ඉදිරි මාස හතර ඇතුළත ර‍ටේ විදුලි අවශ්‍යතාව 100%ක් සම්පූර්ණ කරනවා

ඉදිරි මාස හතර ඇතුළත ර‍ටේ විදුලි අවශ්‍යතාව 100%ක් සම්පූර්ණ කරනවා

-ඇමැති පාලිත රංගේ බණ්ඩාර

ඉදිරි මාස හතර තුළ මෙරට විදුලි අවශ්‍යතාව සියයට සියයක් සම්පූර්ණ කරන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමැති පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

මෙරට සියලු දුෂ්කර ප්‍රදේශ සඳහා කඩිනමින් විදුලිබලය ලබාදීමට මේ වන විටත් වැඩපිළිවෙළ සකසා ඇතැයිද අමාත්‍යවරයා කීය.

ඇමැති රංගේ බණ්ඩාර මහතා ඊයේ (03) මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගත් අවස්ථාවේ මේ බැව් පැවසීය.

ඇමැතිවරයා ශ්‍රී දළදා මාළිගාවට ගොස් දළදා සමිඳු වැඳපුදා ආශිර්වාද ලබා ගනු ලැබීය.

ඉදිරියේදී විදුලිබිල අඩුකිරීම කෙරෙහිද රජයේ අවධානය යොමුව ඇතැයිද ඒ මහතා කීය.

පසුගිය රජය සමයේ සිදුවූ හෙජින් ගිවිසුම හා බාල පෙට්ට්‍රල් මෙරට ගෙන ඒමේ පාඩුව නොවුණානම් මේ වනවිට තවත් විශාල වශයෙන් ඉන්ධන මිල අඩු කිරීමට හැකියාව තිබූ බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

හෙජින් ගිවිසුම හා බාල පෙට්‍ට්‍රල් ගෙන්වීම නිසා මේ වන විට රට ලෝකයට ණය වී ඇතැයිද එමනිසා තෙල් සංස්ථාව හා පාරිභෝගිකයා වශයෙන් සිතිය යුතු තීරණ ගත යුතුව ඇතැයි ද අමාත්‍යවරයා කීය.

ඉන්ධන හා විදුලිබිල සඳහා මිල සූත්‍රයක් ඉදිරියේදී හඳුන්වාදෙන බවද එමඟින් ජනතාවට ඉහළම සහනයක් සැළසෙන බවද හෙතෙම පැවසීය.

ඉන්ධන මිල අඩුවීමේ වාසිය සියලු නිෂ්පාදකයන් ව්‍යාපාරිකයන් ඇතුළු පිරිස් තනිවම ලබා නොගෙන ජනතාවට එය ලබා දෙන ලෙසද අමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටියේය.

හිටපු මධ්‍යම පළාත් සභා මන්ත්‍රී ඩී.ආර්.බී. රත්නායක හා ව. මු ජයතිලක යන මහත්වරු ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා