ආප්ප ඉඳිආප්ප

ආප්ප ඉඳිආප්ප

ආප්ප, ඉඳිආප්ප යන දෙකම අපට ලැබුණේ ඉන්දියාවෙනි. ඒ වනවිට දෙකේ ම ‘ම්’ හැලී ඇත. ඉන්දියාවේ මේ දෙවර්ගයම හැඳින්වෙන්නේ ‘ආප්පම්’ හා ‘ඉඩියප්පම්’ යනුවෙනි.

මේ දෙවර්ගයම අද ‘කඩයප්පම්’ යන පොදු නාමය යටතට වැටේ. කඩයප්පම් ද දෙමළ වදනකි.

ආප්ප මෙන් ම ඉඳිආප්ප ද පිසින්නේ දෙයාකාරයකට ය. ඒ දෙවිදියත් අනෙක් ව්‍යඤජන පිසින ක්‍රමයට වෙනස් ය.

ආප්ප පිසින්නේ නැත්නම් උයන්නේ නැත්නම් පුච්චන්නේ යටිනුත් ගිනි උඩිනුත් ගිනි ක්‍රමයෙනි. ඒ කියන්නේ ළිපේ තැබූ තාච්චියේ හැදෙන ආප්පයට ඉදෙන්නට උඩිනුත් ගිනි කබලක් තැබිය යුතුය. යටිනුත් ගින්දර උඩිනුත් ගින්දර යැයි කීවේ එහෙයිනි.

ඉඳිආප්ප, තැම්බෙන්නේ ඊට වෙනස් ආකාරයකිනි. ඉඳිආප්ප තැම්බෙන්නේ වණ්ඩුවේය. වණ්ඩුවේය කියන්නේ වාෂ්ප බලයෙනි. ඉඳිආප්ප මෙන් ම වණ්ඩුවේ උයාගන්නා ආප්ප වර්ගයක් ද තිබේ. ඒවා හැඳින්වෙන්නේ වණ්ඩු ආප්ප කියා ය.

සාමාන්‍ය ආප්ප වර්ග කීපයකට බෙදේ සුදු ආප්ප, ගාලා ආප්ප, පැණි ආප්ප, සීනි ආප්ප, හකුරු ආප්ප හා බිත්තර ආප්ප යනුවෙනි.

ලාබම ආප්පය වූයේ සුදු ආප්පයි. මා කුඩා කල කුඩා සුදු ආප්පයක් සත තුන්කාලක් විය. ඒ කියන්නේ තුට්ටු දෙකක් විය. තුට්ටුව යනු සත එක හමාරක්. සතය වැඩි වශයෙන් හැඳින් වුණේ තඹ සතය කියා ය. තඹ සතයෙන් බාගය තඹ සල්ලිය නම් වී. එයින් බාගය අලුක්කාල ය. එදා සතේ කාසි මෙන් ම සල්ලියේ කාසිත් තඹ සල්ලියේ කාසිත් වහරේ පැවැතිණි.

තඹ සල්ලියට තඹ දොයිතුව යන නම ද යෙදිණි. වැලේ වැල් නැතිවන විට ‘තඹ දොයිතුවක් අතේ නෑ’ යන්න ද කියැවිණි.

සත එක හමාර තුට්ටුව වූ අතර සත තුන තුට්ටු දෙක නම් වී. සත දෙක සල්ලි හතර යන නමින් ද හැඳින් විණි. සත හතර පැන්සය නම් වී. මේ පැන්සය හැදුනේ එංගලන්තයේ පැන්ස සිලිං පවුම් ක්‍රමය බලා ගෙන ය.

එංගලන්තයේ පැන්ස දොළහ සිළිං එකක් වූයෙන් ලංකාවේ පැන්ස (සත හතරේ පැන්ස) දොළහ සිලිමක් වී සත හතරේ ඒවා දොළහ හතළිස් අටක් වුව ද ඊට ඉතාම කිට්ටුවෙන් යන ලංකා සත පනහේ කාසිය සිලිම නම් වූයේ ය.

එංගලන්තයේ පැන්ස විස්සක් පවුමක් වූයෙන්, මෙරට සත පනහේ විස්ස (රුපියල් දහය) හැඳින්වුණේ ද පවුම යනුවෙනි. එදා ඉඩ කඩම් ගනුදෙනු බොහෝමයක් සිදුවූයේ මේ (රුපියල් දහයේ පවුම්වලිනි.)

එංගලන්තයේ පවුමට ඉහළින් ඇත්තේ ගිනි ය. ගිනි එකක් සිළිං විසි එකකි. එරට මේ ගිනි ගනුදෙනු කැරුණේ බෙහෙවින් අධිකරණයෙහිය.

‍එහෙත් මෙරට අධිකරණයෙහිද ද මුලින් මුලින් ගනුදෙනු කැරුණේ ගිනිවලින්. මෙරට සිලිම් විස්සේ රුපියල් දහයට තව සිලිමක් එක්වූ කල (ලංකා) ගිනිය නම් වූයේ ය. එදා එංගලන්තයේ මෙන් ම මේ රටේ පෙරකදෝරුවන් ගාස්තු අය කළේ ගිනිවලිනි. ඒ කියන්නේ රුපියල් දහයේ පනහේ කුට්ටිවලිනි.

එදා පෙරකදෝරුවන් අධික ගාස්තු (ගිනිවලින්) අය කරන විට ඒ නොකැමැති උදවිය එවුන් හඳුන්වන ලද්දේ ගිනි කන පෙරකදෝරුවන් හැටියට ය. ඒ ගිනි යන්නෙහි අරුත් දෙකක් වී.

අප කුඩා කල සුදු ආප්ප කෑවේ සීනි ටිකක් හෝ කෙසෙල් ගෙඩියක් සමඟ ය. ඇතැම් ලොකු අය ආප්ප කෑවේ කට්ට සම්බල් හා සමඟ ය.

ලොකු කුඩා කවුරුත් එදා ඉඳිආප්ප කෑවේ පොල් සම්බල් හෝ පොල් මැල්ලුම් සමඟ ය. එදා උදේට ඉඳිආප්ප කන්නම හොදි මාළු ඕනෑ කළේ මහ ජාතිකාරයනට ය.

ආප්ප - ඉඳිආප්ප කන්නට කොයි කාටත් හොදි මාළු ඕනෑ වූයේ ඒවා (විශේෂයෙන් ම) ප්‍රධාන කෑමක් බවට පත් වූවාට පසුව ය.

කාලයක් ගත වන විට හොදි මාළු හා සමඟ රෑට රෑට ආප්ප කෑම ඉතා ජනප්‍රිය වූයේ. ඒ වැඩි වශයෙන් ම ඉහළ පන්තියේ ය. ඒ රෑ කෑමෙහි ප්‍රධාන ම වූයේ බිත්තර ආප්ප ය.

රෑට කන බිත්තර ආප්ප උදේට කෑ බිත්තර ආප්පවලට වඩා වෙනස් විය.

එදා උදේ බිත්තර ආප්ප කෑවේ පැණිත් දමා හකුළා උයාගෙන ය.

රෑ බිත්තර ආප්ප කෑම පැතිර ගියේ බුල්ස්අයි ක්‍රමයට ය. ගොන් ඇසක් සේ රවුම් කහමදය මැදට එන්නට ඉදෙන බුල්ස්අයි ක්‍රමය රාත්‍රී ආප්ප සාදවල ප්‍රධානම අංගය විය.

අද වැඩි වශයෙන් ම අසන්නට ලැබෙන්නේ දේශපාලකයන්ගේ බිත්තර ආප්ප සාදයක් ගැන ය. බිත්තර ආප්පවලට අද නම් දරාපු තැනකි. මන්ත්‍රීවරුන්ගේ නිජ බිමක් වූ අරලියගහ මන්දිරය. ඒ ස්ථානය ගැන කතා කරනවිට ජනපති මෛත්‍රී ආප්ප සාදය ද සිහියට නැගේ.

ආප්ප කාලා පානය කිරීමට හොඳම බීම වර්ගය කෝපි ය. සීනි නැති කළු කෝපි නොව හොඳට සීනි දැමූ කළු කෝපි ය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා