තායිවාන ගුවන් යානය ගංගාවට කඩා වැටී 11ක් මරුට

තායිවාන ගුවන් යානය ගංගාවට කඩා වැටී 11ක් මරුට

19ක් අතුරුදන්

අඟහරුවාදා මගීන් 58 දෙනෙකු සමඟ තායිපේ ගුවන්තොටුපළින් ගුවන්ගත වූ තායිවාන ට්‍රාන්ස් ඒෂියා එයාර්වේස් ගුවන් යානය ගුවන්ගත වී නොබෝ වේලාවකින් ගංගාවකට කඩා වැටීමෙන් 11 දෙනෙකු මිය ගොස් 19 දෙනෙකු පමණ අතුරුදන් වී ඇතැයි බලධාරීන් ප්‍රකාශ කරති.

ජීවිතාරක්ෂක භටයකු අනතුරට පත් යානයේ මගියකු එයින්
පිටතට ගන්නා අයුරු.

කෙසේවෙතත් 28 දෙනෙකු පමණ ප්‍රාතිහාර්යයකින් මෙන් දිවි ගලවාගැනීමට සමත් වී ඇත. ගොඩනැගිලි අතරින් ඇලවෙමින් පැමිණි ගුවන් යානය උඩුයටිකුරු ලෙස නොගැඹුරු ගංගාවට පතිත විය.

මේ අවස්ථාව මෝටර් රථයක ගමන් කළ පුද්ගලයකු ඡායාරූප ගත කිරීමට සමත් වී තිබුණ අතර ට්විටර් ජාලයට එක් කර තිබූ එම ඡායාරූපවලින් එය කරකැවෙමින් මහා මාර්ගයට ඉහළින් ගඟ දෙසට ඇදී යන අයුරු සටහන්ව තිබිණි. අභ්‍යන්තර ගුවන්ගමන් සඳහා යොදා ගැණුන ටර්බෝප්‍රොප් ATR 72-600 යානය කින්මෙන් දූපත බලා පිටත්ව යාමට නියමිතව තිබිණි. මෙය ගුවන්ගත කරන අවස්ථාවේ කාලගුණික තත්ත්වය යහපත්ව තිබූ බව ද වාර්තා වේ.

රූපවාහිනී දර්ශනවලින් පෙනී ගියේ දිවි ගලවාගත් පිරිස ජීවිතාරක්ෂක කබා පැළඳ අනතුර සිදු වූ ස්ථානයේ පිහිනමින් සිටින අයුරු ය. කුඩා දරුවකු ඇතුළු අනෙක් පිරිස ජිවිතාරක්ෂක කණ්ඩායම මඟින් ඉවුර වෙත රැගෙන එන ලදී.

හදිසි ගලවාගැනීමේ නිලධාරීන් බෝට්ටුවලින් බඳේ කොටසක් ගිලී තිබුණ E235 යානය වටා යමින් පිරිසගේ දිවි බේරා ගැනීමට උත්සාහ කළහ.

තායිවානයේ ගිනි නි‍වීමේ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මගීන් 10 දෙනෙකු ‘කිසිදු සලකුණක් නැති’ අය ලෙස වර්ගීකරණය කර ඇති අතර එක් අයෙකු මියගොස් ඇති බවයි.

තායිවාන රජයේ බලධාරීන් තවදුරටත් ප්‍රකාශ කර සිටියේ මෙම ගුවන්යානයේ මගින් 58 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය ගමන් ගත් බවයි. මේ අතරින් 31 දෙනෙක් චීනයේ සිට පැමිණි සංචාරකයන් විය.

යානයේ එංජි‍මේ යම් දෝෂයක් ඇති වී තිබෙන බව ගුවන්යානයේ නියමුවන් වෙතින් ලැබී තිබුණ අවසන් පණිවුඩයේ සඳහන් වී ඇත. බොහෝ විට ඔවුන් පැවසූ ආකාරයේ දෝෂයක් හට ගන්නේ එංජිමේ ඉන්ධන සැපයුම ට බාධා වූ විට හෝ එහි වැරදි සහගත දහනයක් සිදු වූ අවස්ථාවකි දීය . එහි ප්‍රථිපලය වන්නේ එංජිම ක්‍රියාවිරහිත වීමයි. කෙසේ වෙතත් ද්විත්ව එංජිමක් සහිත මෙවැනි ගුවන් යානයකට සාමාන්‍යයෙන් එක් එංජිමක් ක්‍රියාවිරහිත වුවත් අනෙක් එංජිමෙන් ධාවනය කිරීමේ හැකියාව ඇත.

පසුගිය මාස ‍12ක කාලය තුළ නිරන්තරයෙන් ආසියානු කලාපයෙන් වාර්තා වූ ගුවන් අනතුරු අතරට එක්වූ අලුත්ම සිදුවීම මෙයයි. පසුගිය දෙසැම්බර් 28 වැනි දින ඉන්දුනීසියාවේ සුරබයා නගරයන් ගුවන්ගත වූ එයාර් ඒෂියා ජෙට් යානය එහි ගමන් ගත් මගීන් 162 දෙනාම සමඟ විනාශ විය.

එසේම පසුගිය වසරේ මැලේසියානු ගුවන්සේවයට අයත් ‍ජෙට් යානයක් අතුරුදන් වූ අතර එවැනිම තවත් ගුවන් යානයක් යුක්‍රේන ගුවන් සීමාවේ දී කඩා වැටිණි. මේ අනතුරු දෙකෙන් මගින් 539ක් මිය ගියේය.

ට්‍රාන්ස් ඒෂියා යනු තායිවානයේ තුන්වැනි විශාලතම ගුවන්යානා වර්ගය වේ. ඒ ගුවන් යානාවලින් එකක් පසුගිය ජූලි මාසයේ පෙන්ගු දූපතට ගොඩ බැසීමට උත්සාහ දැරීමේදී අනතුරට පත් වූ අතර එහි සිටි මගීන් 58 දෙනාගෙන් 48‍ දෙනෙකුම මරණයට පත් විය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා