ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය වැසීමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා

ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය වැසීමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා

20000කට ආසන්න පිරිසකගේ රැකියා අනාරක්ෂිත යැයි පියසිරි විජේනායක කියයි

ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය වසා දැමීමට වත්මන් ආණ්ඩුව තීරණය කර ඇතැයි දේශප්‍රේමී වැඩ කරන ජනතා මධ්‍යස්ථානයේ සභාපති පියසිරි විජේනායක මහතා දිනමිණට පැවසීය.

ඒ මහතා මෙසේද ප්‍රකාශ කෙළේය.

ඉන් අමාත්‍යාංශය යටතේ සේවය කළ 20000කට ආසන්න පිරිසකගේ රැකියා අනාරක්ෂිත තත්ත්වයකට පත්වී ඇති බව හෙතෙම කිවේය.

2013 වර්ෂය වනවිට රැකියා වියුක්තික උපාධිධාරීන් ලෙස සිටි 52000කට අධික පිරිසක් රාජ්‍ය අංශයේ රැකියාවන් හි නියුක්ත කිරීමට එවකට පැවති මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව ක්‍රියාකළ අතර එම උපාධිධාරීන්ගෙන් 16000කට වැඩි සංඛ්‍යාවක් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ආර්ථික සංවර්ධ නිලධාරීන් වශයෙන් ග්‍රාම නිලධාරී කොට්ඨාස දක්වා සේවයේ යොදනු ලැබුණු බවත් ඔවුන්ගේ සේවාවන් පිළිබදව යම් විවාදාත්මක තත්ත්වයක් තිබුණද වගකිවයුතු ආණ්ඩුවක් ලෙස එම ආණ්ඩුව සිය වගකීම ඉටුකර තිබුණු බවත් ඒ මහතා ප්‍රකාශ කෙළේය.

එහෙත් වත්මන් ආණ්ඩුව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය වසා දැමීමත් සමඟ අදාළ සංවර්ධන නිලධාරීන්ට හා කාර්යාලවල සේවය කළ සියලූ දෙනාට වෙනත් ආයතනවල රැකියා සොයා ගන්නා ලෙස බලධාරීන් දන්වා ඇතැයි දැනගන්නට ලැබී ඇති බව පැවැසු විජේනායක මහතා එලෙස ප්‍රකාශ කිරීම වත්මන් ආණ්ඩුවේ බලවත් වරදක් බව කියා සිටියේය.

ආණ්ඩුවේ වගකීම වන්නේ අදාළ සේවකයින් සුදුසු ආකාරයට ආයතනවලට ස්ථානගත කිරීම බවත් පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව උපාධිධාරීන් සියල්ලට එකවර රැකියා ලබාදීමේදී ඔවුන්ගේ දේශපාලන තත්ත්වයන් සෙයා බැලූවේ නැති බවත් එහෙත් වත්මන් ආණ්ඩුව මෙම සේවක පිරිසට දේශපාලන ලේබල් ඇලවීමටත්, ඒ අනුව ඔවුන් පීඩාවට ලක් කිරීමටත් උත්සාහ කරනු ලබන ආකාරයක් දැක ගන්නට ඇති බවත් පියසිරි විජේනායක මහතා පැවැසීය.

රැකියාලාභි උපාධිධාරී සංගමය නැමැති ජනතා විමුක්ති පෙරමුණට අයත් සංවිධානයක්ද මෙම උපාධිධාරීන්ගේ තත්ත්වය සම්බන්ධයෙන් කිඹුල් කදුළු හෙළමින් සිටිනවා. මෙම අනාරක්ෂිත තත්ත්වය නිර්මාණය කිරීම සදහා හෙවත් ‘යහපාලනයක්’ ගෙන ඒම සදහා ජනතා විමුක්ති පෙරමුණ ඉතා ඉහළ වැඩ කොටසක් කළ බව වත්මන් ජනාධිපතිතුමන් දිව්රුම්දීමෙන් පසුව කරනු ලැබූ කතාවේදී විශේෂයෙන් ස්තූති කරමින් මතක් කළා. ‘දිය බොරකර එම බොරදියේ මාළු බෑමට’ ජනතා විමුක්ති පෙරමුණ අද කටයුතු කරමින් සිටිනවා.

රැකියා අනාරක්ෂිත උපාධිධාරීන් වෙත ව්‍යාජ අනුකම්පාවක් දක්වමින් සිටිනවා. ඔවුන්ට අසුනොවන ලෙස අපි රැකියාලාභී උපාධිධාරී ඔබගෙන් ඉල්ලා සිටිනවා. ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ රැකියා සුරක්ෂිත බව ඇති කිරීමට වත්මන් ආණ්ඩුව වහාම ක්‍රියාකළ යුතු යැයි අපි අවධාරණය කරනවා.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා