බංගබන්ධු රන් කුසලානයෙන් ශ්‍රී ලංකා පාපන්දු පිල හැලෙයි

බංගබන්ධු රන් කුසලානයෙන් ශ්‍රී ලංකා පාපන්දු පිල හැලෙයි

බංග්ලාදේශයේ දැන් පැවැත්වෙන බංගබන්ධු රන් කුසලාන පාපන්දු තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගීවූ මූලික වටයේ තරග දෙකෙන්ම පරාජයට පත්වී ඉවතට ගියේය. රටවල් 6ක සහභාගීත්වයෙන් පැවැත්වෙන බංගබන්ධු රන් කුසලාන පාපන්දු තරගාවලියේ ශ්‍රී ලංකාව මලයාසියාවට ගෝල් 2-0කින් හා බංග්ලාදේශයට ගෝල් 1-0කින් පරාජය විය.

ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩකයෝ මේ තරග දෙකේදීම ගෝල් වාර්තා නොකිරීම විශේෂත්වයකි. මේ තරගාවලියට එක්වූ බහරේනයද මූලික වටයේ තරග දෙකේදීම ගොල් වාර්තා නොකොට පරාජයවී ඉවතට විසිවිය.

මෙම තරගාවලියට සහභාගීවූ මලයාසියාව, තායිලන්තය, සිංගප්පූරුව හා බහරේන් යන රටවල් 23න් පහළ කණ්ඩායම් සහභාගී කරවූ අතර ශ්‍රී ලංකාව හා සත්කාරක බංග්ලාදේශය පමණක් මුල් පෙළේ කණ්ඩායම් එක් කළහ.

මූලික වටයේ තරග ජයගත් සිංගප්පූරුව හා මලයාසියාව අද පළමු අවසන් පූර්ව තරගයට පිවිසෙන අතර බංග්ලාදේශය හා තායිලන්තය හෙට දෙවැනි අවසන් පූර්ව තරයට පිවිසේ. තරග දෙකෙ ජයග්‍රාහකයින් මේ මස 8දා අවසන් මහා තරගයට එක් වේ.

මූලික වටයේදී මැලේසියාව සහභාගීවූ බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව සමග තරග දෙකෙන්ම ජයගෙන ‘ඒ’ කාණඩයේ ඉදිරියෙන්ම සිටින අතර තායිලන්තය සහභාගීවූ සිංගප්පූරුව හා බහරේන් යන තරග දෙකම ජයගෙන ‘බී’ කාණ්ඩයේ ඉදිරියට පැමිණියේය. තරග එක බැගින් ජය ගැනීමේ වාසිය මත සිංගප්පූරුව හා බංග්ලාදේශය අවසන් පූර්ව සටනට පිවිසියහ.

දකුණු ආසියානු කළාපයේ රටක මේ වසරේ පැවැති පළමු අන්තර්ජාතික පාපන්දු තරගාවලිය මෙයවූ අතර ඉදිරියේ පැවැත්වෙන සාෆ් පාපන්දු තරගාවලියට බංගබන්ධු රන් කුසලානය පෙරහුරුවක් ලෙස සැලකුණි. එහෙත් සාෆ් පාපන්දු තරගාවලියට සහභාගීවන රටවල් දෙකක් පමණක් මේ තරගාවලියට එක් විය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා