මදාරා මල් සුපිපි දීපදුත්තාරාමය

මදාරා මල් සුපිපි දීපදුත්තාරාමය

බෞද්ධ සාහිත්‍යයේ සඳහන් ආකාරයට මදාරා මල් සුවඳ විඳ ගැනීමට නම් දිව්‍ය සම්පත් ලබාගත යුතුය. නමුත් කොළඹ කොටහේන දීපදුත්තාරාම විහාරයට පැමිණි විටද මදාරා මල් පමණක් නොව ගෙඩිද දැක, මදාරා ගස් සෙවනේ හිඳ ලොව්තුරු සුව විඳීමටත් අවස්ථාව ලැබෙයි.‍

දීපදුත්තාරාමයෙහි ඇති මදාරා ගස සිටුවා ඇත්තේ දැනට වසර 64කට පෙර නයිකුමරු එච්. එම් බුමිබ්‍රල් අදුල්ලේසේගේ සුරතිනි. දීපදුත්තාරාමයත් තායිලන්තයත් අතර ඇති සමීප සබඳතාව නිසාම තායි පංසල ලෙසද එය හඳුන්වයි.

තායි විහාරයේ වඩා වැදගත්වන ඵෙතිහාසික කරුණු බොහොමයකි. කොළඹ නගරයෙහි පිහිටි පැරැණිතම බෞද්ධ විහාරය දීපදුත්තාරා‍මයයි. මෙහි ඇති සුවිශේෂිම වටිනාකම වන්නේ 19 වැනි සියවසේ මතු වූ බෞද්ධ පුනරුද ව්‍යාපාරයේ මුඛ්‍ය කාර්යභාරයක් ඉටු කළ පුජනීය ස්ථානයක් වීමයි. බෞද්ධ කොඩිය නිර්මාණය කිරීම, වෙසක් පොහොය දින රජයේ නිවාඩු දිනයක් බවට පත් කිරීම මෙන්ම පළමුව බෞද්ධ කොඩිය ගුවනට එසවුයේත් දීපදුත්තාරාම පුදබිමේදියි.

බ්‍රිතන්‍ය පාලන සමයේදී කොටහේන ප්‍රදේශය ප්‍රබලතම රෝමානු කතෝලික මධ්‍යස්ථානයක් විය. කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව්මැදුර බ්‍රිතාන්‍ය පාලනය යටතේ ක්‍රියාත්මක වූ ආගමික මධ්‍යස්ථානයයි.

“රට ගිය මුදියන්සේ ” නමින් ප්‍රකටව සිටි සවියෙල් තාබ්‍රෙව් උභය කුලතුංග විජේසිරිවර්ධන මහ මුදලිතුමන් 1745 දී පමණ ඕලන්ද ආණ්ඩුකාරවරයාගෙන් විශේෂ අවසරයක් ගෙන ඔහුගේ පරපුරට අයත්ව පැවැති වලව්ව හා අක්කර සියගණකින් යුතු ඉඩම විහාරයක් බවට පත් කළහ. එකල තමාගේම නිවෙස් වූව ආරාමයක් බවට පත් කිරිම සඳහා විශේෂ අවසරයක් ගත යුතුව තිබිණි.

වලව් වැසියන්ගේ මෙන්ම පවුලේ හිතවතුන්ගේ ආගමික අවශ්‍යතා ඉටු කිරීම නිසාම මෙම ආරාමය ප්‍රදේශවාසීන් විසින් හැදින්වුයේ “වලව්වේ පන්සල” නමිනි.නමුත් 1800 දී පමණ විහාරස්ථානය මුල්කරගෙන පවත්වන ලද සති පිරිත් පිංකම් සඳහා ජනතාව සහභාගි වීමත් සමඟම පොදු ජනතාවගේ පුණ්‍ය භූමියක් බවට පත් විය.‍

මුල්ම කාලයේ ආරාමය ඉදි කිරිමේ දී කොතරම් බලපෑම් සිදුවීද යත් උභය කුලතුංග මහමුදලිතුමාට තම වලව්වේ සාලයෙහි තැණූ බුදුගෙයි තොරණ සැකසිමේදී බුදුපිළිමයට ද ඉහළින් බ්‍රිතන්‍ය රාජකීයත්වයේ සලකුණ වන ඔටුන්න පිහිටන සේ සැකසීමට සිදු වී ඇත.

දීපදුත්තාරාමයෙහි පළමු විහාරාධිපති සීනිගම ධම්මක්ඛන්ධ හිමියන්ය. උන්වහන්සේගෙන් පසුව විහාරාධිපති බවට පත්වන්නේ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියි. දීපදුත්තාරාමයේ ස්වර්ණම යුගය සනිටුහන්වන්නේ ගුණානන්ද හිමිගේ යුගයේදීය. එපමණක් නොව බුදුදහම මෙන්ම බෞද්ධකම පිළිබඳ අන්තර්ජාතික අවධානයක් ඇති කිරීමට ගුණානන්ද හිමි සමත්වෙයි.

1815 අත්සන් කළ උඩරට ගිවිසුමෙහි තුන්වන වගන්තිය වුයේ බුදු දහම ආරක්ෂා කිරීම සඳහා බ්‍රිතාන්‍ය රජයට ඇති වගකීමයි. නමුත් 1818 කැරැල්ලෙන් අනතුරුව බුද්ධ ශාසනය වැනසීම සඳහා බ්‍රිතාන්‍යයන් චේතනාන්විතව කටයුතු කළේය. ඊට විරුද්ධව කලක් පුරා ගොඩනැඟුණ බෞද්ධ බලවේගය ඉස්මතු වුයේ ගුණානන්ද හිමි‍ෙග් ක්‍රියාකලාපයත් සමඟය.

ඒ අනුව ක්‍රිස්තියානි පුජකයන් සමඟ බුදු දහමේත්, කිතු දහමෙත් සත්‍ය අසත්‍යතාව පිළිබද ප්‍රසිද්ධ වාද පැවැත්වු උන්වහන්සේගේ වාද පොත් ලෙසට ඉංග්‍රීසි බසින් දෙස් විදෙස් සුපතළ විය. පානදුරාවාදය, උදම්විට වාදය, බද්දේගම වාදය, ලෙසින් ප්‍රසිද්ධ වූ මේ වාද විවාද ඇමෙරිකාවේ නිව්යොර්ක්හිදී කියැවු හෙන්රි ඕල්කට්තුමා ලංකාවට පැමිණීමට ප්‍රධාන හේතුවක් වුයේ ගුණානන්ද හිමිගේ ක්‍රියා කලාපයයි.

ගුණානන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් බෞද්ධ ප්‍රබෝධය ඇතිවන ක්‍රියා රැසකට මුල පිරූ අතර බෞද්ධ පොත්පත් මුද්‍රණය කිරීම, පුවත්පත් මුද්‍රණය, පත්‍රිකා මුද්‍රණය ධර්මදේශනා පැවැත්වීම මෙන්ම පෙරහැර සංවිධානය ආදී ක්‍රියාමාර්ග රැසක් බාධක මධ්‍යයේ සිදු කළහ. එම ක්‍රියා අන්‍ය ආගමිකයිනට කෙතෙක් බලපැම් සහගත වීද යත් ක්‍රිස්තියානි ප්‍රඥප්තිය නමින් කෘතියක් රචනා කරමින් බෞද්ධයින් කිතු දහම වෙත හැරවීමට විශාල මෙහෙයක් කළ ඩී. ජේ ගොගර්ලි පියතුමා ලන්ඩනය වෙත යැවු ලිපියක මෙලෙස සඳහන් වේ.

“අවුරුදු පනහක් පමණ අප සිතාගෙන සිටියේ බුද්ධාගම අවසානයි කියාය. නමුත් මෙතෙක් ඉවසාගෙන සිටි බෞද්ධ පිරිස තුළ මහත් උද්යෝගයක් ඇති වී තිබේ. කොළඹ සහ මුහුදුබඩ මිනිස්සු දෙවියන් වහන්සේ ගැන ප්‍රශ්න කරති. වත්තල්පොලදී අපේ පුජකතුමාට සීයයක් පමණ දෙනාට කථා කිරීමට සිදුවිය”

දීපදුත්තාරාමයේ අභිනවයෙන් ඉදි වූ බුද්ධ ප්‍රතිමාව විවෘත කිරීම යෙදී තිබුණේ 1883 මාර්තු 23 වෙනි පුන් පොහෝ දිනයි.

ඒ වෙනුවෙන් පෙරහැර මාලාවක් සංවිධානය කර තිබුණද හේතු විරහිතව පෙරහැර නතර කරන ලෙස දන්වා තිබේ. නමුත් මුලින්ම පොලිසියෙන් ලත් අවසරයට අනුව පෙරහැර පැවැත්වීමට ගුණානන්ද හිමි සියල්ල සංවිධානය කර තිබුණි. පෙරහැර සුදානම් වූ පරිදි පිටත් වුව ද කොටහේන ශාන්ත ලුසියා දේවස්ථානය ඉදිරිපිටින් ගමන් ගනිද්දි පල්ලිය ඉදිරිපිට රැස් වූ පිරිස ගල්මුල් වලින් ප්‍රහාර එල්ල කරන්නට විය.

එදින පිරිස විසිරී ගියද ගුණානන්ද හිමිගේ උපදෙස් වී ඇත්තේ මින් අනතුරුව පෙරහැර සදහා කොඩි හා මල් සැරසිලි ආදිය නිවසේ ඇති මෝල් ගසක බැඳ රැගෙන එන ලෙසයි.

අනතුරුව “මෝල් ගස් පෙරහැර ලෙස ප්‍රසිද්ධ වූ මෙවැනි පෙරහැරට හිංසා කිරීමට කිතුනුවෝ මැළි වූ බවට කරුණු අනාවරණය වෙයි. ‍එපමණක් නොව නගර පුරා ඇති බෝ ගස් කැපීම නවතා බෝධි සිටවීම සදහා බෝධි රාජ සමිතිය පිහිටුවුයේත් ගුණානන්ද හිමි විසිනි.

කොළඹ නගරය තුළ ඇති දැකුම්කලු විහාර අතරින් එකක් වන දීපදුත්තාරාමයෙහි චෛත්‍ය සියල්ල අතරින් විශේෂිතය. දේශීය සම්ප්‍රදායට වඩා‍ එහි ඇත්තේ තායි සම්ප්‍රදායයි. පුරාවිද්‍යා භූමියක් ලෙසද සුරක්ෂිත කර ඇති මේ පුදබිමෙහි ඇති විශේෂත්වය වන්නේ බුදුන්වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා මෙහි නිදන්කර තිබිමයි.

 

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා