හෙදියගේ ඒටීඑම් කාඩ්පතට විද ලක්ෂ 1 1/2ක් ගත් සැකකරු අල්ලයි

හෙදියගේ ඒටීඑම් කාඩ්පතට විද ලක්ෂ 1 1/2ක් ගත් සැකකරු අල්ලයි

CCTV කැමරාවෙන් තොරතුරු හෙළිවෙයි

දැනට මාස තුනකට පමණ ඉහත දී සපුගස්කන්ද ප්‍රදේශයේ හෙද නිලධාරිනියකගේ නිවෙසකින් ජංගම දුරකථනයක් සමඟ ට්‍රෙලර් යන්ත්‍ර කාඩ් පතක් (කෑස් ලයින් කාඩ් පතක්) සොරා ගෙන එයින් රුපියල් ලක්ෂ 1 1/2ක මුදලක් වංචනික ලෙස ලබා ගත් තරුණයකු සපුගස්කන්ද පොලිසිය මඟින් පසුගියදා රාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

මේ තරුණයා රාගම දුම්රිය පොළ අසල නිවෙසක නවාතැන් ගෙන සිටියදී මෙසේ අත්අඩංගුවට ගත් අතර මොහු යටියන්තොට ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි අවිවාහකයෙකි.

මේ සොරකම සිදුකළ අවස්ථාවේ මොහු මාකොළ ප්‍රදේශයේ නිවෙසක නවාතැන් ගෙන සිටි අතර එම සොරකමින් පසුව ඔහු රාගම දුම්රිය පොළ අසල නිවෙසකට පැමිණ නවාතැන් ගෙන ඇත.

ඉකුත් ඔක්තෝබර් 10 වැනිදා රාත්‍රියේ එම නිවෙසින් මොහු ජංගම දුරකථනය සමඟ එම ට්‍රෙලර් යන්ත්‍ර කාඩ් පත සොරාගෙන පසුදින (11 වැනිදා) අලුයම කිරිබත්ගොඩ හැටන් නැෂනල් බැංකු ශාඛාවේ ට්‍රෙලර් යන්ත්‍රයෙන් එම කාඩ්පත භාවිතා කර මේ මුදල ලබා ගෙන තිබේ.

මේ සිද්ධිය පිළිබඳව සපුගස්කන්ද පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව එම ට්‍රෙලර් ‍යන්ත්‍රය සවි කර තිබූ කුටියේ සීසීටීවී කැමරාවෙන් රූපරාමු ලබාගෙන මේ තරුණයා මෙසේ අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවිය.

ඒ සමඟම මොහු විසින් එම නිවෙසින් සොරා ගත් ‍ජංගම දුරකථනය ද ඔහු ළඟ තිබි හමු වී ඇත.

කාන්තාවන් ඇසුරු කරන මේ තරුණයා විනෝදකාමි ජීවිතයක් ගත කර තිබෙන අතර ඒ සඳහා ඔහු එම මුදල් වැය කර ඇතැයි කියති.

මොහු මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සපුගස්කන්ද පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඒ. ඒ. එම්. පී. අධිකාරි සැරයන් කුලතුංග අබේරත්න , තිලකරත්න, එදිරිමාන්න අදිකාරි සිල්වා හා කාන්තා පො.කො. ජයකොඩි යන නිලධාරිහු මේ වැටලීමට සහභාගි වූහ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා