ලෝක සංවිධානවල-බොහෝ රටවල සහයෝගය රජයට ලැබෙනවා

ලෝක සංවිධානවල-බොහෝ රටවල සහයෝගය රජයට ලැබෙනවා

ඇමැති රවී කරුණානායක

මුදල් ඇමැති රවී කරුණානායක මහතා සහ ආසියානු හා මධ්‍යම කලාපීය භාර අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් මහත්මිය අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් ‍ඉකුත් දා මුදල් අමාත්‍යංශයේ දී සිදු කැරුණු අවස්ථාවයි මේ.

ජනතාවාදී පාලනයක් හේතුවෙන් වත්මන් රජයට ජාත්‍යන්තර සංවිධානවල මෙන්ම ලෝකයේ බොහෝ රටවල්වල සහය ලැබෙන බව මුදල් ඇමැති රවී කරුණානායක මහතා පැවසීය.

මුදල් අමාත්‍යවරයා අවධාරණය කරන්නේ එම සහාය තුළින් රට නව දිශාවකට රැගෙන යන බවයි.

විශේෂයෙන් ම රටේ බහුතර ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම එහි අරමුණ බව ද මුදල් ඇමැති රවී කරුණානායක මහතා පැවැසීය.

රවී කරුණානායක මහතා එසේ පැවසුවේ ආසියානු හා මධ්‍යම කලාපීය ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් මහත්මිය සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව පැවති හමුවකදීය.

මේ හමුව මුදල් අමාත්‍යාංශයේ දී සිදුවිය. මෙහිදී වැඩිදුරටත් කථා කළ මුදල් ඇමැති රවී කරුණානායක මහතා.

ආසියානු හා මධ්‍යම කලාපීය අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය අතර පැවති සාකච්ඡාව අප රටට ඉතා පලදායි වෙතැයි මා විශ්වාස කරනවා. ඇය මා සමඟ පැවසුවේ තම රජයේ ගමන් මාර්ගය පිළිබඳ සුභවාදී බලාපොරොත්තු තබා ඇති බවයි.

ජාත්‍යන්තර වශයෙන් වත්මන් රජයට ලැබී ඇති පිළිගැනීම හා විශ්වාසය රටේ අභිවෘද්ධියට හේතුවෙතැයි මා විශ්වාස කරනවා.

විශේෂයෙන් ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය තුළින් ක්‍රියාත්මක කෙරෙන අනාගත වැඩසටහන් පිළිබඳ මෙවර ඉදිරිපත් කළ අයවැයෙන් ජනතාවට අවබෝධයක් ලබාගත හැකි වෙනවා. අප නිරතරුව ම කල්පනා කෙළේත්, කල්පනා කරන්නේත් අනේක විධ පීඩාවන්ට මුහුණ දී සිටන ජනතාව පිළිබඳවයි.

අපි ජනතාවට සහන ලබා දෙන්නේ රටවල්වලට ණය වී නොවෙයි. අපට රටවල්වලින් ණය අවශ්‍ය නැහැ. අපට අවශ්‍ය වන්නේ අපේ නිෂ්පාදනවලට එම රටවල හොඳ අවස්ථා ඇති කිරීමට අවශ්‍ය පසුබිමයි.

එපමණක් නොවෙයි. විවිධ නාස්තිකාර වියදම් අප නැති කරනවා. අක්‍රමිකතා සම්පූර්ණයෙන් ම නැති කරනවා. 2015 අය-වැයෙන් ජනාධිපතිවරයා වෙත වෙන් කර තිබූ රුපියල් කෝටි දස දහසක මුදල රුපියල් කෝටි දෙසිය පනහ දක්වා අඩුකළා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් මතයි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා