හිටපු රාජපක්ෂට වඩා පැරදුණු රාජපක්ෂට බයයි

හිටපු රාජපක්ෂට වඩා පැරදුණු රාජපක්ෂට බයයි

පාර්ලිමේන්තු මන්ත්‍රී - විමල් වීරවංශ

ජනාධිපතිවරණයෙන් පසු රට තුළ ක්‍රියාත්මක වන දින සියයේ වැඩපිළි‍වෙළ, අතුරු අයවැය සහ වර්තමාන දේශපාලන වාතාවරණය සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ.

වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත් වූයේ දින සියයකින් අලුත් රටක් බිහි කිරීමේ දැක්මක් ඇතිවයි. ඒ අනුව එම කාලයෙන් තුනෙන් එකකට ආසන්න කාලයක් දැන් ගෙවී ගොස් අවසන්. මේ ගෙවුණු කාලය ජාතික නිදහස් පෙරමුණ දකින්නේ කොහොමද?

ජනාධිපතිවරණයෙන් පසුව සිදු වුණේ ජනාධිපති ධුරය මෛත්‍රීපාල සිරිසේන මහතා අතට මාරු වුණ එක පමණක් නොවෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලයත් එතුමා අතට මාරු වුණා. මාරු වෙන්නට ඉඩ දීලා බොහෝ දෙනා බලා සිටියා.

ඉන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලයත් මේ පාලනයේ නොනිල කොටස්කරුවන් බවට පත් වුණා. ඔවුන්ගෙන් විපක්ෂ නායකවරයෙක් සහ විපක්ෂ සංවිධායකවරයෙක් දාලා මේ ආණ්ඩුවට එක්තරා දුරකට නොරිදෙන සීමාවකට විපක්ෂයේ භූමිකාව ඉටු කිරීමේ කාර්යය ඔවුන්ට පැවරී තිබෙනවා.

මෙහි ඊළඟ කාරණය තමයි මීළඟ මහ මැතිවරණයෙන් අගමැති ධූරය රනිල් වික්‍රමසිංහ මහතා අතට ලබා ගැනීම. උප අගමැතිකම දැනට සිටින විපක්ෂ නායකවරයා වෙත හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙනත් කෙනකු වෙත ලබා දීම.

එමඟින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් මේ පාලනයේ නොනිල හවුල්කරුවන් කර ගැනීම. ඔවුන්ට වුවමනා වෙලා තිබෙනවා ජනතා විමුක්ති පෙරමුණට විපක්ෂ නායකකම ලැබෙන තත්ත්වයක් ඇති කිරීම. එසේම රාජපක්ෂවරුන් සහ අප වැනි ජාතිකවාදීව කල්පනා කරන සියලු දෙනා එළියෙන් තැබීම.

එම එකඟතාව මත ගෙන යන පාර්ලිමේන්තුවෙන් ෆෙඩරල් ව්‍යවස්ථාවක් රටේ ක්‍රියාත්මක වන තැනට ගෙන ඒම තමයි මේ අයගේ අරමුණ. ඒකට තමයි මේ යන්නේ. දිශානතිය ඕක. එය දිශානතියට යන ගමන් මිනිසුන් රැවටීමට බඩට පොඩි සහන ටිකක් දෙනවා. බලාපොරොත්තු වුණ තරම් නොවේ කියලා ජනතාව කිව්වත් බඩට පොඩි සහන ටිකක් දීලා හොරු අල්ලනවා අල්ලනවා කියලා කියනවා. ඔවුන්ට විරුද්ධ සියලු දෙනා හොරු ලෙස හංවඩු ගහලා බොරු නඩු පටලවලා හරි මේක ගෙනියන්න තමයි මොවුන් බලන්නේ. අපේ රටේ දිනාගත් මාතෘභූමිය නැවත වේගයෙන් ආපස්සට යන දිශාවකට තමයි ගමන් කරන්නේ.

ජනාධිපතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධාන වේදිකාවේ දී රටට කී ප්‍රධානතම කාරණය වූයේ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත් වුවහොත් රට බෙදුම්වාදයට යාමේ ඉඩකඩ පුළුල් විය හැකි බවයි. දැන් එතුමා ජනාධිපති ධූරයට පත් ව මසකට ආසන්න කාලයක් ගෙවී තිබෙනවා. ඔබ තවමත් එම මතයේ ම සිටිනවාද?

මේ ගෙවුණු මාස තුනට වුණ දේ බලන්න. උතුරට සමහර භාණ්ඩ ගෙනියන්නට තහනමක් තිබුණා. එසේ තහනම් කරලා තිබුණේ ආරක්ෂක දෘෂ්ඨි කෝණයෙන් බලලයි. ඒ තහනම ඉවත් වුණා. එතකොට දැන් ඕනෑම දෙයක් උතුරට ගෙනියන්න පුළුවන්.

ඊළඟට බලන්න ලෝකය පුරා සිටින කොටි ඩයස්පෝරාව බලන්නේ, කටයුතු කරන්නේ මේ තමන්ගේ ආණ්ඩුවක් බිහි වූ ආකාරයටයි. කලින් තහනම් කරලා තිබුණු ටැමිල් නෙට් එක ලංකාවේ ඕනෑම කෙනකුට බලන්න පුළුවන් ආකාරයට විවෘත වුණා.

උතුරේ ආණ්ඩුකාරවරයා ලෙස හිටපු මේජර් ජෙනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි මහතා ඉවත් කරන්න කියන එකයි දෙමළ ජාතික සන්ධානය කරපු ලොකුම ඉල්ලිම. ඒ ඉල්ලීම ඉටු කළා. ඒ තනතුරුවලට පත් කළේ බෙදුම්වාදයත් සමඟ සමපාතව හිතන පුද්ගලයන්. ඊළඟට දැන් අධ්‍යනයක් කරගෙන යනවා උතුරේ අධිආරක්ෂිත කලාප, හමුදා කඳවුරු ඉවත් කළ යුතු ආකාරය ගැන. ඉන්දියාවේ එන්. ඩී. ටී නාලිකාවට වික්‍රමසිංහ මහත්තයා පැහැදිලිව කිව්වා දෙමළ ජනතාව බහුතරයක් ජීවත් වන ප්‍රදේශවලට ස්වයං පාලනයක් දෙන්න තමන් ප්‍රතිපත්තිමය වශයෙන් එකඟයි කියලා.

දින සියයේ සහන කතාව දාලා ජනතාවගේ ඇස් නිලංකාර කරලා, මෙහෙන් ලැම්බෝගිනි හොය හොයා මාධ්‍ය සන්දර්ශන දාලා කාටත් නොපෙනී යන ක්‍රියාවලිය තමයි ඕක. එරික් සොල්හයිම් ඇයි අද කියන්නේ අපි ජයග්‍රහණය කළා කියලා. රාජපක්ෂව අපි එලෙව්වා කියලා. එතකොට රාජපක්ෂව එලවලා තිබෙන්නේ සොල්හයිම්. සොල්හයිම්ට ඕනෑ වූ වැඩේමනේ අනුර කුමාර දිසානයක, සම්බන්ධන්ට, චම්පික රණවකට ඕනෑ වෙලා තියෙන්නෙත්. අන්තිමට ඒ කොන්ත්‍රාත්තුවනේ මේ අය කරලා තියෙන්නේ.

දින සියයේ වැඩපිළිවෙළින් පසුව මහ මැතිවරණයකට යන බව ආණ්ඩු පක්ෂය දැනටමත් ප්‍රකාශ කර තිබෙනවා. ඉදිරි මහමැතිවරණයේ දී ජාතික නිදහස් පෙරමුණ අනුගමනය කරන වැඩපිළිවෙළ කුමක්ද?

ඊළඟ මහ මැතිවරණය ජයග්‍රහණය කරන්නට නම් මහින්ද රාජපක්ෂ කියන අපේක්ෂකයා අවශ්‍යයි. දින සියයට මඩ දාහක් ගැහුවත් ඒ අපේක්ෂකයා නැතුව ඊළඟ මහ මැතිවරණ අභියෝගය ජයග්‍රහණය කරන්න බැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන්ගෙන් අපි බලාපොරොත්තු වෙනවා තියෙන පුද්ගලික දේශපාලන කෝන්තර පැත්තක තියලා ඒ පරිණත දේශපාලන තීන්දුවට එයි කියලා. එහෙම එන්නේ නැත්නම් අපට සිදු වෙනවා වෙනත් දේශපාලන ක්‍රියාවලියකට එන්න.

එතැනට මහින්ද රාජපක්ෂ මහතා එකතු වෙනවද නැද්ද කියන එක අපට කියන්න අමාරුයි. අපි බලාපොරොත්තු වෙනවා එතුමාව එකතු කර ගන්න. අපි කියන පුළුල් දේ වෙනවා නම් අපට සන්ධානය යටතේ තරග කිරීමේ බාධාවක් නැහැ. එහෙම නොවී පරාජය සඳහා නම් ඒ අය යන්නේ අපට පරාජයේ කොටස්කරුවන් වීමේ අවශ්‍යතාවක් නැහැ. එහෙම වුණොත් විකල්ප පියවරකට යන්න වෙනවා.

පැවැති ආණ්ඩුවට තිබෙන ලොකුම චෝදනාව තමයි දූෂණ වංචා. එම ආණ්ඩුවේ කොටස්කරුවකු ලෙස මෙවැනි දූෂණ වංචා පැවැති බව ඔබතුමා පිළිගන්නවාද? මෙවැනි දූෂණ වංචා පැවැති බව ඔබ දැන සිටියාද?

දූෂණ වංචා, දූෂණ වංචා කියලා කියනවා. දැන් ආණ්ඩුවක් ලැබිලා තිබෙනවානේ. ඒ දූෂණ වංචා ඔප්පු කරලා පෙන්වන්න. රාජපක්ෂලාට අරහේ ඉඩම් තිබෙනවා, මෙහේ ඉඩම් තිබෙනවා කියන්නේ නැතුව ඔප්පු කරලා පෙන්වන්න. එකක්වත් තවම ඔප්පු කරලා තිබෙනවද? අනුර කුමාර දිසානායකලා කියපු කොච්චර කථා තිබෙනවාද? අර ආයතනය රාජපක්ෂලාගේ. මේ ආයතනය රාජපක්ෂලාගේ කියලා එදා කිව්වා. දැන් සති තුනක් ගියා එකක්වත් ඔප්පු කරලා තිබෙනවාද?

අතේ පත්තු වන බොරු කිහිපයකුත් කිව්වානේ. ඒවා පහුවදාම ඔප්පු වුණානේ. දිනලා හිටපු රාජපක්ෂට වඩා පැරැදුණු රාජපක්ෂට මේ අය බයයි. පැරැදුණු රාජපක්ෂගේ ප්‍රතිරූපයට බයයි දිනපු රාජපක්ෂගේ ප්‍රතිරූපයට වඩා. ඒ නිසා තමයි දිනපු රාජපක්ෂට නොගහපු ආකාරයේ ගැහිල්ලක් පැරැදුණු රාජපක්ෂට ගහන්නේ. එතුමා වටා සිටින කණ්ඩායම්වලට ගහන්නෙත් ඒ නිසයි.

මේ අවලාද ගහලා ඒ අය හිතනවා නම් රාජපක්ෂ ගැන මහජනතාවගේ හිතේ තිබෙන ප්‍රතිරූපය නැති වෙයි කියලා ඒක වැරැදියි. මේකෙන් වෙන්නේ ඒ ප්‍රතිරූපය වඩවඩාත් තහවුරු වීමයි. කවුරුත් පිළිගෙන තිබෙනවා අද මේ ගහන අවලාද සාහසික බොරු කියලා. අපි කියන්නේ අවලාද ගහයි, සමහර විට හිරෙත් දායි. හැබැයි මොනවා වුණත් අපි මේ රට බෙදෙන දිශාවට නම් පන්දම් අල්ලන්නේ නැහැ. එහෙම පන්දම් අල්ලනවාට වඩා හොඳයි රටට හතුරුකමක් කරනවා කියලා පිළි අරගෙන ඒක කරන එක.

ඔබ මොනවා කිවුවත් ජනාධිපතිවරණ වේදිකාවේ දී මෛත්‍රීපාල සිරිසේන මහතා පොරොන්දු වූ ආකාරයටම ජනතාවට සහන ලබා දෙන අතුරු අයවැයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා නේද ?

මේ අය කිව්වේ අත්‍යාවශ්‍ය භාණ්ඩ දහයක මිල අඩු කරනවා කියලානේ. මම දන්නේ නැහැ සහල් අත්‍යාවශ්‍ය භාණ්ඩයක් නොවුණේ කොහොමද කියලා. අපේ රටේ ජනතාවගේ ප්‍රධාන ආහාරය බත් මිසක් පාන් නොවෙයි. ඒ නිසා පාන් අඩු නොකර සහල් අඩු කරන එකයි කළ යුත්තේ. පාන් අඩු කරන එක වැරැදි නැහැ. ඒ සේරම අඩු වෙලා තිබෙන්නේ රුපියලකින්. ආණ්ඩුවක් පෙරළගෙන ලබා ගන්න බලාපොරොත්තු වූ සහන ද මේ ලැබිලා තිබෙන්නේ කියන ප්‍රශ්නය අද මහජනතාව තුළ තිබෙනවා.

මේ අයවැය පැහැදිලිව ඉලක්ක කර ගත් කොටස්වලට පහර දෙන අයවැයක්. ආයතනයක් වට්ටන්න ඕනෑ නම් ඒකට ගහනවා ඔරොත්තු නොදෙන බද්දක්. තව කවුරු හරි ව්‍යාපාරිකයකු වට්ටන්න ඕනෑ නම් ගහනවා බදු. එහෙම බදු ගහලා තමන් ඉලක්ක කරපු අය වට්ටලා ඔවුන්ගේ මුදල්වලින් ඔය කියන සහන දෙන්න හදපු අයවැයක්. මේකත් සමඟ විශාල සමාජ අසහනයක් අද මතු වෙලා තිබෙනවා.

අනෙක් පැත්තෙන් ආයෝජන වෙන්නේ නැහැ. කොටස් වෙළෙඳ පොළ අයවැයෙන් පස්සේ දිගටම වැටීගෙන වැටීගෙන යනවා. ආයෝජකයන්ගේ විශ්වාසය නැති වෙලා තිබෙනවා. ඒ තත්ත්වය ඉතා බරපතළයි. අප්‍රේල් මාසය පමණ වන විට මෙහි ඉතා දරුණු තත්ත්වයක් අපට දැක ගත හැකි වෙයි.

ඔබ කුමක් කීවත් රට තුළ යහපාලනය ස්ථාපිත කිරීම උදෙසා කටයුතු කරන බවට ජනාධිපතිවරණයට පෙර වූ පොරොන්දුව අකුරටම ඉටු කරමින් තිබෙන බව රජයේ ඇමැතිවරුන් ප්‍රකාශ කරනවා.

යහපාලනය කිය කිය ඇවිත් මේ කෙටි කාලය තුළ කරලා තිබෙන දේවල් බලන්න. මොන තරම් පළිගැනීම් කරලා තිබෙනවාද? වත්තල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට ගැහුවේ සභාව ඇතුළට ගිහින්. නීතිය හා සාමය පිළිබඳ ඇමැතිවරයා එතැන සිට ගිය ගමන් තමයි ගැහුවේ. ගොඩක් රාජ්‍ය ආයතනවල සේවකයන් විශාල ප්‍රමාණයක අද වැඩ තහනම් කරලා තිබෙනවා. රැකියාවලට එන්න දෙන්නේ නැහැ. දැවැන්ත සේවක මර්දනයක් වෙනවා. අනෙක් පැත්තෙන් පළාත් සභා, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් හොය හොයා පහර දෙනවා.

ආණ්ඩුවට නොවිකිනුණු මහජන නියෝජිතයන් කවුද කියලා හොයලා ඔවුන්ට විරුද්ධව බොරු පැමිණිලි හරි දාලා හිරේ දාන්න හදනවා. තිස්ස අත්තනායක මහතාගේ ලේඛනය වැරැදි ලේඛනයක් නම්, ඒ චෝදනාව මත ඔහුව අත්අඩංගුවට ගන්නවා නම් චම්පික රණවක මහත්තයාවත් ඒ චෝදනාව මතම අත්අඩංගුවට ගන්න එපැයි. කූඨ ලේඛනයක්නේ එයත් පෙන්නුවේ. එකක් කූඨ ලේඛන අනෙක කූඨ නොවන ලේඛන. නීතිය සමානව ක්‍රියාත්මක වෙලා නැහැනේ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා