තුරඟ තරග නම් අපූරු විනෝදය

තුරඟ තරග නම් අපූරු විනෝදය

පරදේසක්කාරයන් මේ රටට ඇවිත් අපේ ඈයන්ට පුරුදු කරලා ගිය බොහෝ දේ අතර තුරඟ තරගවලට හිමිවෙන්නෙ අපූරු තැනක්. එදා ලංකාවෙ හිටිය බ්‍රිතාන්‍ය ජාතිකයන් අතර වඩාත් ම ජනප්‍රිය වූ මේ තුරඟ තරග කොළොම්පුරේ, කුරුඳුවත්ත ප්‍රදේශයේ එක්තරා බිම්කඩක පවත්වලා තිබෙනවා. කලක් ඇවෑමෙන් ඒ ස්ථානයට තුරඟ තරග පිටිය නම භාවිත වී තිබෙනවා‍.

කෙසේ වුවත් ලංකාවේ තුරඟ තරග ඇරැඹුණේ කවදාදැයි හරියට ම නිශ්චිත දවසක් කිව නොහැකියි. ඒ පිළිබඳ ලිඛිත සාක්ෂි නැතත්, මේ රටේ මිනිසුන්ට විනෝදය සැපැයිය හැකි ක්‍රීඩාවක් බවට තුරඟ තරග ක්‍රීඩාව පත්ව තිබෙනවා. කඳුකර ප්‍රදේශවල දාරාවැල්ල වැනි ජනාවාස ඇතිවනවාත් සමඟ එක්දහස් අටසිය හතළිස් ගණන්වල පමණ මේ තරග ප්‍රථමයෙන් ම පවත්වන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා. කෙසේ වුවත් මේ තුරඟ තරග, කුරුඳුවත්තේ තුරඟ තරග පිටියට ගෙන එන්නට පෙර ගාලු මුවදොර පිටියේ පවත්වා ඇති බවට නම් සාක්ෂි තිබෙනවා.

ඒ අනුව ගාලු මුවදොර පිටියේ ප්‍රථම තුරඟ තරගය 1840 දී පවත්වා තිබෙනවා. අරාබි අශ්වයන් යොදාගනිමින්, එහි තණතිල්ලේ මෙය පවත්වා තිබුණා. මෙරටට තුරඟ තරග ක්‍රමය ප්‍රථමයෙන් ම හඳුන්වා දී තිබෙන්නේ ජෝන් බේකර් නැමැති සුදු ජාතිකයායි.

ජෝන් බේකර් පදිංචි වෙලා හිටියේ නුවරඑළියේ ප්‍රදේශයේ. තම නිවෙස පිහිටි භූමියෙ ප්‍රථමයෙන් ම තුරඟ තරග ධාවන පථයක් නිමකිරීමට වගේ ම, එහි අශ්වයන් පුරුදු පුහුණු කිරීමටත් ඔහු 1836 වසරේදී ක්‍රියාකර තිබුණා. අශ්ව තරග කෙරෙහි ලොල් වූ ඔහු, මෙරට ප්‍රභූ පැලැන්තියට වගේ ම, අතේ මිටේ මුදල් තිබෙන උදවියට වින්දනය සපයන ප්‍රියතම ක්‍රීඩාවක් බවට මේ ක්‍රීඩාව පත්කිරීමට වැඩි කලක් ගතකර තිබුණේ නෑ. වසර කිහිපයක ඇවෑමෙන්, ගාලු මුවදොර තණතිල්ලේ මේ ක්‍රීඩාව පැවැත්වීමට ඔහු ක්‍රියා කළා. ගාලු මුවදොර ඇති සුන්දර භූමියේ තුරඟ තරග පිටියක් නිම කිරීමට ඔහු ඇල්මක් දැක්වූයේ ඒ ප්‍රදේශය මේ සඳහා සුදුසු ඉඩකඩ බහුල පෙදෙසක් වීම නිසයි. එහි තැනූ ධාවන පථය සැතැපුම් එකහමාරක් පමණ දිගින් යුක්ත වුණා.

මේ පිටියේ පැවැත්වූ තුරඟ තරග අතරින් එක්තරා ආකාරයක විශේෂත්වයක් පැවැති තරගය ලෙස ඉතිහාස ගතව තිබෙන්නේ 1854 වර්ෂයේදී පවත්වා තිබෙන තුරඟ තරඟාවලියයි. එය දින පහක් පුරා අඛණ්ඩව පැවැත්වූ එකක්. එය නැරැඹීම සඳහා රටේ විවිධ ප්‍රදේශවලින් ගම් නියම් ගම් පීරාගෙන අශ්ව කරත්ත, බක්කි කරත්ත, තිරික්කල් සහ දෝලාවලින් ජනයා පැමිණි බව වාර්තා වෙනවා.

1861 වසරේදී ලංකා තුරඟ තරග ක්‍රීඩා සමාජය (Ceylon Turf Club) බිහිවී තිබෙනවා. එහි නිර්මාතෘවරයා වුණෙත්, ජෝන් බේකර් කියන සුදු ජාතිකයා, එහෙම නැත්නම් මෙරට ජනතාවට තුරඟ තරග හඳුන්වා දුන් තැනැත්තාමයි. මේ ක්‍රීඩා සමාජය බිහිවීමත් සමඟ ම, ගාලු මුවදොර පිටියේ තුරඟ තරග පැවැත්වීමේදී මුහුණ පාන්නට වන ගැටලු පිළිබඳ සිතා, වෙනත් ස්ථානයක මේ තරග පැවැත්වීම කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව සිලෝන් ටර්ෆ් ක්ලබ් (සී. ටී. සී.) ආයතනය කොළඹ කුරුඳුවත්ත ප්‍රදේශයෙන් අත්පත් කර ගත්, අක්කර 27 ක භූමි භාගයක නව තුරඟ තරග පිටිය පිහිටුවීමට තීරණය කළා. මේ ඉඩම තරමක් විශාල තණකොළ පිට්ටනියක් බවට පරිවර්තනය කරගෙන, අංගසම්පූර්ණ තුරඟ තරග පිටියක් බවට සකස් කළා. එහි ඇති ප්‍රධාන ප්‍රේක්ෂකාගාරය ආනුභාවසම්පන්න බවකින් යුක්ත වුණා. ඉස්තාල ආම්පන්නවලින් සම්පූර්ණ වුණා. මහත්වරුන් සඳහා අශ්වාරෝහක පුහුණු කිරීමේ ක්‍රීඩා සමාජයක් ඇතිකළා. ඒ සමඟම ඒ වෙනුවෙන් ක්‍රීඩාංගණයක් වෙනමම සැකැසුවා. ඒ කාලවකවානුව වන විට මේ තුරඟ තරග පිටිය, ආකෘතිය සහ පහසුකම් අතින් දකුණු ආසියාවේ හොඳම තුරඟ තරග පැවැත්වෙන ස්ථානය බවට පත් වුණා.

මේ ස්ථානයේ සම්මත ආකාරයට ධාවන පථය දෙපසින් සුදු පැහැති පීල්ලක් ඉදි කළා. ඒ බියර් කරත්ත ධාවනය සහ වෙනත් කරදර උවදුරු නැවැත්වීමටයි. එහෙත් මේ ස්ථානයේදීත් තුරඟ තරග සඳහා බාධක එල්ල වුණේ නැත්තේ ම නෑ. තරග පවත්වන අවස්ථාවල ධාවන පථය හරහා කබරයන්, බල්ලන් වැනි සතුන් ගමන් කිරීම නිසා මේ ආකාරයේ නොයෙකුත් බාධක ඇතිව තිබෙනවා.

තුරඟ තරග නිසා ඔට්ටු තැබීමේ අවස්ථා ද ඇති වුණා. ඔට්ටු වශයෙන් තැබූ රන් පවුම්, පිත්තල මංජුසාවක බහා ජයග්‍රාහකයන්ට ප්‍රදානය කර තිබෙනවා. ජනප්‍රවාදයේ එන පරිදි එක්තරා පුද්ගලයකු ගෙන ගිය එවන් ජයග්‍රාහී මංජුසාවක, එසේත් නැත්නම් ආණ්ඩුකාරවරයාගේ කුසලානය තුළ රන් පවුම් හයක් තිබූ බව පැවසෙනවා.

ඒ කාලෙ තුරඟ තරග ප්‍රතිඵල පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට යොදා ගත්තෙ ඉංග්‍රීසි පුවත්පත්. ඒකට හේතු වුණේ ප්‍රභූ පැලැන්තියගේ ක්‍රීඩාවක් බවට මෙය පත්ව තිබීමත්, ඔවුන් කියැවූ පුවත්පත් ඉංග්‍රීසි ඒවා වීමත් නිසයි. 1906 පමණ වන විට මේ නිල ප්‍රතිඵල සිලෝන් ඩේලි නිවුස් පුවත්පතේ පළ කර තිබෙනවා. නිතිපතා පැවැත්වූ තුරඟ තරග පිළිබඳ ලංකා ටයිම්ස් පත්‍රය වරෙක සිත් ඇදගන්නා සුලු විස්තරයක් ඉදිරිපත් කර තිබුණා. ඒ මේ ආකාරයටයි.

“සවස හතරෙන් පසු විලාසිතාවට ඇඳ පැළඳගත් ප්‍රේක්ෂකයන් සමූහයකගෙන් ප්‍රධාන ප්‍රේක්ෂකාගාරය පිරී ඉතිරී යන විට, සෙනඟ පිටියේ රැස්කකා උන්හ. තද රතු කබා පැළඳි 73 වැනි බළකායේ හේවායන් ද, නිල් පැහැති ඇඳුමෙන් කාලතුවක්කු හමුදා සෙබළු ද, කොළ පැහැති රයිෆල් හමුදාව ද, කහ සිවුරු දැරූ බෞද්ධ භික්ෂූන් ද, සෑම වර්ගයක ම වාහනවලින් පැමිණි බර්ගර් ජාතිකයන් ද, (පහසුකම් සහිතව යා හැකි වාහනවල සිට තිරික්කල දක්වා) දෝලාවලින් පැමිණි මුවර් ජාතිකයන් ඔට්ටු බාර ගැනීමට සූදානම්ව ද, පිටකොටුවේ තම්බි ද, අලංකාර ඇඳුමින් සැරැසුණු ස්වදේශිකයන් ද, පුදුම ඵළවන සුළු වර්ණයෙන් යුතු ඇඳුමෙන් සැරැසුණු ස්වදේශීය කාන්තාවන් ද, අපවිත්‍ර අස්පල්ලන් ද, ලංකාවේ පැවැති පන්ති නියෝජනය කරමින් පැමිණ සිටියහ.”

යුරෝපා ජාතීන්ගෙන් සමන්විත වුණු සී. ටී. සී. ආයතනයේ කාරක සභාව සඳහා ප්‍රථම වරට පත්වූ සභාපතිවරයා වී ඇත්තේ ශ්‍රීමත් හර්කියුලස් රොබින්සන් ආණ්ඩුකාරවරයායි. ඒ 1871 වසරේදීයි. එම ආයතනය මඟින් පිරිනැමූ ප්‍රථම කුසලානය කෲසේඩස් නම් වන අතර, එය මුල්වරට දිනා ගත්තේ ඉංග්‍රීසි යුද හමුදාවේ ලව්රි නමැති ලුතිනන්වරයෙක්.

සූදුව නිසා සමහරු ධනවතුන් වෙනවා. සමහර අය හිඟමනට වැටෙනවා. තුරඟ තරග නිසාත් සමහරු මේ වගේ තත්ත්වවලට වැටුණා. මේ තරග පිටිය නිසා, කොළොම්පුරය ඉතාමත් ම දියුණුවට පත්වෙලා. කුලී කරත්තකරුවන්, මත්පැන්හල්වලින් සුරඟනන්ගෙන් ද, ඕනෑම මොහොතක මුදල් ණයට දීමට සැදී පැහැදී සිටින සෙට්ටින්ගෙන් ද බහුල පෙදෙසක් බවට පත්ව තිබෙනවා. කෙසේ වෙතත් එදා “රිසල්ස්” යන හඬ නඟමින් වීදි දිගේ දුවමින් තුරඟ තරග ප්‍රතිඵල රාත්‍රියේදී ප්‍රචාරය කර ඇති බව පැවසෙනවා.

1922 වන විට නැ‍ඟෙනහිර රටවල් අතරින් ස්වයංක්‍රීය ඔට්ටු තැබීමේ ක්‍රමයක් සහිත මුල් ම ස්ථානය බවට පත්වීමට කොළඹ තුරඟ තරග පිටිය පත්ව තිබෙනවා. බොහෝදෙනා එම යන්ත්‍රය “ටෝට්” යනුවෙන් හැඳින්වීමට පුරුදුව සිටියා. මේ විශාල සහ සංකීර්ණ යන්ත්‍ර ඒ වන විට ස්ථාපනය කර තිබුණේ නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව පමණයි. එවකට මෙවැන්නක් මෙහි භාවිතයට පෙලඹීම විශාල තාක්ෂණික ජයග්‍රහණයක්. එයින් වසර 20 කට පසු, එනම් 1942 දී තුරඟ තරග පිටිය අසාමාන්‍ය පැවරීමකට ලක් වුණා. ඒ දෙවැනි ලෝක යුද සමයේදී ගුවන් තොටක් පිහිටුවීමයි. ඒ මඟින් එකල තීරණාත්මක මෙහෙයක් ඉටුකොට තිබෙනවා.

එතැන් සිට 1956 වන තෙක් තුරඟ තරග පිටියේ මේ ක්‍රීඩා පැවැත්වීම තහනම් වුණත්, ඒ අතරතුර කාලයේ නුවරඑළියේ තරගාවලියක් පවත්වා තිබෙනවා. කෙසේ වුවත් තුරඟ තරග පිටිය 1956 වසරේ දී යළි විවෘත වූ බව පැවසෙනවා.

පසු කාලීනව තුරඟ තරග පිටිය රජයට පවරාගෙන, එම භූමියට අයත් ඉඩම් විවිධ ආයතන ඇරැඹීම සඳහා බාර දී තිබෙනවා. ඒ අනුව ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව, ක්‍රීඩා සමාජ කිහිපයක් මෙහි ස්ථාපනය කෙරුණා. ටික කලක් එහි ප්‍රේක්ෂකාගාරය කොළඹ සරසවිය භාවිත කර තිබෙනවා. මේ ස්ථානය යුද හමුදාවට වගේ ම, ශ්‍රී ලංකා ගුවන් හමුදාවත් ප්‍රයෝජනයට අරන් තිබෙනවා.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා