඳුරෙන් එළියට’ යන තැනැත්තාය. හෙතෙම උපතින් දුක්ඛිත දිවියක උරුමක්කාරයෙකු වුව ද උට්ඨාන වීර්යෙන් එයින් මිදීමට කටයුතු කරනු ලබයි. මෙලොව පරලොව අභිවෘද්ධියට සිත මෙහෙයවා දානශීලාදී ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් තුළ සිටින මේ පුද්ගලයා අඳුරෙන් එළියට යන ‘තමො ජොති පරායන්’ නම් වේ.

III. තුන්වැනි පුද්ගලයා වනුයේ එළියෙන් අඳුරට යන තැනැත්තාය. මෙම පුද්ගලයා උපතින් යහපත් ගතියක උපත ලබන අතර ලැබූ සම්පත් අනිසි ලෙස භුක්ති විඳිනු ලබයි. ප්‍රාණඝාතාදී දශ අකුශල් තුළ සිය දිවිය හසුරුවා තම ආලෝකමත් දිවිය අඳුරට යොමු කරගනු ලබයි. එසේ වූ පුද්ගලයා එළියෙන් අඳුරට යන ‘ජොති තමපරායන’ පුද්ගලයා යනුවෙන් දත යුතු ය.

IV. සිව්වැනි පුද්ගලයා ආලෝකයෙන් ආලෝකයට යන තැනැත්තාය. හෙතෙම උපතින් ලද ආලෝකමත් සිය දිවිය වඩ වඩාත් ආලෝකමත් කර ගනිමින් දහම තුළම සිත මොනවට මෙහෙය වනුයේ ආලෝක‍ෙයන්ය. ආලෝකයට යනු ‘ජොති ජොති පරයාන’ පුද්ගලයා ලෙස පෙන්වා දිය හැකිය.

නූතන සමාජ වපසරිය තුළ තරුණ පිරිස නොමඟ යෑමෙ ප්‍රවණතාවය වැඩි බව පෙන්වා දිය හැකිය. එහි හේතුව ලෙස පුද්ගලයා දහමින් ඈත්වීම හා කර්මය හා කර්මඵලය පිළිබඳ නොතැකීම මත සමාජය තුළ සිදුවන සාපරාධී ක්‍රියාවන් වැඩිවී ඇති බව පෙනී යයි. පෙර සමාජය තුළ භාවිතා වූ ප්‍රකට කියමනක් වූයේ ‘හය හතර නොදන්නාවුන් වගේ වැඩ කරන්න එපා’ යන්නය. මෙහි වැදගත් අර්ථයක් ගැබ් වී ඇත. මෙහි හය යනුවෙන් ගම්‍ය වනුයේ දිව්‍යලෝක හයයි. එනම්

1. තාවතින්සය

2. චතුර්මාහාරාජිකය

3. යාමය

4. තුසිතය

5. නිම්මානරතිය

6. පරනිර්මිත වසවර්ථිය යන්නය.

සතර යනුවෙන් හැඳින්වූයේ

1. තිරිසන්

2. ප්‍රේත

3. අසුර

4. නිරය යන සතර අපායයයි.

පැරැණි සමාජය තුළ මේ අපාය හා දිව්‍යලෝක පිළිබඳ විශ්වාසයක් හා පව් කිරීම තුළ අපායගාමී වීමට සිදු වේ යන දැඩි විශ්වාසය හේතුකොටගෙන ස්වයංවිනයක් පුද්ගලයා තුළ ඇතිව පැවැතුනි. අවාසනාවකට මෙන් වර්තමාන සමාජයේ ජීවත් වන පුද්ගලයන් මේ පිළිබඳ අනවබෝධය නිසා හෝ තැකීමක් නැතිකමෙන් වැරදි ක්‍රියාවල නිරත වනු පෙනේ.

සත්පුරුෂ සාධු සම්මත ජනයා අකුශලයට බය වන වැරදි කිරීමට අකැමැති, වරද පිටුදැකීමෙ කරුණු සතරක් බුදු දහමේ පෙන්වා දී ඇත. එනම්

1. අත්තානුවාද භය

2. පරානුවාද භය

3. දණ්ඩභය

4. දුග්ගතිභය යනුවෙනි.

1.මෙහි ‘අත්තානුවාද බය’ යනු වරදක් කිරීමෙන් පසු තම සිතෙන්ම තමා හට පසුතැවිලි වීමට සිදුවීමයි. එනම් තම හෘද සාක්ෂිය විසින් තමා හට දොස් නගති යන බියෙන් වැරදි නොකිරීමය.

2. පරානුවාද භය යනු සමාජයේ වෙසෙන අනෙකුත් පුද්ගලයන්ගෙන් තමා හට දොස් ඇසීමට සිදු වේ යැයි සිතමින් වැරදි කිරීමට බිය කිරීමය.

3.දණ්ඩබය යනු රට තුළ පවතින නීතිය මඟින් තමන් හට වැරැදි කිරීමෙන් දඬුවම් ලැබේ යයි යන බියෙන් වැරදි කටයුතුවලින් වෙන්වීමයි.

4. දුග්ගති බය යනු වැරැදි කිරීම තුළ මරණින් මතු අපාය ගාමී වෙ යන හැඟීමෙන් වරදින් වෙන්වීමයි.

මෙකී කරුණු හතරෙන් කුමන කරුණක් ගැන සිතා හෝ වැරදි තුළින් වෙන් වේ නම් එය සමාජයේ ජිවත්වන සියලු සමාජවාසීන්ට කරනු ලබන අනුග්‍රහයකි. එමෙන්ම බාල මහලු තරුණ කොයි අවධියක පසුවුවත් හැමදෙනා තුළ තිබිය යුතු ගුණාංගයක් ලෙස

01. හිරි

02. ඔත්තප්ප දෙක හැඳින්විය හැකිය.

දේව ධර්ම ලෙස හැඳින්වෙන මෙහි හිරි යනු පවු කිරීමට ඇති ලැජ්ජාවයි. ඔත්තප්ප යනු පවු කිරීමට ඇති බයයි.

බොහෝ තරුණ, තරුණියන් සිතනා සිතුවිල්ලක් ලෙස අප දකිනුයේ තමන් මහලු කාලයට පැමිණි විටක දාන, ශීල, භාවනා, බණ ඇසීම ආදී ක්‍රියාවන් සිදු කරනා බවයි. මෙය සාවද්‍ය සිතුවිල්ලකි. මන්ද ජීවිතය කොයි මොහොතක අවසන් වේදැයි කිසිවෙකුට පූර්ව නිගමනයකට පැමිණිය නොහැකි බැවිනි. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනුයේ “අප්ප මිදං භික්ඛවෙ මනුස්සානං ආයු ගාමනියො සම්පරායො කත්තබ්බං කුශලං චරිතබ්බං බ්‍රහ්මචරියං නත්ථි ජාතස්ස අමරණං” යනුවෙනි. එහි අදහස වනුයේ මිනිසාගේ ආයුශය අල්පය, කුසල කළ යුතුය. බ්‍රහ්මචාරියාව වැඩිය යුතුය. ඉපදුන කිසිවකු නොමැරී ජීවත් නොවේ යන්නය. එසෙහෙයින් පින් දහම් කිරීමට මහලු වයස එළැඹෙන තෙක් නොසිට බාල, මහලු, තරුණ කොයි අවධියෙත් කුසල් කළ යුතුය. ශාසන බ්‍රහ්මචරියාවේ නියලිය යුතුය. විශේෂයෙන් බුදුදහමේ පෙන්වා දී ඇත්තේ අත ඔසවා කිසිවෙකුට හෝ ගැසිය හැකි කාලයෙ අත සංවර කර ගැනීම ද පය ඔසවා පහරදිය හැකි කාලයේ පය සංවර කරගැනීමද වාග් හීසරයන් විදිය හැකි කළ වචනය සංවරය කර ගැනීමද යහපත් බවය.

‘හිස ගිනි ගත්තෙකු ඒ ගිනි නිවන ලෙස’ කුසලට මදකුත් පමා නොවී, තරුණ විය මෙලොව සුබ සිද්ධිය ද පරලොව අභිවෘද්ධිය ද සලසා ගැනීම පිණිස කටයුතු කළ යුතු වේ.

යෞවන පරාසය තුළ දුවන්නන් වාලයේ නොදුවා‍ මඟ නොමග නිසිලෙස හඳුනාගෙන තම දිවිය අයාලයේ නොයවා තම නුවණ මෙහෙයවා විචක්ෂණශීලීව වරද නිවර දකුමක්ද යන්න දි‍ෙයන් කිරි උකාහාගන්නා හංසයෙකු මෙන්’ නිවරදි දෑ පමණක් ගෙන රට දැය සමයේ අභිවෘද්ධිය පිණිස කටයුතු කිරීමට යෞවන යෞවනියන් අදිටන් කර ගත යුතු ය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා