සිසිර සේනාරත්න අභාවප්‍රාප්ත වේ

සිසිර සේනාරත්න අභාවප්‍රාප්ත වේ

ප්‍රවීණ ගායන ශිල් පී සිසිර සේනාරත්න මහතා ඊයේ (4) දහවල් කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත විය. මිය යනවිට හෙතෙම හැත්තෑ නවවැනි වියෙහි පසුවිය.  කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි සිසුවකු වූ සිසිර සේනාරත්න චිත්‍රපට පසුබිම් ගීත ගායනයට පිවිසෙනුයේ ඉතාම ළාබාල අවධියේදීය.

හෙතෙම ගීත රචනයට පිවිසී ඇත්තේ වයස අවුරුදු දොළහේ දී පමණය. ඔහුගේ ප්‍රථම ස්වතන්ත්‍ර ගීත රචනය හා තනු නිර්මාණය සිදුකළේ ධර්මදාස වල්පොළ වෙනුවෙනි. ටී. එෆ්. ලතීෆ්ගේ සහ සිරිසේන විමලවීරයන්ගේ ඇසුර නිසා ඔහුට ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ට හඳුනා ගැනීමට හැකිවිය. රේඛාව චිත්‍රපටය සඳහා ගීත ගායනයට ආරාධනා ලැබෙන විට සිසිරගේ වයස අවුරුදු දහහතරකි.

රේඛාවට ඔහු ගැයූ 'ඕලු නෙළුම් නෙරිය රඟාලා' ගීතය නිසා ඔහු මෙරට ජනප්‍රිය චිත්‍රපට පසුබිම් ගායකයකු ලෙස කීර්තිමත් නමක් අත්කර ගත්තේය.

ඉන්පසු හර්බට් එම්. සෙනෙවිරත්න, ෂෙල්ටන් ප්‍රේමරත්න වැන්නවුන් සමඟ සරල ගීයට මෙන්ම චිත්‍රපට පසුබිම් ගීයට ද ඔහු එක්වූයේය.

ඔහුගේ පැතුම වූයේ වෛද්‍යවරයකු වන්නටය. නමුත් ඔහුට සිදුවූයේ දහසක් සිත්සතන් පිනවන මනබන්ධනීය හඬකින් ජනතාව වෙනුවෙන් ගයන්නටය.

සිසිර සේනාරත්නයන් 1962 මැයි 31 වැනිදා ඉන්ද්‍රාණී සමඟ යුග දිවියට එක්විය.

මේ දෙපළට දරුවන් තිදෙනෙකි. ඒ සංජය සේනාරත්න, සුභානි සේනාරත්න විජේතිලක සහ සමීර සේනාරත්නයි.

නුහුරු නුපුරුදු ‍රහස පිළිබඳ මිහිර ආදරයයි කියා, ඕළු නෙළුම්, මාගේ පුතුට මල්, නිල්මිණි දෑසේ මැවු ආලෝකය, සීත දිය ඇලී, ගයා ගීතයන් ගමේ, සයුර වෙත යන ගඟ ආදී ජනප්‍රිය ගීත රැසක් ඔහු අපට දායාද කළේය.

ඔහුගේ අමරණීය හඬ නිසා ම පසුගිය වසරේ දී ශ්‍රී ලාංකික කලාකරුවන් ඔහු වෙනුවෙන් උපහාර ප්‍රසංගයක් ද පැවැත්වීය.

සිසිර සේනාරත්නගේ අවසන් කටයුතු සෙනසුරාදා (7) සවස බොරැල්ල කනත්තේ දී සිදු කැරේ‍.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා