අනේ මෙහෙමත් කඩඉම් ලකුණක්

අනේ මෙහෙමත් කඩඉම් ලකුණක්

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු පසුගියදා නිකුත් කෙරිණි. ඒ අනුව දිවයිනේ බාලක පාසල් 13 කටත්, බාලිකා පාසල් 14 කටත්, මිශ්‍ර පාසල් 1 කටත් ඇතුළුවීමට අවම ලකුණු ප්‍රමාණය වූයේ 176 කි. එය දරුවකුගේ සාමන්‍ය ලකුණු අගය 82 ද ඉක්මවා යෑමකි. එතරම් ලකුණු ප්‍රමාණයක් ලබාගත් දරුවකුට මෙලෙස ජාතික පාසලකට ඇතුළුවීමේ වරම් අහිමිවීම සැබවින්ම ගැටලුකාරී තත්ත්වයකි.

දරුවකු පාසලට ඇතුළු වී යන්තම් වසර 3 ක් ගෙවුණු පසු ශිෂ්‍යත්වය නම් තුරඟ තරඟ පිටියේ තුරඟකු මෙන් හැල්මේ දිවීමේ ශෝචනීය තත්ත්වයට පත්වීම ඔහුගේ මුළුමහත් ළමා ජීවිතයටම සිදුවන මහා ඛේදවාචකයකි. මේ තරඟයෙන් ජය ගැනීමට දරුවා මනාව මෙහෙයවන මවුපියෝ ද අසරුවාගේ භූමිකාව මැනවින් ඉටු කරති. නමුත් ඒ තරගයෙන් දරුවා දිනුවත්, පැරදුණත් තරගය අවසානයේ දරුවන් සේම මවුපියන් ද ඇති පදමට හතිවැටීම හේතුවෙන් සිදුවන්නේ ද එවැනිම වූ අවාසනාවන්ත ඉරණමකි.

මන්ද ඒ වන විටත් හොඳ හැටි හති වැටී සිටින අහිංසක දරුවා එතැනින් ඇරැඹෙන අධ්‍යාපනයේ විසල් මාර්ගයේ කෙලින් හිටගෙන ගමන් කිරීමට තරම් ශක්තියක් හෝ ධෛර්යක් නොමැතිකමින් මුළුමහත් ජීවිත ගමනම අඩපණ කරගන්නා අයුරු අප බෙහෝ විට දැක තිබේ. එතෙක් අසරුවාගේ භූමිකාව මැනවින් ඉටුකළ මවුපියෝ ද ලැබූ ඒ අසාමාන්‍ය වෙහෙසේ බලමහිමයෙන් සේම ඇතැම් විට ඇතිවන අපේක්ෂා භංගත්වය හේතුවෙන් දරුවාට යන විදියකට යන්නට දී අතහැර දැමීම නිසාද මේ විසල් මාවතේ දරුවා අතරමං වීම ඉතා ශෝචනීය වූ තත්ත්වයකි.

මුල සිටම අප මේ ශිෂ්‍යත්ව ක්‍රමයට විරුද්ධ වන්නේ ද එහෙයිනි. මවුපියන්ගේ සිහින මාලිගා හැබෑ කරන්නට අහිංසක දරුවා මත පටවන මේ මහ මෙර නිසා විඳින අපමණ වෙහෙස හා පීඩනය එම වයසේ දරුවකුට කිසිසේත්ම දරාගත හැක්කක් නොවන බව කව්රුත් දන්නා කරුණකි. ශිෂ්‍යත්වය කරුමයක් නොව පිවිසුමක් විය යුතු යැයි අප අදහන්නේ ද ඒ නිසාය.

ශිෂ්‍යත්වය ඉහළින් සමත්වන දරුවන්ගෙන් බහුතරයක් උසස් පෙළ විභාගය අසමත් වීම මෙයට එක් උදාහරණයක් පමණි. සරසවි වරම් ලබන දරුවන්ගෙන් බහුතරය ශිෂ්‍යත්ව විභාගය අසමත් වූ දරුවන් වීම ද මේ ඛේදවාචකයේ බරපතළකම පෙන්වා දිය හැකි තවත් එක් උදාහරණයකි. ඉන් පෙනී යන්නේ දරුවාගේ අධ්‍යාපන මට්ටම මැන බැලීමට ශිෂ්‍යත්ව විභාගය කිසි විටෙකත් අදාළ සාධකයක් නොවන බව නොවේද? එසේ නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මෙය මවුපියන්ගේ සිහින මාලිගා තනාගැනීමේ එක්තරා විදියක සූදුවක් යැයි කිවහොත් කිසිවකුත් අමනාප විය යුතු ද නැත. ඉගෙන ගන්න එකා කොහේ හිටියත් ඉගෙන ගන්නවා යැයි පම්පෝරි ගසන බොහෝ ඇත්තන් ද ජාතික පාසල් සිහිනය උදාකැර ගැනීමට ගවයන් සේ සිය දරුවන් දක්කන අයුරු ද අප සමාජයේ බොහෝ විට දැක තිබේ.

කෙවිට අතට අරන් පිටුපසින් සිට දක්කන තෙක් නිසි මඟ යන ගවයා ගොපල්ලා අතහැර දැමූ විට යන්නේ අයාලේ බව අමුතුවෙන් කිව යුතු ද නැත. දරුවා හරකකුට සමකළා යැයි ඒ නිසා කිසිවිටෙකවත් වරදවා වටහා ගත යුතු ද නැත. එහෙත් මේ අධ්‍යාපන ක්‍රමයෙන් සිදුවන්නේ ඉහත කී නස්පැත්තිය බව පමණක් අවබෝධ කරවීමට ගත හැකි වෙනත් උදාහරණයක් ද සොයා ගැනීම අසීරු කටයුත්තකි. මේ අධ්‍යාපන ක්‍රමයෙන් සිදුවන්නේ දරුවා හරකකු බවට පත්වීම නොවේදැයි කෙනෙකුට සිතෙන්නට ද පුළුවන. අපට කීමට ඇත්තේ තොප්පිය හරි නම් දාගන්න කියා පමණි.

කෙසේ වුවත් මෙලෙස අහස උසට කඩඉම් ලකුණු ඉහළ යෑමට බලපා ඇත්තේ ද මේ අධ්‍යාපන ක්‍රමයේ ම පවතින ගැටලුකාරී වාතාවරණය යි. පළමු වසරට සිසුන් ඇතුළත් කැර ගැනීමේදී සිදුවන අයථා සිදුවීම් නිසා පන්ති කාමරයකට දරාගත නොහැකි දරුවන් පිරිසක් එකවර ගාල් කෙරෙන අතර මෙය පන්ති භාර ආචාර්යවරයාට ද හිසරදයක් වී ඇති බව නොරහසකි. පන්තියකට ළමයින් සිටිය යුතු ප්‍රමාණය පිළිබඳව නිර්නායක ඇතුළත් කුමන චක්‍රලේඛ ආවත් වසර අවසානයේ දැඩි තදබදයක් පන්ති කාමරය තුළ නිර්මාණය වන්නේ මේ අනවශ්‍ය ගාල්කිරීම් නොනවතින නිසාය.

ජාතික පාසල් බහුතරයකට වසරකට වරක් උදාවන ලොතරැයිය වන පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීම, පොකැට්ටුව පිරෙන වාසි මල්ලක් වීමෙන් කුමන චක්‍රලේඛ ආවද ඒවාට පයින් ගසා පිටුපස්සා දොරින් දරුවන් ඇතුළු කර ගැනීම තවම නතර වී නැත. මෙයට විදුහල්පතිවරයා සේම පාසලේ උරුමක්කාරයන් සේ සිතා සිටින ආදි ශිෂ්‍යයන් ද වගකිව යුතුය. අල්ලස් ලබාගැනීමෙන් නොනවතින මේ උත්තමයන් දැන් දැන් බොහෝ විට ලිංගික අල්ලස් ලබාගැනීමේ අධම ක්‍රියාමාර්ගයට අවතීර්ණ වීම ද බරපතළ තත්ත්වයකි. පළමු ශ්‍රේණියේ මේ අර්බුදකාරී තත්ත්වය නිසා ශිෂ්‍යත්වය ද දැන් දැන් පලක් නැති වැලක් බවට පත් වී තිබේ.

පසුගිය වසරේ දිවයිනේ ප්‍රමුඛතම පාසල් කිහිපයක් ශිෂ්‍යත්ව කඩඉම් ලේඛනයේ ඇතුළත් නොවීම මෙයට කදිම උදාහරණයකි. මන්ද ඒ වන විටත් එම පාසල්වල හයවැනි ශ්‍රේණිය සඳහා පුරප්පාඩු නොපවතින තරමට ම පන්ති කාමර දරුවන්ගෙන් පිරී ඉතිරී තිබීමයි.

සෑම සියලු දෙයක්ම මුදලට විකිණෙන සමාජයක් තුළ අධ්‍යාපනය ද කුණු කොල්ලයට විකිණී යෑම නොවැළැක්විය හැකි යැයි කියා මේ නිසා කිසි විටෙකත් ඇස්කන් පියාගෙන සිටින්නට ද බැරිය. දරුවන්ගේ අධ්‍යාපන අයිතිය සුරැකීමට බලධාරීන් මීට වඩා සිය දහස් ගුණයකින් මැදිහත් විය යුත්තේ ද එබැවිනි. විදුහල්පතිවරුන්ට හිතුණු හිතුණු හැටියටත් ආදි ශිෂ්‍යයන්ට හිතුණු හිතුණු හැටියටත් මේ පාසල් පද්ධතිය නැටවීම දැන්වත් සහමුලින්ම නතර කළ යුතුය. ඒ සඳහා දැඩි නීති රාමුවක් සේම විනය පද්ධතියක් ද කඩිනමින් සැකසීම යුගයේ අවශ්‍යතාවකි.

පාසල් පද්ධතියේ පවතින මේ මහා පලුද්දට සුදුහුණු පිරියම් කිරීමෙන් ඵලක් වන්නේ නම් නැත. මේ පලුද්දෙන් අනාගතයේදී මහා හෝදාපාළුවක් ඇතිවීමට ඉඩකඩ බොහෝය. එනිසා මෙය සහමුලින්ම වසාදැමීමට සවිමත් කොන්ක්‍රීට් තට්ටුවක් අවැසි බව පමණක් අපි සිහිපත් කර දීමට කැමැත්තෙමු. ඉදිරියේදී මුළුමහත් අධ්‍යාපනයට ම සිදුවන මහා ඛේදවාචකය නවතා ගත හැක්කේ ද එවිටම පමණි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා