අමෙරිකා ඩොලර් මිලියන 5000 සෙවීමට ඉන්දියාවේ සහාය

පසුගිය කාලේ එතෙර තැන්පත් කළ

අමෙරිකා ඩොලර් මිලියන 5000 සෙවීමට ඉන්දියාවේ සහාය

පසුගිය රජය සමයේ අයථා ලෙස මුදල් රැස්කොට විදේශයන්හි තැන්පත් කර ඇති බව පවසන ඇමෙරිකානු ඩොලර් මිලියන 5,000 ක් පමණ වන ධනය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ශ්‍රී ලංකාවට සහාය වීමට සූදානම් බව ඉන්දියාව ප්‍රකාශ කරයි. මේ සඳහා මූල්‍ය බුද්ධි ඒකකයක් පිහිටුවීම වෙනුවෙන් ද ශ්‍රී ලංකාවට අවශ්‍ය සහයෝගය ලබාදෙන බව ද පැවසේ.

මූල්‍ය දූෂණ වැළැක්වීම සහ පසුගිය දශකය තුළ මෙරටට අහිමි වූ වත්කම් පිළිබඳ සොයා බැලීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ පොරොන්දුවක් වී තිබෙන අතර ඒ අනුව ක්‍රියාත්මක වෙමින් මෙලෙස වංචා සහගත අයුරින් රැස්කර තිබෙන මුදල් සම්බන්ධයෙන් සොයා බැලීමට පියවර ගෙන ඇත.

මූල්‍ය බුද්ධි ඒකකයක් පිහිටුවීම සඳහා සහාය වන ලෙසට ශ්‍රී ලංකාව නිල නොවන ආකාරයෙන් ඉන්දියාවෙන් ඉල්ලීමක් කර තිබෙන අතර ඒ අනුව මේ වෙනුවෙන් සහාය ලබාදීමට ඉන්දියාව ඉදිරිපත් වී සිටී. එය නිශ්චිත ආකාරයෙන් නිල යෝජනාවක් ලෙස ඉදිරියේ දී ඉදිරිපත් කරනු ඇති බවද වාර්තා වෙයි. එම කාර්යය සඳහා සමීපතම අසල්වැසියකු ලෙස ශ්‍රී ලංකාවට සහාය වීමට සූදානම් බවද අදාළ ක්‍රියාවලීන් පිළිබඳ ජ්‍යෙෂ්ඨ ඉන්දීය නිලධාරියෙකු එරට මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා