අනාරක්ෂිත දුම්රිය මඟ තවත් ජීවිත 4ක් බිලි ගනී

අනාරක්ෂිත දුම්රිය මඟ තවත් ජීවිත 4ක් බිලි ගනී

"මම කඩේ ඉඳන් එළියට එනකොටම කෝච්චියක් කොළඹ දෙසට ගියා. ඒ එක්කම තවත් කෝච්චියක් අනික් පැත්තට අවා. ඒ එන කෝච්චියේ තමයි මේ කැබ් එක වැදුනේ. කැබ් එක කෝච්චියේ වදිනවාත් සමඟම ඒකේ ආව දෙතුන් දෙනෙක් එළියට විසිවුණා.

මම ඒක දැක්කා. අපි කෑ ගහගෙන එතනට ආවා" යනුවෙන් රාගම, බටුවත්ත ප්‍රදේශයේ පදිංචි රෝහණ කුමාර මහතා ප්‍රකාශ කළේ ඊයේ (04) පස්වරු 2.30 ට සිදුවූ අවාසනාවන්ත සිද්ධියක් සම්බන්ධයෙන් තම සියැසින් දුටු දේ විස්තර කරමිනි.

මාතර සිට වවුනියාව බලා ගමන්ගත් සීග්‍රගාමී දුම්රිය රාගම, බටුවත්ත දුම්රිය ස්ථානය පසුකර යනවාත් සමඟ ගතවූයේ නිමේෂයක් පමණි. එම දුම්රිය ස්ථානය පසුකර තත්ත්පර කිහිපයක් යනවාත් සමඟ වම් පසින් පැමිණි කැබ්රථයක් දුම්රියේ ගැටුණේ කිසිවකු නොසිතන අවස්ථාවකයි.

මේ කැබ්රථයේ ගමන් කළේ මීගමුව ප්‍රදේශයේ පදිංචි එකම පවුලට අයත් හය දෙනෙකි. මහත් බාපොරොත්තු ඇතිව ජාතික නිදහස් දිනය සමරන දා තමන්ගේ රාගම ප්‍රදේශයේ සිටින නෑදෑයින් බලන්නට ගියේ කිසිවිටෙකත් මේ තමන් යන අවසන් ගමන යැයි නොදැනය.

ඒ කෙසේ වෙතත් ඔවුනට දෛවය කියා පෑවේ හාත්පසින්ම වෙනස් දෙයකි. ජීවත්වන අපි සියලු දෙනාම කවදා හෝ මිය යන බව ඇත්තයි. නමුත් මෙවැනි අකල් මරණයකින් ජීවිතය කෙලවර වනනේ නම් එය කෙතරම් අවාසනාවන්ත දැයි පැවසිය යුතු නොවේ.

මේ අනතුරින් එකම පවුලේ සිවුදෙනකු මේ වනවිට ජීවිතය හැර ගොසිනි. තවත් දෙදෙනකු තුවාල ලබා තිබෙනවා. මෙලෙස තුවාල ලබා මේ වනවිට රාගම ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන්නේ එකම පවුලේ මව සහ දියණියයි.

මේ දෙදෙනාගේ ජීවිතය බේරා ගැනීම වෙනුවෙන් රාගම රෝහලේ කාර්යය මණ්ඩලය ඉතා යුහුසුළුව කටයුතු කරනු එහි ගිය අපට දැක ගන්නට ලැබිණි. කෙසේ වෙතත් ප්‍රතිකාර ලබමින් සිටින තරුෂි සඳමිණි දියණිය කෑ ගසන ආකාරය ද අපට දැක ගන්නට ලැබිණි. ඇය සහ ඇයගේ මවගේ ජීවිතය බේරා ගැනීම වෙනුවෙන් රාගම රෝහලේ වෛද්‍යවරු, හෙද නිලධාරිණියන් ඇතුළු කාර්ය මණ්ඩලය ක්‍රියාත්මක වූ ආකාරය පැසසිය යුතුයි.

මියගිය තිදෙනා,

තුවාල ලැබූ කුඩා දැරිය කවයෙන් දැක්වේ.

ඒ අවස්ථාව වනවිටත් මේ අනතුරට මුහුණ දුන් අයගේ ඥාතීන්, හිතවතුන් විශාල පිරිසක් රාගම රෝහල් පරිශ්‍රයට පැමිණි සිටිනු දක්නට ලැබිණි. ඔවුන්ගෙන් කඩා හැලෙන උණු කඳුළු ගංඟාවක් තරම් විය. බාල මහළු, පිරිමි කාන්තා කිසිඳු භේදයකින් තොරව සියල්ලෝම හඬා වැටෙන අතරතුර දැනට ප්‍රතිකාර ලබන තුෂාරිකා ද සිල්වා මහත්මියගේ මෑණියන් ද ඒ ස්ථානයට ළඟා වූවාය.

ඇය සනසන්නට අවට සිටි පිරිස් නොගත් උත්සාහයක් නොමැත. ඒත් තම කුසින් මෙලොව එලිය දුටු තම දරුවන්ට සිදුවූ අවාසනාවන්ත සිදුවීම ගැන ඒ මෑණියන් හඩා වැළපුනේ බලා සිටින සියල්‍ලන්ගේම දෙනෙත්වලට කඳුළක් එක් කරමිනි.

මේ අනතුර සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් රෝහණ කුමාර මහතා සඳහන් කළේ, කොළඹ දෙසට කෝච්චියක් යනවාත් සමඟම තමයි වවුනියාව කෝච්චිය ආවේ. මම හිතන්නේ මෙතන සිග්නල් වැඩ කළත් එය ප්‍රමාණවත් නැහැ කියලයි. ‍

ඇත්තටම මෙතනට දුම්රිය ගේට්ටුවක් අවශ්‍යමයි. මොකද කලින් කෝච්චිය ගිය නිසා දෙවැනියාට කෝච්චියක් එනවා දන්නේ නැතිව මේ කැබ් එක පාරට දාන්න ඇති. ඒකයි මේ අනතුරට හේතුව වෙන්න ඇත්තේ. ඉතිං මේවගේ අවාසනාවන්ත තත්ත්වයන් නතර කළයුතු වෙනවා.

අපි හැමදාම කියනවා මෙතනට දුම්රිය ගේට්ටුවක් දෙන්න කියලා. අපිට නම් දැන් ඇතිවෙලා ඉන්නේ. මේ වඟේ අවාසනාවන්ත තත්ත්වයන් ඕනෑ තරම් දැක තිබෙනවා. කෝච්චියට හැප්පිලා ලේ පෙරාගෙන ඉන්න අය අපේ අත්වලින්මයි රෝහලට අරන් යන්නේ. අපිට කෑමක්වත් කන්න බැහැ. ඉතිං අපි ඉල්ලන්නේ දුම්රිය ගේට්ටුවක් දෙන්න කියලයි යනුවෙන් පැවසීය.

තුවාල ලැබූ අයෙක් ප්‍රතිකාර ලබමින්.

අපි දැනුවත්ව සිදුවන මෙවැනි අවාසනාවන්ත සිදුවීම් වළක්වා ගතයුතු වෙයි. මෙවැනි සිදුවීම්වලට වගකිව යුත්තේ කවුරුන් ද. එවැන්නක් වළක්වා ගැනීම වෙනුවෙන් මැදිහත් වියයුත්තේ කවුරුන්ද.

මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළයුතු වෙනවා. සැබවින්ම ඒ කෙරෙහි මීට පෙර කිසිවකුගේ අවධානය යොමු වී නැති බවක් පෙනේ. මේ එම ස්ථානයේ සිදුවූ එකම අනතුර නොවන නිසාය.

මීට පෙර අනතුරු විශාල ප්‍රමාණයක් සිදුව තිබෙනවා. ඒ සාමාන්‍ය ගනයේ අනතුරු පමණක් නොවේ. ජීවිත හානි වූ අනතුරු බව සිහිපත් කරන්නේ දැඩි වේදනාවකිනි. මේ සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ හෝ දේශපා‍ලනඥයන්ගේ විශේෂ අවධානය යොමුවීම අත්‍යවශ්‍ය වෙයි.

මැතිවරණයක් ආසන්න වනවිට දේශපාලනඥයන් ගෙයින් ගෙට පැමිණ අලි දෙන්නම් කොටි දෙන්නම් යනුවෙන් පොරොන්දු වුවද පසුව ඔවුන් ජනතාව අතරට පැමිණෙන්නේ ඊළඟ ඡන්දය ආසන්නයට එන විටය. ඒ නිසා මේ තත්ත්වයෙන් අත්මිදී ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් විශේෂ අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය කරුණකි.

මේ ඛේදනීය තත්ත්වය සම්බන්ධයෙන් අදහස් පළකළ ජා-ඇළ ප්‍රාදේශීය සභා මන්ත්‍රී පාලිත රත්නසිංහ මහතා ප්‍රකාශ කළේ "ඇත්තටම මේ ස්ථානයේ සිදුවූ පළමු අනතුර මෙය නොවෙයි. මීට පෙර අනතුරු ගොඩාක් සිදුව තිබෙනවා.

අපි දැනුවත්ව බස් රථයක්, වෑන් රථයක්, ත්‍රීරෝද රථ දෙකක් ඇතුළු වාහන රැසක් දුම්රියට බිලිවුණා. ඇත්තටම මේක කනගාටුදායක තත්ත්වයක්. මේ ගැන අපි හැමදාම බලධාරීන්ට කියනවා. නමුත් කිසිවකුගේ අවධානය යොමු වන්නේ නැහැ.

මෙතන අනතුරු සිදුවන්නේ රියදුරන්ගේ වරදින්ම නොවේ. මේ දුම්රිය හරස් මාර්ගය පැහැදිලි නැහැ. ඉතිං මෙතනට දුම්රිය ගේට්ටුවක් දෙන්න කියලා අපි හැමදාම කියනවා. ඒ නිසා දැන්වත් හිතලා මෙතනට දුම්රිය ගේට්ටුවක් දෙන්න කියා ඉල්ලනවා" යැයි පැවැසීය.

මේ අතර සිද්ධිය සියැසින් දුටු ජනිත රුවන් තරුණයා සඳහන් කළේ මෙවැන්නක්, "කෝච්චිය හෝන් කරගෙන ආවා. ඉස්සර වෙලා ගිය කෝච්චිය ගියා. පස්සේ ආව වවුනියාව කෝච්චියේ කැබ් එක වැදුනා. කැබ් එකේ පිටිපස්ස තමයි වැදුනේ.

ඒ එක්කම කඩාගෙන වැටුනා. ඒකෙන් ඒකකෙනෙක් විසි වුණා. කැබ් එකට යටවී සිටි පොඩි ළමයෙක් උස්සගෙන අපි රාගම රෝහලට ගියා. අනෙක් කට්ටියත් ඉක්මණින්ම රෝහලට අරගෙන ගියා" යනුවෙන් පැවසීය.

මෙවැනි අවාසනාවන්ත සිදුවීම් වළක්වා ගතයුතුව තිබේ. ඒ වෙනුවෙන් වගකිව යුතු සියලු පාර්ශ්වයන්ගේ අවධානය යොමු වියයුතු වෙනවා. එසේ නොමැති නම් මෙවැනි අහිංසක, වටිනා ජීවිත තව තවත් අහිමි වනු නිසැකය. බලාපොරොත්තු දහසක් ‍ඇතිව පියවරක් ඉදිරියට තබන මේ රටේ අනාගත දරු පරපුර බේරා ගැනීම රජයේ මෙන්ම සියලු පාර්ශ්වයන්ගේ වගකීම වන්නේය. ඒ වෙනුවෙන් අවධානය යොමු කිරීම ජාතියේ හෙට දවස වෙනුවෙන් වැදගත් වනු ඇත.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා