කුසල් - අකුසල්

කුසල් - අකුසල්

රාජගිරියේ අරියඥාන හිමි දෙසූ ධර්ම කරුණු ඇසුරින් සම්පාදිත නවතම ලිපිමාලාව

නිවන් මඟ වෙත

බුදුන් වහන්සේ දේශනා කොට වදාළ නිර්මල බුදු දහම මෙලොව හා පරලොව යන දෙලොවම වැඩ පිණිස හේතුවේ. මහරහතුන් වැඩි මඟ ඔස්සේ යමින් අරියඥාන හිමියෝ බොහෝ දෙනාගේ හිත සුව පිණිස ධර්මය ජනතාව අතර ප්‍රචලිත කිරීමේ වෑයමක නිරතව සිටිති. බෞද්ධයන්ගේ පරම සැපය වන නිර්වාණ අවබෝධයට ඉවහල් වන මෙම ලිපි මාලාවේ අවසාන කොටසයි මේ.

අවසන් කොටස

තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් තොරව සිටීමෙන් ඔබ‍‍ට මතු අත්භවයකදී අත්විඳින්න‍ට ලැබෙන කුසල් අකුසල් සංස්කාරයන් පිළිබඳ පෙර සතියේදී කතා බහ කළා ඔබට මතක ඇති. එය හේතුඵල ධර්මයක් මත තීරණය වන බව ඔබ වටහා ගන්න‍ට ඇති.

අපේ කාලයේ ජීවත්වූ රජයේ රැකියාවක නිරත වූ එක්තරා පුද්ගලයෙක් සිටියා පින්වතුනි.එම පුද්ගලයාගේ දරුවකු ශාසනය තුළ පැවිදි බවටත් පත් කළා. නමුත් ඒත් සමඟම මේ පුද්ගලයා දැරූ එක්තරා මතයක් තිබුණා.පව් නොකරන නිසා පින්කම් කරන්නටත් වුවමනාවක් නැහැ කියා ඔහු තදින් විශ්වාස කළා. ඒ පුද්ගලයා ඇතුළු ඔහුගේ යහළු මිත්‍ර කණ්ඩායම ම දැරුවේ මේ මතය යි‍. නමුත් බුදුරජාණන් වහන්සේ මෙවැනි ධර්මයක් අපට දේශනා කළේ නැහැ. බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ මේ ආයුෂය, සැපය,බලය, වර්ණය ගෙවෙන්න ගෙවෙන්න අලුතෙන් සංස්කාරයන් තුළින් ආයුෂය, සැපය, බලය, වර්ණය එකතු කරන්නට අවශ්‍ය වන බවයි.

දානය තුළින් සීලය තුළින් පිංකම් තුළින් ඔබ වර්තමානයේ කුසල් සංස්කාරයන් එකතු කළේ නැතිනම් ඔබට අනාගතයේදී හීනභාවයට දීනභාවයට පත් වන බව බුදු රජාණන් වහන්සේ‍ දේශනා කරනවා.

නමුත් බුදුන් වහන්සේ දේශනා කළ මේ ධර්මය මේ පුද්ගලයා පිළිගත්තේ නැහැ. පසුව මේ පුද්ගලයා වයෝවෘද්ධ වෙලා මියපරලොව යනවා. ඒ මරණයෙන් පසුව අපි දන්නා කියන ස්වාමීන්වහන්සේ නමක් උතුම් සමාධියෙන් මේ පුද්ගලයා අරමුණු කොට බලන විට බුද්ධ ශාසනයේ නොවන එක්තරා ආගමකට අයත් දූගී පැල්පතක උත්පත්තිය ලබා තිබෙනවා උන් වහන්සේට අරමුණු වෙනවා පින්වතුනි. මේ පුද්ගලයා ධර්මය අකීකරුභාවයෙන් ධර්මය ජීවිතයට ගලපාගත් නිසා සම්මා සම්බුද්ධ ශාසනය අහිමි වෙලා තිබෙනවා‍. ඔහු‍ දන්නෙ නැහැ ඔහුගේ දරුවකු සම්බුද්ධ ශාසනයේ පැවිදි කළ බව. ඔහු දැන් වෙනත් සංස්කෘතියකට අයත් පුද්ගලයෙක්.

එහෙනම් ඔබ දකින්න මේ උතුම් ජීවිතයේ උතුම් සම්මා දිට්ඨියට පත්වුණ මවුකුසක් ඔබට ලැබුණෙ කුමක් නිසා ද? ඔබ අනිවාර්යෙන්ම පෙර ජීවිතයේදී තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තුළ ජීවත්වෙලා තිබෙනවා. දෙවැනි කාරණය ශීලය. බුදු රජාණන්වහන්සේ දේශනා කරනවා මීළඟ ආත්මයේදී ඔබට දෙවියෙක් වෙන්න‍ට අවශ්‍ය නම් මනු‍ෂ්‍යයකු වන්නට අවශ්‍ය නම් ඔබ දෙවියකු මනුෂ්‍යයකු බවට පත්කළේ සිල්පද පහමයි. එසේ නොවී අපේ දේපළ, ඉඩකඩම්, නිලතල, කීර්ති, ප්‍රශංසා මේ සියලු දෙයක්ම අපිව දුකෙන් දුකටමයි දුකටමයි හෙළන්නේ. එසේ නම් ඔබ වටහා ගන්න ඔබට මේ තරම් උතුම් මනුෂ්‍ය ජීවිතයක් ලැබුණෙ පෙර ආත්මයේදී ඔබ සිල්පද පහ ආරක්ෂා කරමින් ජීවත්වුණ නිසාමයි.

ඔබ මේ ජීවිතයේදී ආයුෂය, වර්ණය, සැපය, බලයෙන් යුක්තව ජීවත්වනවා නම් පෙර ජීවිතයේදී ඔබ කර්මය කර්ම ඵලය විශ්වාසයෙන් පූජා කළා වූ දානයේ ආනිශංසයි ඒ.

ඔබ පෙර ජීවිතයේදී මේ ශ්‍රද්ධාව, ශීලය, දානය ජීවිතයට එකතු කරගත්තේ නැත්නම් ඔබට අනිවාර්යෙන්ම මේ ජීවිතයේ ලැබෙන්නේ තිරිසන් මවුකුසක් හෝ ප්‍රේත මව්කුසක් පින්වතුනි. මේ උතුම් මවුකුස ඔබට ලැබුණේ කුමක් නිසාද තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවත්, ශීලයත්, දානයත් නිසාමයි. ඒ නිසා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා ඔබේ අම්මා තාත්තාට වඩා තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවටත් සීලයටත් දානයටත් ගරු කරන්න කියලා. මන්ද ඔබේ මවුටපියන් ඔබට සොයලා දුන්නෙ මේ ධර්මතාවයන් තුන විසින්මයි. ඔබ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවටත් සීලයටත් දානයටත් මවුටපියන්ටත් වඩා ගරු කරද්දි ඔබ නිතැතින්ම මවුපියන්ට ගරු කරන අයකු වන බව බුදු රජාණන්වහන්සේ දේශනා කර ති‍බෙනවා.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා