ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස තහවුරු කිරීමට කැපවෙනවා

ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස තහවුරු කිරීමට කැපවෙනවා

67 වන ජාතික නිදහස් දින සමරු උළෙලේ දී ජනපති කියයි

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස තහවුරු කිරීමට කැපවෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

‍රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමටත්, අපක්ෂපාතී කිරීමටත් කටයුතු කරන බව පැවසූ ජනාධිපතිවරයා ව්‍යවස්ථා සංශෝධනය මඟින් පාර්ලිමේන්තුවේ ශක්තිය වැඩි කරන බවත්, විධායක ජනාධිපති ධුරයේ ඇති අසීමිත බලතල ඉවත් කරන බවත් අවධාරණය කළේය.

ජනාධිපතිවරයා එසේ සඳන් කළේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණය අභියස ‍ඊයේ (04) පැවැති 67 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙලේදීය.

ෂඩ් වර්ණ ධජ පතාකවලින් විචිත්‍රවත් වී තිබූ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය අභියස උත්සව ශ්‍රී ගත්තේය.

චාම් හා අභිමානවත් අයුරින් ඇරඹි 67 වන ජාතික නිදහස් දින උළෙල මඟුල් බෙර වාදනය සක් පිඹීමත් සමඟ ඇරඹිණි. සිංහල, දෙමළ, මුස්ලිම් දරු දැරියන් ඔවුන්ගේ ජාතික ඇඳුමින් සැරසී ජාතික ගීය ගායනා කළේ ජාතීන් අතර සහජීවනය, සංහිඳියාවට නව අරුතක් එක්කරමිනි. ජනාධිපතිවරයා වෙත පිරිනැමෙන ආචාර වෙඩි මුර විසි එකෙන් මුළු ප්‍රදේශයම ගිගුම් දුනි.

ජනාධිපති උත්තමාචාරයෙන් අනතුරුව ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේ ද කීය.

අද අපි ඉමහත් අභිමානයෙන් 67 වන ජාතික නිදහස් සැමරුම අද සමරනවා.

විශේෂයෙන්ම ඓතිහාසික පදනමක්, ඓතිහාසික වැදගත්කමක් ඇති ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ඓතිහාසික පුරවරයේ සිට මේ රටේ ජනතාවගේ ජනතා පරමාධිපත්‍ය තහවුරු කරන පාර්ලිමේන්තුව අභියසදී ඔබ අමතන්නට ලැබීම පිළිබඳව මා ‍ඉතාමත් සතුටු වෙනවා.

වසර 67 කට පෙර අප ලැබූ නිදහස සමරන අවස්ථාවේ ඒ නිදහස ලබාගැනීම සඳහා අපේ ඉතිහාසයේ සටන් කළ වීරයින් සිහිපත් කිරීම අපේ වගකීමක් සහ යුතුකමක් වෙනවා.

1815 දී අපේ උතුම් මාතෘ භූමිය යටත් විජිතයක් බවට පත්වුණා. 1818 අපේ ඉතිහාසයේ අපි සිහිපත් කරන්නේ මහා ජාතික ඛේදවාචකයක් සිදු වූ වසරක් විදිහටයි. 1818 සහ 1848 යටත් විජිතවාදීන්ට විරුද්ධව සිදුවූ කැරලිවලදී අපි දන්නවා අපේ උතුම් මාතෘ භූමියේ ලේ ගංඟාවන් ගලා ගොස් අපේ වීරෝදාර දේශප්‍රේමීන්ගේ, ජාතිමාමකයින්ගේ ලෙයින් අපේ උතුම් මහ පොළව තෙත් වුණා.

1818 සහ 1848 ඒ කැරලිවලින් ඇතිවූ තත්ත්වයන් සමඟ අපට එය ජයග්‍රහණය කිරීමට නොහැකි වූවා සේම එතැන් සිට 1948 දක්වා අපට නිදහසක් ලැබී තිබුණේ නැහැ. විශේෂයෙන්ම 1848 සිට 1948 දක්වා කාලය තුළ එවකට සිටි අපේ ජාතික වීරයින් එම යුගයේ ජාතික සටන අරගෙන ගිය අපේ උතුම් විරුවන් තම වගකීම් සහ යුතුකම් ඉටුකරමින් අපේ මුළුමහත් මාතෘ භූමියට නිදහස ලබාගැනීම සඳහා නොනවතින අරගලයක් ගෙන ගියා.

එම ගෙන ගිය අරගලය එක් පැත්තකින් බොහෝ අවස්ථාවල නිදහස් සාමකාමී ස්වරූපයක් ගත්තා. විටකදී එය අවිහිංසාවාදී ස්වරූපයක් ගත්තා. විරෝධතා, උද්ඝෝෂණ වැඩ වර්ජන තුළ එවකට පැවති යටත් විජිත පාලනයට විරුද්ධව අපේ ජනතාව පෙළගැසී තිබුණා. එම යුගය තුළ වරින් වර එම ජාතික නිදහස් අරගලයේ අපේ වීරයින් ගෙන ගිය සටනේ ප්‍රතිඵලයක් ලෙස ඩොනමෝර් කොමිසන් සභා, සෝල්බරි කොමිසන් සභා අපේ රටේ ක්‍රියාත්මක වීමට පටන් ගත්තා.

ඒ වගේම අපිට මතකයි නිදහස ලබාගැනීම සඳහා ගෙන ගිය සටන්වලදී ඩී. එස්. සේනානායක, එෆ්. ආර්. සේනානායක, සර්. ඩී. බී. ජයතිලක, පොන්නම්බලම් රාමනාදන්, ටී. බී. ජයා, එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක, ආචාර්ය එන්. එම්. පෙරේරා, පිලිප් ගුණවර්ධන, ලෙස්ලි ගුණවර්ධන වැනි වීරයින් ඒ වගේම විශේෂයෙන්ම අනගාරික ධර්මපාලතුමා සිහිපත් කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා.

ඒ වගේම තමයි එම යුගයේ සිටි සාහිත්‍යධරයින් මුනිදාස කුමාරතුංග, පියදාස සිරිසේන වැනි සාහිත්‍යධරයන් විශේෂයෙන්ම ඒ යුගයේදී සිය පෑන් තුඩින් සිය ජාතික වගකීම උසස් ලෙස ඉටුකරනු ලැබුවා.

ඉතිහාසයේ පාඩම් සමඟ විශේෂයෙන්ම ගෙවී ගිය 67 වසරක කාලසීමාව සිහිපත් කරන විට 1948 නිදහස ලැබිලා 1956 බිහිවූ එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමාගේ පොදුජන රජය කටුනායක වගේම ත්‍රිකුණාමලය යුද කඳවුරු ඉවත් කිරීම සඳහා ක්‍රියාකරනු ලැබුවා. 1972 මැයි මාසයේදී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ රජය මේ රටේ ජනරජ ව්‍යවස්ථාවක් ඇතිකරමින් මේ රට තවත් නිදහස් හා ප්‍රජාතන්ත්‍රවාදී රටක් බවට පත්කරනු ලැබුවා.

එදා මෙදා කාලය තුළ ගත් විට විශේෂයෙන්ම 1970 දශකයේ අග භාගයේ සිට ඇතිවූ වසර 30 ක එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදී ම්ලේච්ඡ යුද්ධය තුළින් අපේ මුළුමහත් ජාතිය, අපේ සංවර්ධනය ඛේදනීය තත්ත්වයකට පත් වුණා. ඒ තුළ ඇතිවූ අසීමිත වූ අලාභ පාඩු කොතකදැයි කියා තක්සේරු කිරීමට පුළුවන්කමක් නැහැ.

ජාතියක ඉදිරි ගමන අඩපණ කරන්නට, මාතෘ භූමියේ ඉදිරි ගමන අඩපණ කරන්නට ලෝකය හමුවේ ප්‍රබුද්ධ රාජ්‍යයක් ලෙස නැඟී සිටීමට එම ම්ලේච්ඡ යුද්ධයෙන් බරපතළ අවහිරතාවක් ඇතිවුණා. ඒ වගේම 2009 වන විට තිස් වසරක යුද්ධය අවසන් කරන්න පුළුවන්කම ලැබුණා. මහින්ද රාජපක්ෂ මහත්තයා බලයට පත්වීමත්, ජනරාල් සරත් ෆොන්සේකා මහතා වැනි රණවිරුවන් සමඟ අපේ වීරෝදාර රණවිරුවන් දහස් ගණනින් ජීවිත පරිත්‍යාග කළා. ආබාධිත වෙලා, බරපතළ ඛේදවාචකයන්ට ලක්වෙලා. අපට පුළුවන්කම ලැබුණා 2009 මැයි මාසය වන විට එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදීන්ගෙන් අපේ රට නිදහස් කරගෙන සාමකාමී රටක් බවට පත්කරන්න.

විශේෂයෙන්ම එම යුද්ධයේදී අපේ උතුම් මාතෘ භූමිය වෙනුවෙන් අපේ රට සහ ජනතාව වෙනුවෙන් දිවි පිදූ වීරෝදාර රණවිරුවන් ගෞරවයෙන් සිහිපත් කිරීම වගේම ඔවුන්ට ගෞරව කිරීම 67 වන ජාතික නිදහස් සැමරුමේදී අපේ වගකීමක් සහ යුතුකමක් වෙනවා.

2009 වන විට එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදය අවසන් කරලා රට සාමකාමී කරලා රටේ භෞතික සම්පත් සංවර්ධනය ඉදිරියට ගෙන යාමට හැකියාවක් ලැබුණත් උතුරේ සහ ද‍කුණේ ජනතාවගේ හිත් එකතු කිරීමට අපට පුළුවන්කමක් ලැබුණේ නැහැ. යුද්ධය අවසන් වීම එක් අතකින් ත්‍රස්තවාදීන්ගේ වෙඩි හඬ අපේ රණවිරුවන්ගේ වෙඩි හඬින් නිහඬ කළා. භෞතික වශයෙන් යුද්ධය අවසන් වුණා. එහෙත් අද අපට තිබෙන විශාලතම අභියෝගය තමයි උතුරේ සහ දකුණේ ජනතාවගේ සිත් එක්කිරීම ජාතික සංහිඳියා පිළිවෙතක් තුළ සහජීවනයෙන් සහ සංහිඳියාවකින් ඇති කරගත් ජාතික සම්මුතියක් තුළ අපේ උදාර මාතෘ භූමිය මානවවාදී දේශයක් ලෙස ඉදිරියට ගෙන යාම.

එලෙස ඉදිරියට ගෙන යාමේදී අප සතු වගකීම් රාශියක් තිබෙනවා. වසර 67 ක නිදහස් සමරුව පවත්වන අවස්ථාවේ ඇත්තෙන්ම අපිට අවංකව සතුටුවෙන්න පුළුවන්කමක් තිබෙනවද, වසර 67 ක අතීතය පිළිබඳව ආපසු හැරී බලලා එකිනෙකාට ඇඟිල්ල දිගු කිරීම අපේ යුතුකමක් නොවෙයි. වසර 67 ක් තුළ රට පාලනය කළ සෑම දේශපාලන පක්ෂයක් ම, සෑම දේශපාලන නායකයෙක්ම අද දක්වාම තම තමන් දෙසට ඇඟිල්ල දිගු කරගෙන තමන්ගේ වගකීම් සහ යුතුකම් පිළිබඳව මෙනෙහි කරලා, අධ්‍යයනය කරලා තම වගකීම සම්බන්ධයෙන් අනාගතය දෙස බැලීම ඉතා වැදගත් කියලා මම විශ්වාස කරනවා.

අපට වැරදුණු තැන් මොනවාද, අප ඒවා නිවැරැදි කරගන්නේ කෙසේද කියන කාරණය වර්තමානයේ අප තුළ පවතින විශාල වගකීමක් සහ යුතුකමක් ලෙස මම දකිනවා. අපට 67 වසරක නිදහසේ ගමන් මඟක් වගේම 2009 න් පසු රට සාමකාමී කිරීමෙන් පසුව සතුටුවිය හැකිද කියන කාරණය තුළදී මේ රටේ ජනතාව තුළ තිබෙන ආදායම් පරතරය, දුගී බව අප මුහුණ දිය යුතු එක් පැත්තකින් බරපතළ ප්‍රශ්නයක්. තවත් පැත්තකින් බරපතළ අභියෝගයක්. ඒ වගේම අප විසින් අනිවාර්යයෙන්ම විසඳිය යුතු ප්‍රශ්නයක් කියලා මා විශ්වාස කරනවා.

පසුගිය ජනවාරි 08 වැනිදා අලුත් ආණ්ඩුවක් බලයට පත් කරමින් මේ රටේ ජනතාව ලබා දුන් වරමත් සමඟ ප්‍රධාන වශයෙන්ම අපි ජනතාවට පොරොන්දුවක් දුන්නා මේ රටේ නව පරිවර්තනයක් දේශපාලන, ආර්ථික, සමාජයීය, සංස්කෘතික වශයෙන් ඇතිකරන බවට. ඒ සඳහා අපි බැඳී සිටිනවා ගෙවී ගිය සති තුනකට ආසන්න කාලය තුළදී අපි ඒ පිළිබඳ මූලික කටයුතු රාශියක ප්‍රවේශයක් ඇතිකර තිබෙනවා. ආරම්භයක් ඇතිකර තිබෙනවා.

අපේ රටේ දරිද්‍රතාව පිළිබඳ දර්ශක සියයට 6.7 ක් පමණ වෙනවා. අප මේ සඳහා විශේෂ අවධානය යොමු කරලා එය හැකි තරම් අවම කර ගැනීමට කැපවිය යුතුයි. අපේ නව රජය මගේ ආදරණීය ජනතාව බලයට පත් කරපු, බලාපොරොත්තු තැබූ නව රජය ප්‍රධාන වශයෙන්ම ජනතාවගේ දුගී භාවය තුරන් කිරීම සඳහා සියයට 6.7 ක තිබෙන්නා වූ දරිද්‍රතාව පැහැදිලි ලෙසම අවම කිරීමට කටයුතු කරනවා. ජනතාවගේ ආදායම් පරතරය අවම කරමින් දුගී භාවය තුරන් කරමින් මේ රටේ දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමට අපි නව රජයක් ලෙස කටයුතු කරනවා.

දේශීය ආර්ථිකය පිළිබඳව කතා කරන විට මේ රට කෘෂිකාර්මික රටක් වශයෙන් දේශීය කෘෂි කර්මාන්තය නව ලෝකයේ නව තාක්ෂණය සහ පර්යේෂණවලින් ලබාගෙන ඇති අධ්‍යයනයන් මත ලබාගෙන ඇති උපදේශයන් ගත හැකි ක්‍රියාමාර්ග, මඟපෙන්වීම් ඒ සියල්ල තුළ දේශීය කෘෂිකර්මාන්තයට අපි නැවුම් බවක් දිය යුතු වෙනවා. දේශීය ආර්ථිකය ශක්තිමත් කළ යුතු වෙනවා. ඒ තුළ අනෙකුත් අංශ වැඩිදියුණු කරමින් නව තාක්ෂණයත් සමඟ කාර්මීකකරණය, කාර්මික ලෝකය සමඟ අත්වැල් බැඳගෙන අපි ප්‍රබුද්ධ රටක් ලෙස ගොඩනඟමින් ඉදිරියට යාම ඉතාමත්ම අත්‍යාවශ්‍ය වූ දෙයක් කියලා මම විශ්වාස කරනවා. ඒ සඳහා අපේ නව රජය කැපවී සිටිනවා.

රාජ්‍ය සේවය ශක්තිමත් කරමින්, අපක්ෂපාතී කරමින් අපි බලාපොරොත්තු වන ව්‍යවස්ථා සංශෝධනය තුළ පාර්ලිමේන්තුවේ ශක්තිය වැඩි කරමින් විධායක ජනාධිපති ධුරයේ තිබෙන අසීමිත බලතල ඉවත් කරමින් විශේෂයෙන්ම මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස තහවුරු කිරීම සඳහා අප කැපවී සිටිනවා. ජනතාවට දුන් පොරොන්දු අනුව එම කාර්යය අප විසින් අනිවාර්යයෙන්ම ඉෂ්ට කරනු ලබනවා.

ඒ වගේම අපි කල්පනා කළ යුතුයි පසුගිය කාලපරිච්ඡේද ගත් විට ජාතික වශයෙන් තිබෙන ප්‍රශ්න විසඳීම සහ නිවැරැදි කිරීම වගේම අන්තර්ජාතික වශයෙන් අපේ විදේශ ප්‍රතිපත්තිය ශක්ති කරමින් මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් තුළ සියලු ජාතීන් සමඟ සුහදතාව, මිත්‍රශීලිභාවය ගොඩනඟමින් නව ලෝකයේ නව තාක්ෂණයෙන් දෙන ඉගැන්වීම් පර්යේෂණවලින් කරන මඟපෙන්වීම් උපයෝගී කරගෙන අපේ උතුම් මාතෘ භූමිය පුළුල් සංවර්ධනයක් කරා ගෙන යාමට අපි කැපවෙනවා. නව පරපුර නව තාක්ෂණයට බද්ධ කිරීම වගේම නව ලෝකය සමඟ නව පරපුර එක්කිරීම ඉතාමත්ම අවශ්‍යයි. ඒ නිසා නව පරපුරේ සිතුම් පැතුම් පැහැදිලිව තේරුම් ගත් ආණ්ඩුවක් ලෙස නව ආණ්ඩුව ඔවුන්ගේ අපේක්ෂා ඉෂ්ට කිරීම සඳහා අප සෑම විටම ක්‍රියාකරන බව විශේෂයෙන් සඳහන් කරන්නට ඕනෑ. ඒ නිසා මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියකින් ජාත්‍යන්තර වශයෙන් සියලුදෙනාගේ සහයෝගය ලබාගෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තීන්ට අනුකූලව ඒවා පිළිපදිමින් ජාත්‍යන්තර සහයෝගය ලබාගෙන අපේ උතුම් රට ලෝකයේ ප්‍රබුද්ධ රාජ්‍යයක් ලෙස ගොඩනැඟීමේ කාර්යය අපි පැහැදිලිවම ඉටු කරනවා.

ඒ නිසා 67 වන ජාතික නිදහස් සමරු දිනයේදී හැට හත්වසක් ගෙවී ගිය කාලය පිළිබඳව ආපසු හැරී බලනවා වගේම අනාගතය දෙස බලමින් නව රජයක් විදිහට අපේ ආදරණීය ජනතාව සමඟ අපේ උතුම් මාතෘ භූමිය ගොඩනැඟීම සඳහා අප කැපවෙන බව ප්‍රකාශ කරනවා.

අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, කතානායක චමල් රාජපක්ෂ, අගවිනිසුරු කේ. ශ්‍රීපවන්, ස්වදේශ කටයුතු සහ ධීවර ඇමැති ජෝශප් මයිකල් පෙරේරා ඇතුළු අමාත්‍ය මණ්ඩලය, බස්නාහිර පළාත් ආණ්ඩුකාර කේ. සී, ලෝගේෂ්වරන්, මහ ඇමැති ප්‍රසන්න රණතුංග, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්, ද්‍රවිඩ එක්සත් පෙරමුණේ නායක ආනන්ද සංගරී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ජගත් ජයසූරිය, යුද හමුදාපති ලුතිනන් ජනරාල් දයා රත්නායක, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක, ජනාධිපති ලේකම් පී. බී. අබේකෝන්, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, ආරක්ෂක ලේකම් එම්. යූ‍. ඩී‍. බස්නායක මහත්ම මහත්මීන් ද, විදේශ තානාපතිවරුන්, මහ කොමසාරිස්වරුන් ඇතුළු සම්භාවනීය පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

 

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා