අළුත්කඩේට අලුත් දවස් නව අගවිනිසුරු කේ.ශ්‍රී පවන්

අළුත්කඩේට අලුත් දවස් නව අගවිනිසුරු කේ.ශ්‍රී පවන්

රටක උත්තරීතර වන්නේ විධායකය, අධිකරණය සහ ව්‍යවස්ථාදායකය බව පොදු පිළිගැනීමයි. පසුගිය කාලපරිච්ඡේදය සලකා බලනවිට අප රට නීතිය වල්වැදුණූ දේශයක් ව පැවැතිබව පෙනෙන්නට තිබිණි. එය කෙබඳු වීද යත් තමන්ගේ නඩු තමන්ම අසාගත් බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ යුගයක් විය.

එක රැයින් සමහර පුද්ගලයන් නීතිය මගින් වරදකරුවන් බවට පත් කෙරිණි. හිටපු හමුදාපති සරත් ෆොන්සේකා සිරගත කෙරුණේ අශික්ෂිත වූ අධිකරණ ක්‍රියා මාර්ගයකිනි. හිටපු අගවිනිසුරුවරිය වූ ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ඇගේ තනතුරින් බලෙන් පලවා හරිනු ලැබිණි. ඉතා අශීලා‍චාර මෙන්ම සාහසික මුහුණුවරක් ගත් එම ක්‍රියාවලිය ලංකාවේ අධිකරණ පද්ධතියේ සම්පූර්ණ විනාශයක් පෙන්නුම් කළ අවස්ථාවක් විය. ඇය ඉවත්කළා යැයි ප්‍රකාශ කළ එවක පැවැති විධායකය, තම නීති උපදේශකයකු අග්‍ර විනිශ්චයකාර ධුරයට පත්කර ගත්තේය.

ඔහු එක් අවස්ථාවක සිංහල අලුත් අවුරුද්දට එවක සිටි ජනාධිපතිවරයා සමඟ චාරිත්‍රානුකූලව ගනුදෙනු කළ අතර, තවත් විටක ජනාධිපතිවරයා සමඟ විදේශ සංචාරවලටද සහභාගි විය. මෙලෙස රටේ නීතියට සම්බන්ධ ඉහළ තලයේ පැවැතියේ විනාශකාරී ආදර්ශය. එවක විධායක‍යට හිතවත් සමහර පිරිස් සැකකරුවන්, වරදකරුවන් ලෙස චෝදනා ලබමින් සිටියදී මාධ්‍යයන්හි පවා පෙනී සිටියේ නීතියට අත්ව තිබූ ශෝකජනක ඉරණම රටටම පසක් කරමිනි.

අධිකරණයේ ස්වාධීනත්වයට එල්ලවූ මෙවැනි බාහිර බලපෑම් මෙන්ම, එම පද්ධතියේ තිබූ ගඳ ගසන තත්ත්වය ද එයට බලපෑවේය. තවද විනිශ්චයකරුවන‍්ගේ පිරිහුණු විනය ඊට බලපෑවේය. එක්තරා විනිශ්චයකරුවකු බාලවයස්කාර දැරියක මෙහෙකාර සේවයේ යොදවා ගත්තා පමණක් නොව, ඇයට ලිංගික අඩත්තේට්ටම් ද කර තිබුණේය. තවත් විටක විනිශ්චයකරුකු හසුවන්නේ නඩු තීන්දු ලබාදීමට අල්ලස් ලබාගත්තායැයි යන චෝදනාවට වරදකරුවකු වීමෙනි. මේ අයුරින් විනිශ්චයකරුවන්ගේ ද විනය දැඩි ලෙස පිරිහුණු යුගයක් දක්නට තිබිණි. විටක දේශීයව ද, තවත් විටක අන්තර්ජාතිකව ද අපරට සැලකුණේ නීතිය වල්වැදී පවතින දේශයක් ලෙසය. මේ අනුව ජනතාව අධිකරණ ක්‍රියාමාර්ග පිළිබඳ සෑහීමකට පත් නොවුණාසේම , අධිකරණයේ පිහිට පැතීමට පසුබාන බවක් ද පෙනෙන්නට තිබිණි.

උදාවී පැවැති මේ අන්ධකාර යුගය වෙනස් කළ යුතු බවත්, අගාධයෙන් ගොඩ ආයුතු බවත් ජනතාව අතර අපේක්ෂා නැංවෙමින් තිබිණි. ඒ අනුව රටේ ජනතාව ඉකුත් ජනවාරි අට වැනිදා යහපාලනයක් වෙනුවෙන් රට ගෙන යන බල වේගය තම නායකත්වයට පත්කර ගත්තේය. මෙහිදී ජනතාව බලාපොරොත්තු වූ ප්‍රධාන කරුණක් වූයේ යටකී අන්දමින් වල් වැදුණු රටේ නීතිය ස්ථාපිත කර ගැනීමටයි. එහි එක් සුබදායි පියවරක් ලෙස නව අග විනිසුරු ධුරයට ලෙස කේ. ශ්‍රී පවන් මහතා පත්වී සිටී. බැලු බැල්මට එය සුබදායි පියවරක් වන‍්නේ ඇයි?

ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් අතරින් සිටින ‍ෙජ්‍යෂ්ඨතම විනිසුරුවරයා ඔහු ය. ඒ අතින් නව පත්කීරීමට සිටින නියම සුදුස්සාද ඔහුය. එමෙන් ම සිය අධිකරණ ඉතිහාසය තුළ ඔහු ලබාදුන් නඩු තීන්දු කෙරේ කිසිදු ප්‍රති චෝදනාවක් එල්ලවී නොමැති අතර හෙතෙම මෙරට කීර්තිමත් පුරවැසියෙකි.

1952 වර්ෂ‍යේ පෙබරවාරි 29දා යාපනයේදී උපත ලද ශ්‍රී පවන් මහතා යාපනයේ හින්දු විද්‍යලයෙන් අධ්‍යාපනය ලැබීය. 1974 දී නීති විද්‍යාලයට ඇතුළත්වී,1978 වර්ෂයේදී වැඩබලන රජයේ නීතිඥවරයකු ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට අැතුළත් වූ ඔහු 1979 දී ස්ථිර රජයේ නීතිඥයකු බවට පත්වෙයි. අනතුරුව 1989 දී රජයේ ජ්‍යේෂ්ඨ අධිනීතිඥයකු ලෙස පත් විය. ලන්ඩන් විශ්වවිද්‍යාලයේ නීති විශාරද උපාධිය ද, කොළඹ විශ්වවිද්‍යාලයෙන් වාණිජ නීතිය පිළිබඳ ඩිප්ලෝමාවක් ද ලබාගත් ඒ මහතා, 2002 වර්ෂයේදී අභියාචනාධිකරණයේ විනිසුරුවරයකු බවට පත්විය. 2007 වර්ෂයේදී අභියාචනාධිකරණයේ සභාපතිධුරයට පත්වූ ඒ මහතා , ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥයකු බවට 2008 වර්ෂයේදී පත්විය.

මේ කාලයේ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් සුවිශාල සේවයක් කිරීමට ඔහුට හැකියාව ලැබිණි. ශ්‍රී ලංකාවෙන් බිහිවූ කීර්තිමත් අගවිනිසුරුවරයකු වූ සුප්පයියා ෂර්වානන්ද මහතාගෙන් පසු එම තනතුරට පත්වූ දෙවැනි දෙමළ ජාතික අග විනිසුරුවරයාද වන්නේ ඒ මහතාය.

වල් වැදී, ගඳ ගසන සමස්ත සමාජ පද්ධතියම ගොඩනැගීමේ පළමු පියවරක් වන්නේ බිද වැටුණු නීතියේ ස්වාධීනත්වය යළි නගාලීමය. අප පතන යහපාලනයෙන් හෙබි දේශයක් ගොඩ නැංවීමේ පරමාර්ථය කේ‍. ශ්‍රී පවන් මහතාගෙන් ඉටු වෙතැයි රටේ පුරවැසියෝ බලා සිටිති.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා