උතුරේ-දකුණේ සිත් යා කොට උදාර දේශයක් ගොඩනඟනවා

උතුරේ-දකුණේ සිත් යා කොට උදාර දේශයක් ගොඩනඟනවා

 67 වැනි ජාතික දින උළෙලේ දී ජනාධිපති කියයි‍

උතුරේ සහ දකුණේ ජනතාවගේ සිත් එක් කර ජාතික සම්මුතියක් මඟින් ජාතික සංහිඳියාව සහ සහජීවනය ඇති කරමින් උදාර වූ මාතෘ භූමිය මානවවාදී දේශයක් ලෙස ඉදිරියට ගෙන යාමට කැප වන බව ජනාධිපති ‍ෙමෙත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (4) පැවසීය. 67 වන නිදහස් සමරුව වෙනුවෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තුව අභියස ඊයේ පැවැති නිදහස් සමරු උළෙලේ දී ජාතිය අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. 

අභිමානවත් සහ චාම් අයුරින් පැවැති 67 වන ජාතික නිදහස් උළෙල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, කථානායක චමල් රාජපක්ෂ, අගවිනිසුරු කේ. ශ්‍රීපවන්, ස්වදේශ කටයුතු සහ ධීවර අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මඟුල් බෙර වාදනය හා සක් පිඹීමෙන් අනතුරුව පාසල් සිසු සිසුවියෝ සිය දෙනෙක් ජාතික ගීය ගායනා කළහ. ජයමංගල ගාථා සහ දේවෝ වස්සතු කාලේන ගාථාව සිසුවියන් විසින් ගායනා කරන ලදී.

ජනාධිපතිතුමා වෙත ආචාර වෙඩි මුර 21ක් කාලතුවක්කු හමුදාව විසින් පිරිනැමීමෙන් අනතුරුව උත්සව සභාව ආරම්භ විය.

අනතුරුව ජාතිය ඇමතූ ජනාධිපතිවරයා,

හැට හත් වසරක කාලය දෙස ආපසු හැරී බැලීමේදී එකිනෙකාට ඇඟිලි දික් කිරීම විසඳුමක් නොවන බවත් රට පාලනය කළ සෑම දේශපාලන පක්ෂයක්ම සහ නායකයකුම තමන් දෙසටම ඇඟිල්ල දිගු කර තම තමන්ගේ වගකීම් සහ යුතුකම් පිළිබඳව අධ්‍යයනය කිරීම වැදගත් බවත් කීය.

එසේ හැරී බැලීමේ දී අපට වැරදුණු තැන් මොනවා දැයි තේරුම් ගෙන ඒවා නිවැරදි කර ගැනීම වර්තමානයේ විශාලතම වගකීම සහ යුතුකම බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

රටේ දේශපාලන, ආර්ථික, සංස්කෘතික පරිවර්තනයක් සිදුකිරීමට ජනාධිපතිවරණයට පෙර පොරොන්දුවක් දුන් බවත් ගෙවී ගිය සති තුනක් ඇතුළත එම පොරොන්දු ඉටුකිරීම සඳහා මූලික ප්‍රවේශයක් ලබා කටයුතු කරමින් සිටින බවත් ජනාධිපතිවරයා කීය.

සියයට 6.7ක් වන දරිද්‍රතා දර්ශකය අවම කර ජනතාවගේ ආදායම් පරතරය අඩු කර දුගී බව තුරන් කිරීමට නව රජය උපරිමයෙන් කැප වන බව ද ඒ සඳහා දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා දේශීය කෘෂිකර්මාන්තය නව පර්යේෂණයන් සහ අධ්‍යයනයන් මගින් ගත හැකි ක්‍රියාමාර්ග අනුගමනය කරන බව ද ඒ මහතා පැවැසීය.

නව තාක්ෂණය සහ කාර්මික ලෝකය සමඟ අත්වැල් බැඳ ප්‍රබුද්ධ රටක් ලෙස ඉදිරියට යාම යුගයේ අවශ්‍යතාවක් බව ද ජනාධිපතිවරයා කීය.

රාජ්‍ය සේවය ශක්තිමත් කරමින් අපක්ෂපාතී කිරීමට කැප වන බව කී ජනාධිපතිවරයා ව්‍යවස්ථා සංශෝධනයක් මඟින් පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමටත් විධායක ජනාධිපති ධුරයේ ඇති අසීමිත බලතල ඉවත් කිරීමටත් කටයුතු කරන බව ද අවධාරණය කළේය.

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස තහවුරු කිරීමට කැප වන බව සිහිපත් කළ ඒ මහතා ජනතාවට ලබා දුන් පොරොන්දු අනුව එම කාර්යයන් ස්ථිර ලෙස ඉටුකරන බව පැවැසීය.

විදේශ ප්‍රතිපත්තිය ශක්තිමත් කරමින් මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් මඟින් සියලු ජාතීන් සමඟ සුහඳතාව මිත්‍රශීලීභාවය ගොඩනගමින් මාතෘ භූමිය පුළුල් සංවර්ධනයක් කරා ගෙන යන බව ද ජනාධිපතිවරයා අනාවරණය කළේය.

නව පරපුරේ සිතුම් පැතුම් පැහැදිලිව තේරුම් ගනිමින් නව රජය ඔවුන්ගේ අපේක්ෂා ඉටුකිරීමට සැමවිට ක්‍රියාකරන බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා ජාතිය ඇමතීමට පෙර පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ තිදෙනෙක් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන් විශේෂ සාම ප්‍රකාශය ඉදිරිපත් කළහ.

යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක බළකාය විසින් පවත්වනු ලැබූ ආචාර පෙළපාලිය සහ සංස්කෘතික සංදර්ශන පෙළපාලිය පැවැත්වීමෙන් අනතුරුව නිදහස් උළෙල අවසන් විය. විදේශ තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන්, මැති ඇමැතිවරුන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා