තොණ්ඩුවකට බොහෝ දේ කළ හැකියි...!

තොණ්ඩුවකට බොහෝ දේ කළ හැකියි...!

ධර්මද්වීපය ලෙස හැඳින්වූ ශ්‍රී ලංකාව අද බිහිසුණු අපරාධවලට තෝතැන්නකි. එය යට ගසා සුදුහුණු ගෑම උගුරට හොරා බෙහෙත් බීමක් බඳු ය. සරල නිදසුන් කිහිපයකින් මේ බව සනාථ කළ හැකි ය. ශ්‍රී ලංකාව සංචාරක පාරාදීසයක් වන්නේ වුව සුද්දෙකුට තම පෙම්වතිය කැටුව විත්; රාත්‍රී සමාජ ශාලාවක විනෝද වීමේ ඉඩක් මේ රටේ නැත. දේශීය සල්ලාලයෝ සුද්දාට පහර දී පෙම්වතිය දූෂ්‍ය කරති. පුදුමයකට මෙන් එම සල්ලාලයන් දේශපාලනයට ද සම්බන්ධ ය. ස්ත්‍රියකට පොදු ප්‍රවාහන සේවාවකින් නිදහසේ ගමනක් - බිමනක් යෑමට පුළුවන්කමක් නැත. ඇගේ ශරීරය කූරුගෑමට සල්ලාලයෝ සූදානමින් සිටිති.

මිනීමැරුම්වල කෙළවරක් නැත. වචනයක් වැරදුණහොත් පිහියෙන් ඇන මරා දමන දුෂ්ඨ සමාජයක අපි ජීවත් වන්නෙමු. කුලියට මිනී මරන විශාල පිරිසක් අද අප අතර සිටිති. රට ම වනසන මත්කුඩු ජාවාරමට රටේ ඉහළ ම දේශපාලකයෝ ද සම්බන්ධ වෙති. ඕනෑ ම සමාජ කණ්ඩායමක් වෙතින් නීති - විරෝධී ගිනි අවි සොයා ගත හැකි ය. ඔව්හු ඒවා සිත් සේ භාවිත කරති. නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා නිල බලයෙන් පත් වී ඇති පොලිස් දෙපාර්තමේන්තුව බොහෝ විට අසරණ ය. බොහෝ හේතු - සාධක නිසා පොලිස් නිලධාරියාට දේශපාලන බලවතාගේ පැත්ත ගැනීමට සිදු වී තිබේ.

නීතිය හා සාමය නැති රටක මානව අයිතිවාසිකම් ආරක්ෂා වන්නේ නැත. එබඳු රටක නිදහසක් ගැන කතා කිරීම ද විහිළුවකි. පාකිස්ථානය ගොඩනැඟූ ජාතියේ පියා ලෙස සලකනු ලබන මොහොමඩ් අලි ජින්නා ප්‍රකට නීතිවේදියෙකි. ඔහු වඩාත් සැලැකිලිමත් වූයේ සිය මාතෘ භූමියේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම ගැන ය. ශ්‍රී ලංකාවේ ගෙවී ගිය දසක කිහිපය තුළ අපරාධ මඟින් වැඩියෙන් ම පීඩාවට පත් ව ඇත්තේ ස්ත්‍රීන් හා දරුවන් ය. දරුවන් අපහරණයෙහි යොදවා ගැනීම සම්බන්ධයෙන් කප් ගැසූ රටක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රකට ය. ස්ත්‍රී විෂයයෙහි හා දරුවන් විෂයයෙහි බලපවත්වන අලුත් නීති හඳුන්වා දී ඇතත්; අපරාධවල අඩුවක් පෙනෙන්නට නැත.

අලුත් ආණ්ඩුවේ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා රටේ පවතින අපරාධ රැල්ල සම්බන්ධයෙන් බලවත් කම්පාවට පත් ව ඇති සැටි‍යක් පෙනෙන්නට තිබේ. අස්ගිරි හා මල්වතු මහ නාහිමිවරුන් හමු වූ විජේදාස රාජපක්ෂ මහතා කියා ඇත්තේ මරණ දඬුවම සක්‍රීය කරමින් හෝ අපරාධ රැල්ල මර්දනය කරන බව ය. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ගැන විවිධ මතවාද තිබෙන්නට පුළුවන. එය එක ම විසැඳුමදැ’යි කෙනකු විමසන්නට පුළුවන. ශිෂ්ට සමාජය එය අනුමත නොකරනු ඇතැයි තව කෙනෙකු කියන්නට පුළුවන. අපරාධකාරයකුගෙන් පළිගැනීම සාරධර්මවලට නො ගැළපෙන ක්‍රියාවක් යැයි තවත් කෙනකු කියන්නට පුළුවන. එහෙත් ආයුධ සොයන්නට ගොස් වෙඩි තබා මරා දැමීමට වඩා එල්ලුම් ගස ක්‍රියාත්මක කිරීම නීතියට එකඟ ය.

ෂරියා නීතියට අනුව බෙල්ල කපා මරා දැමීම හෝ ගල් ගසා මරා දැමීම හෝ මනුෂ්‍යත්වයට නො ගැළපෙන ම්ලේච්ඡ ක්‍රියා ලෙස සමහරු විවේචනය කරති. එහෙත් මේ නීතිය හඳුන්වා දුන්නේ එදා අරාබි සමාජය තුළ සිදු වූ තිරිසන් ස්ත්‍රී දූෂණ ඇතුළු තවත් බලවත් අපරාධ වැළැක්වීම සඳහා ය. එය බොහෝ සෙයින් ම ප්‍රතිඵලදායක විය. අපරාධ මර්දනය සඳහා බලවත් නීති මෙන් ම බලවත් දඬුවම් ද පැවැතිය යුතු ය. එල්ලුම් ගස ක්‍රියාත්මක කිරීම අපේ නීතියට එකඟ ය. නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ නම්; නියම අපරාධකාරයා තෝරාගැනීම අපහසු කාරණයක් නො වේ. අපරාධයකට දඬුවමක් තිබිය යුතුම ය. එය ස්වාභාවධර්මයේ නීතියට ද එකඟ ය.

අප හොඳින් ම දන්නා පරිදි මේ රටේ නීතිය හරියට ම ක්‍රියාත්මක වන්නේ නැත. දේශපාලන බලවතා බලය යොදාගෙන නීතියේ වගන්තිවලින් පැන යයි. සල්ලිකාරයා මුදල් වීසිකොට නීතියේ රැහැනින් පලා යයි. අවසන් ලෙස ‍නීතිය හරියට ම ක්‍රියාත්මක වන්නේ දුබලයාට හා අසරණයාට ‍පමණි. කුඩු ජාවාරම දෙස බලන විට එය හොඳින් ම පැහැදිලි වේ. තලවකැලේ තරුණයෙක් මත්කඩු ස්වල්පයක් නිසා ඉහළ කොත්මලේ ජලාශයට පැන දිවි නසාගත්තේ ය. එහෙත් මත්කුඩු කිලෝ ගණනින් අලෙවි කොට කෝටිපතියන් බවට පත් ව සිටින බලවතුන් ඇල්ලීමට පොලිස් නිලධාරීන් යන්නේ නැත. තෝරු - මෝරු නිදහසේ සිටිය දී හාල්මැස්සන් අල්ලනවා යැයි මිනිස්සු මේ ක්‍රමය විවේචනය කරති.

අලුත් ආණ්ඩුවට මේ සියල්ල වෙනස් කිරීමේ අවංක වුවමනාවක් ඇති බව පෙනෙන්නට තිබේ. යහ පාලනය යන සංකල්පය ආණ්ඩුවේ ප්‍රධාන තේමා පාඨයක් වී තිබීමෙන් ම එය පැහැදිලි වේ. අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පියවරෙන් - පියවර තම ඉලක්කය කරා ගමන් කරන බවක් ද පෙනෙන්නට තිබේ. රටේ ජනතාව ඒ ගැන සතුටු වන අතර අපරාධ සම්බන්ධයෙන් අප දන්නා කරුණු කිහිපයක් ද මෙහිලා සටහන් කරන්නට කැමැත්තෙමු. පළමුවන්න පොලිසිය නිර්දේශපාලනය කිරීම ය. දෙවන්න අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කිරීම ය. තෙවන්න පරීක්ෂණ හා නඩු විභාග යුහුසුලු කිරීම ය. හතරවන්න අපරාධකරුවන් පුනරුත්ථාපනය කිරීම ය.

පොලිස් දෙපාර්තමේන්තුව දේශපාලන බලපෑම්වලින් නිදහස් කිරීම ආණ්ඩුවට වහා ම කළ හැකි ය. පොලිස් කොමිසමක් පත් කිරීමට පෙර ද එය කළ හැකි ය. අනෙක් කාරණය අපරාධවලට හේතු - සාධක සොයා බැලීම ය. යුද්ධයක් පැවැති රටක ගිනි අවි නිදැල්ලේ භාවිත වීම සාමාන්‍ය සිරිතය. දැන් යුද්ධයක් නැත. ගිනි අවි දැරිය හැක්කේ නිල හමුදාවකට පමණි. එහෙත් මේ රටේ පාතාලයට හමුදාව පාවිච්චි කරන නූතන ගිනි අවි තිබේ. ඒවා අත්අඩංගුවට ගත යුතුය. මත්කුඩු ජාවාරම ද කුලියට මිනීමැරීම ද වහාම වැළැක්විය යුතු ය. ඒ සඳහා යොදාගත හැකි එක් උපාය මාර්ගයක් ලෙස එල්ලුම් ගහ ක්‍රියාත්මක කිරීම පෙන්වා දිය හැකි ය.

එල්ලුම් ගහ ක්‍රියාත්මක වන්නේ නම්; දරුණු අපරාධයක් සඳහා පෙළඹෙන මිනිසා ඒ සඳහා දෙවරක් - තුන්වරක් කල්පනා කරනු ඇත. මරණයට සියල්ලන් ම අකැමැති බැවිනි. බිය බැවිනි. ප්‍රේමය හැරුණු කොට වැඩියෙන් ම කවි ලියැවී ඇත්තේ මරණය ගැන ය. මරණය අබිමුව නොසැලෙන හදවතක් නැත්තේ ය. බිය - සැකය හා ලැජ්ජාව සමාජයක් පවත්වා ගැනීමේ දී වැදගත් ය. එය යහපාලනයට ද අදාළ සූත්‍රයක් බව පෙන්වා දිය යුතු ය. මරණ දඬුවම ක්‍රියාත්මක කළහොත් සිදුවන අපරාධවලින් බොහොමයක් වළක්වා ගත හැකි බව අපට පෙනෙන යථාර්ථය යි.

 

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා