අභියෝග ජය ගැනීමට භේද දුරලා එක්වෙමු

අභියෝග ජය ගැනීමට භේද දුරලා එක්වෙමු

 ජාතික හෙළ උරුමය නිදහස් දින පණිවිඩයෙන් කියයි

දෙදහස් පහ‍ළොවේ ජනවාරි අට දින අවිහිංසාවාදී කතිර විප්ලවයකින් ජනතාව නව යුගයකට, වෙනසකට රට යොමු කළ බවත් රට හමුවේ ඇති අභියෝග ජය ගැනීම සඳහා පක්ෂ, පාට, ජාති, ආගම් භේදයෙන් තොරව මෙවර නිදහස් දිනයේ දී රට ඉදිරියට ගෙන යාමට සියලු දෙනා අධිෂ්ඨාන කර ගත යුතු බව ජාතික හෙළ උරුමය නිදහස් දින පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටී.

ජාතික හෙළ උරුමයේ නායක ආචාර්ය ඕමල‍්පේ සෝභිත නාහිමියන්ගේ අත්සනින් නිකුත් කර ඇති එහි මෙසේද සඳහන් වේ.

සියවස් 4කට ආසන්න කාලයක් බටහිර ජාතීන්ගේ ආක්‍රමණයන්ට ගොදුරුව යටත් විජිතයක්ව පැවැති අපගේ මාතෘ භූමිය 1948 පෙබරවාරි 04 වන දින නිදහස දිනා ගත්තේ ලේ බිඳක්වත් නොසොල්වා යැයි උදම් ඇනුව ද රටේ නිදහස හා ස්වාධීනත්වය වෙනුවෙන් වැගිරූ ලේ අපමණය. ඒ වෙනුවෙන් කළ කැපකිරීම් පරිත්‍යාගයන් අපගේ ඉතිහාසයේ ලෙයින්, රනින්, ගලින් ලියවී ඇත. සමහරුන් ඒ ඉතිහාසය යටපත් කර ව්‍යාජ ඉතිහාසයක් ද නිර්මාණය කර ඇත.

1815 ගිවිසුමකින් ඉංග්‍රීසීන්ට රට බාරදීමෙන් පසු මාතෘ භූමියේ නිදහස උදෙසා සටනට වන් කැප්පෙටිපොළ සෙනෙවි , බූටෑවේ රාළ,කිවුලේගෙදර මොහොට්ටාල, වාරියපොළ සුමංගල හිමි, කුඩහ පොළ හිමි, ගොංගාලේගොඩ බණ්ඩා, පුරන්අප්පු, හඟුරන්කෙත ඩිංගිරාළ ඇතුළු දහස් ගණනක් වීරයින් මේ රට වෙනුවෙන් දිවි පුදා ඇත. අවි බලයෙන් යටපත් කළ ද ජාතික නිදහස වෙනුවෙන් බෞද්ධ පුනර්ජීවනයට අනගාරික ධර්මපාලතුමා, ඕල්කට්තුමා, පියදාස සිරිසේන, වලිසිංහ හරිස්චන්ද්‍ර නිදහස් අරගලයේ පුරෝගාමීන්ය.

පානදුරාවාදය, බෞද්ධ පාඨශාලා, සාහිත්‍ය කලා ව්‍යාපාර, භාෂා පෙරමුණු හරහා නිදහස උදෙසා සටනට පණ දුන්නේය. මෙහි ප්‍රථිඵලයක් ලෙස දේශපාලන ප්‍රතිසංස්කරණ හරහා අප රටට නිදහස දිනා ගන්නට ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමා සමත් විය. සමාජ, ආර්ථික, දේශපාලන වශයෙන් පූර්ණ නිදහසක් මව්බිමට ලැබුණේ ද යන්න පිළිබඳ ප්‍රශ්නාර්ථයක් මතු වුව ද ඒ නිදහස් සටනේම තවත් අදියරක් පරිපූර්ණ වූයේ 56 විප්ලවයෙනි‍. සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු, පංච මහා බලවේග පෙරටු ‍කරගත් සමාජ සංස්කෘතික විප්ලවයට නායකත්වය දුන්නේ එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායකයන්ය.

උතුරින් දෙමළ ජාතිවාදය හා බෙදුම්වාදී තර්ජනය හිස එසවූවද 72 ජනරජ ව්‍යවස්ථාව අපගේ මාතෘ භූමියට පූර්ණ ස්වාධීනත්වය ගෙන ආවේය. මව්බිමේ එකීයභාවය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අනුල්ලංඝනීය කොටසක් වූ අතර බුදු දහමට ප්‍රමුඛස්ථානය දෙමින් යටත්විජිතවාදයෙන් වූ ඓතිහාසික වැරැද්ද නිවැරැදි විය. 78 දෙවන ජනරජ ව්‍යවස්ථාව ද නිදහසෙන් පසු අප රටේ ගමන් මඟ වෙනස් කළ සංසිද්ධස්ථානයක් විය. ඒ තුළ සාධනීය ලක්ෂණ මෙන්ම නිෂේධනීය ලක්ෂණ ද විය. එමඟින් ඇති කළ සමාජ, දේශපාලන, ආර්ථික ප්‍රතිවිපාකයන් බොහෝය. ප්‍රජාතන්ත්‍රවාදයට ඇති කළ බලපෑම විශාලය. තිස් අවුරුදු යුද්ධයකට රට ගමන් කළ අතර උතුරේ බෙදුම්වාදය රටේ න්‍යාය පත්‍රයේ තීරකයා විය.

එහි අතුරු ප්‍රථිඵලයක් ලෙස දකුණේ සිවිල් සන්නද්ධ කැරැල්ලක් නිර්මාණය විය. ඉන් රටට අහිමි වූ ජීවිත හා දේපළ විනාශය කිවනොහැකි තරම්ය. 2009 වර්ෂයේ උතුරේ දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමා, රණවිරුවන් හා හමුදා ප්‍රධානීන් සමත් වූ අතර ඒ වෙනුවෙන් දිවිපිදූ 26000ක් රණවිරුවන් අප සිහිපත් කරමු. ඒ යුද ජයග්‍රහණයෙන් පසු රටට උදා වූ ස්වර්ණමය අවස්ථාව පාලකයන් මඟ හැරි අතර අවනීතිය, දූෂණය, අශීලාචාරකම පිරි යුගයකට රට ගමන් කළේය. රට තුළ ගොඩනඟාගත යුතුව තිබූ ජාතික එක්සත්භාවය , සංහිඳියාව, සමාජ දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමට අසමත් විය. දූෂිත පාලනයකට රට ගොදුරු විය.

එය නිමා කර 2015 ජනවාරි 08 දින අවිහිංසාවාදී කතිර විප්ලවයකින් ජනතාව නව යුගයකට, වෙනසකට රට යොමු කළ අතර මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ජනපති ධුරයට ජනවරමක් හිමි විය. ඒ ජනවරම පිළිඹිඹු වන්නේ යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය, ශීලාචාරකම හා ප්‍රබුද්ධ රාජ්‍යයක් ලෙස ලෝකයා ඉදිරියේ අප මාතෘ භූමියේ ප්‍රතිරූපය යුක්ති සහගත ලෙස ගොඩනැඟීමේ අභියෝගයයි. එම අභියෝගය ජයගැනීම සඳහා පක්ෂ, පාට,ජාති ආගම් භේදයෙන් තොරව මෙවර නිදහස් දිනයේ දී සම්මුතිවාදී ජාතික සමඟි සන්ධානයකින් රට ඉදිරියට ගෙන යන්නට අප සියලු දෙනා අධිෂ්ඨාන කර ගත යුතුය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා