අලුත් යුගයකට යන සංක්‍රාන්ති අය-වැයක්

අලුත් යුගයකට යන සංක්‍රාන්ති අය-වැයක්

කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සුරංග සිල්වා

නව රජය මඟින් 2015 වර්ෂය සඳහා ඉදිරිපත් කරන ලද අතුරු අය-වැය පිළිබඳ කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සුරංග සිල්වා සමඟ කළ සාකච්ඡාවකි.

* නව රජය මඟින් ඉදිරිපත් කරන ලද අතුරු අය-වැය ඔබ දකින්නේ කෙසේද?

මෙම අතුරු අය-වැය ජනතාවගේ බලාපොරොත්තු ඉටුකිරීමේ අභියෝගය භාරගනිමින් ඉදිරිපත් කළ අය-වැයක්. විශේෂයෙන් නව රජය මෙරටේ ජනතාව විසින් බලයට පත්කළේ ප්‍රධාන අරමුණු කිහිපයක් ඇතිවයි. ඉන් එකක් ජීවන තත්ත්වය වඩා පහසු කිරීමට ජීවන බර අඩු කිරීම ඊට ගැළපෙන ආර්ථික ප්‍රතිපත්තියක් ඒ සඳහා අපේක්ෂා කළා. ඒ නිසා මේ අය-වැය එම අරමුණු ඉටු කිරීමට සකසන ලද්දක් බව කිව හැකියි.

රටේ සාමාන්‍ය ජනතාවට විශාල සහන ප්‍රමාණයක් ලබාදුන් අය-වැයක් ලෙසත් මෙහි සැලකීම නිවැරැදියි. රාජ්‍ය අංශයේ වැටුප් වැඩිකිරීම සැලකිය යුතු ප්‍රමාණයකින් සිදුවුණා. අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පමණක් නොව විශේෂයෙන් සමාජ සංවර්ධනය සඳහා අවශ්‍ය සැලකිය යුතු අංශ කිහිපයක් කෙරෙහි ද පැහැදිලි අවධානයක් යොමු කෙරුණා.

නීරෝගී මාතෘ වැඩසටහන යටතේ අඩු ආදායම් ලාභී මවුවරුන්ට දරුවන්ගේ සෞඛ්‍ය සම්පන්න බව සඳහා රුපියල් 20,000/=ක දීමනාවක් ලබාදීම, විශ්‍රාමික වැටුප් වැඩි කිරීම ඊට උදාහරණයි.

සීනි, කිරිපිටි, පිටි වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු කිරීම රටේ ජනතාවගේ ජීවන බර අඩු කිරීමට පොදු ජනතාවට ලබාදුන් විශේෂ සහන ලෙස සැලකිය හැකියි. ඒ අනුව බලනවිට පොදු ජනයාට සහන ලබාදුන් අය-වැයක් ලෙස මෙය හැඳින්විය හැකියි.

* සංවර්ධනය පිළිබඳ කාරණය දෙවනුවට තබා ජනතාවට සහන සැලසීමට මුල්තැනක් දී ඇති බව ද මේ අය-වැයෙන් පෙනෙන්න තියෙන්නෙ?

දීර්ඝකාලීන ආර්ථික සංවර්ධනයක් ඇති කරගැනීමට අවශ්‍ය ආයෝජන වියදම් හා මූලික යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් තවදුරටත් සැලකිලිමත් වීම සිදුවිය යුතුව තිබුණා.

පවතින සංවර්ධන ව්‍යාපෘතීන් තවදුරටත් පවත්වා ගැනීමටත්, නව මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතීන් රට තුළ ඇති කිරීමටත් කටයුතු කළ යුතුයි. විශේෂයෙන් රටක සංවර්ධනය අවසන් වශයෙන් තීරණය කරන්නේ එම රට කවර ප්‍රමාණයක් පාරිභෝජනය කරනවාද යන්න මතම නොව එම රට තුළ නැවත වගා අලුතින් උත්පාදනය වන ආදායම් අවස්ථාවන්, ආයෝජන අවස්ථාවන්, රැකියා අවස්ථාවන් සහ විදේශ විනිමය ඉපැයීම් කොපමණ ද යන්න අනුවයි. මේ නිසා මෙම අය-වැය අතුරු අය-වැයක් ලෙස ඉදිරිපත් කළත් ඒ තුළ රටට අවශ්‍ය ආර්ථික දර්ශනයක් ගැබ්වීම අත්‍යවශ්‍ය කාරණයක්.

* දිගුකාලීන ආර්ථික ඉලක්ක සපුරාගැනීම පිළිබඳ කිවහැක්කේ කුමක් ද?

ඕනෑම රජයක අය-වැයක වසරකට පමණක් ඉදිරිපත් කළත් ඒ සෑම අය-වැයක්ම දීර්ඝකාලීනව රටේ ආර්ථික ඉලක්ක අත්පත්කර ගැනීම සඳහා ගන්නා, වසරකට පමණක් සීමා නොවූ ක්‍රියාවලියකුත් වෙනවා. මේ වනවිට රටේ ප්‍රධාන ආර්ථික අභියෝග කිහිපයක් සඳහා විසැඳුම් ලබා ගැනීමට අපට සිදුවන බව අමතක නොකළ යුතුයි. ඉන් වැදගත්ම හා වඩාත්ම දැනෙන අභියෝගය ජීවන තත්ත්වය යහපත් කිරීම හා ජීවන බර අඩු කිරීම වුණත් එම ජීවන බර අඩු කිරීම තිරසාර ලෙස ක්‍රියාත්මක කිරීමට නම්, එය රටේ ආර්ථික වර්ධනය වේගවත් කරන සංවර්ධන ඉලක්ක හඹායන දිගුකාලීන සැලැස්මක් සහිත කෙටිකාලීන අය-වැයක් විය යුතුයි.

විශේෂයෙන් මෙය අතුරු අය-වැයක් වීම නිසා ‍විශාල පරිවර්තනයක් කළ හැකි අය-වැයක් ඉදිරිපත් කිරීමට හැකියාවක් නැති බවද අප තේරුම් ගත යුතුයි.

අතුරු අය-වැයක් රටේ සංවර්ධනය ඉලක්ක කළ ලක්ෂණයන්ගෙන් අනූන වීම පැහැදිලි කරන වැදගත් කරුණක් නම්, අය-වැයේ හිඟය ජාතික ආදායම තුළ අඩුවන ප්‍රවණතාවක් පෙන්නුම් කිරීමත්, ප්‍රාග්ධන වියදම් එලෙසම පවත්වා ගෙන යාමට උත්සාහ ගැනීමත්, රටේ සමාජ සංවර්ධනය වෙනුවෙන් අධ්‍යාපනය, සෞඛ්‍ය, ග්‍රාමීය සංවර්ධනය, කෘෂිකර්මාන්තය දියුණු කිරීම, ඇති - නැති පරතරය අඩු කිරීම සඳහා අතුරු අය - වැයකින් කළ හැකි උපරිමය කිරීමට උත්සාහ ගෙන ඇති බව වැනි කාරණා මේ අය-වැය පිළිබඳ විමර්ශනය කිරීමෙන් කිව හැකියි.

එය එ‍සේ වුවත් සියලුම රාජ්‍ය අය-වැයවල අවසන් අරමුණ ඉදිරි වසරේ අ‍භියෝග ජය ගැනීම සඳහා ආර්ථිකය මෙහෙයවීම පමණක් නොව රටේ ආර්ථික අනාගතය හැඩගස්වන එය මෙහෙයවන සැලැස්මක අනු කොටසක් ලෙස එය පවත්වා ගැනීමයි.

* අතුරු අය-වැයක් ලෙස මේ අය-වැයේ දැකිය හැකි විශේෂ ලක්ෂණ මොනවාද?

මේ අතුරු අය-වැයේ දැකිය හැකි සුවිශේෂ ලක්ෂණයක් නම් මහජනතාවට විශේෂයෙන් ම රටේ පහළ ආදායම් ලබන ජනයාට දැඩිව බලපාන නමුත් සර්ව ආර්ථික විග්‍රහයක් මඟින් පැහැදිලිව ප්‍රදර්ශනය නොවන වැදගත් අංශ කිහිපයක් සැලකිල්ලට ගැනීමයි.

එනම්, නීරෝගී මාතෘ වැඩසටහන, වකුගඩු රෝගීන් සඳහා වන සහන අරමුදල, උඳු වැඩිපුර භාවිත කරන පිටි වර්ගයක් ලෙස හඳුනා නොගැනුණත් එය වඩාත් අවශ්‍ය ජන කොටස්වලට එම සහනය ලබාදීම, විවාහ ලියාපදිංචි ගාස්තු රු: 1000/= දක්වා අඩු කිරීම, ස්වර්ණාභරණ උකස් කරන ජනයාට ලබාදුන් පොළී සහන, ගොවි ණය කපා හැරීම ආදියයි.

මේවා සර්ව ආර්ථික විචලනයක් මඟින් ප්‍රදර්ශනාත්මක නොවුණත් ප්‍රජා හිතකාමී දුගී බව දුරැළීමේ උපක්‍රම ලෙස සැලකිය හැකියි. ඒ නිසා මේවා ගැන අවධානය යොමු කර තිබීම වැදගත්.

* මැතිවරණයක් ‍අභිමුඛව ඉදිරිපත්වූ අය-වැයක් වශයෙන් මේ අය-වැය දෙස බලනවිට කීමට ඇත්තේ කුමක් ද,?

මැතිවරණයක් කියන්නේ දේශපාලන ඉලක්කයක්. එය අමතක කර ආණ්ඩුවක් තම අය-වැය ඉදිරිපත් කරාවි කියල සිතීම තාත්වික නෑ. මේ අය-වැයෙන් ද මැතිවරණයක් ඉලක්ක කර ඇතැයි හැඳින්වීමට සමහර අයට හැකිවුණත් එය තුළ රටේ සංවර්ධනය හා වර්ධනයට අවශ්‍ය ප්‍රධාන මූලධර්ම අනුගමනය කරමින් ඉදිරිපත් කළ අය-වැය ලේඛනයක ලක්ෂණ පදනම්වී ඇති බව පැහැදිලියි.

* මේ අය-වැයේ දැක්ම වශයෙන් පෙනෙ‍න්නට ඇත්තේ කුමක්ද?

මේ අය-වැය අලුත් යුගයක් කරා යන සංක්‍රාන්ති අය-වැයක් ලෙස සැලකීමට පුළුවන්. අලුත් යුගයක් යනු රටේ සංවර්ධනය වේගවත් කිරීම අවශ්‍ය බවත් එසේම රටේ ජීවත්වන ජනයාට අනවශ්‍ය බරක් සතුව තිබෙන පරිදි රටේ අනාගත සංවර්ධනය තැබීමේ පියවරක් ලෙසත් දැකිය හැකියි. විශේෂයෙන් විවිධ ජාතීන්ගේ අවශ්‍යතා හා ප්‍රමුඛතා සැලකිල්ලට ගනිමින් ඉදිරිපත් කළ අය-වැයක් වන නිසාත් මෙය රටේ දේශපාලන සංහිඳියාවට අවශ්‍ය පරිසරය සැකසී ඇති බවත් කිව යුතුයි.

* රට ආර්ථික සංග්‍රාමය දිනා ගැනීමේ දිශානතියට යොමුවීමක් මින් සිදුවී තිබෙනවාද?

රට ආර්ථික යුද්ධය ජයගැනීමටත් කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය ආර්ථික සමාජයීය හා ආකල්පමය පරිසරයක් ගොඩනැඟීමේ ක්‍රියාවලියේ ආරම්භයක් ලෙසත් මෙය දකින්න පුලුවන්. අපි එක රටක්, එක ජාතියක් ලෙස එකම අරමුණක් සඳහා පෙළ ගැසී ඇති බව මෙවැනි අය-වැයකින් පෙන්නුම් කිරීමට හැකි වීමත් වැදගත්.

රටේ අනාගත සංවර්ධනය වේගවත් කළ යුතුයි. එසේම අද පවතින දැවෙන ප්‍රශ්න ආමන්ත්‍රණය නොකොට යම් අය-වැයක් මඟින් අනාගත සංවර්ධනය පමණක් සිතන්නේ නම් එයත් අතාත්විකයි. ඒ නිසා මේ අය-වැයේ සුවිශේෂ ලක්ෂණයක් වන්නේ අද පවතින දැවෙන ප්‍රශ්න හැකිතාක් දුරට ආමන්ත්‍රණය කිරීමට උත්සාහ කර ඇති බවයි. නමුත් මේ උත්සාහයේ සාර්ථක අසාර්ථක බව තීරණය කිරීම අභ්‍යන්තර හා බාහිර සාධක විශාල ප්‍රමාණයක් මත රඳා පවතිනවා. ඒ නිසා එවැනි සාධක ආමන්ත්‍රණය කිරීම නිසි ලෙස සිදුවුණොත් මේ අය-වැය ලේඛනයෙන් අපේක්ෂිත අරමුණු ඒ අයුරින්ම ඉටුකර ගැනීමට හැකිවන්නේ නෑ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා