එකම පවුලේ 4ක් බටුවත්තේ දී රජරට රැජිනට බිලි

එකම පවුලේ 4ක් බටුවත්තේ දී රජරට රැජිනට බිලි

සීනුව නාදවෙද්දීත් දුම්රිය මඟට කැබ්රිය දාලා

* පියා-දුව හා පුතුන් දෙදෙනා එතැනමයි

* මව හා තවත් දියණියක් රෝහලේ

 අනතුරට පත් කැබ් රිය. ඡායාරූප-මහින්ද විතානාච්චි සහ කන සමූහ- මොරගොඩගේ පින්තු, කොච්චිකඩේ විශේෂ

රාගම, බටුවත්ත දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කළ කැබ් රථයක් ඊයේ (4) දහවල් 2.15ට පමණ රජරට රැජින ශීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙන් කැබ්රථයේ ගමන් කළ එකම පවුලේ සිව්දෙනකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වූ අතර තවත් දෙදෙනෙක් බරපතළ තුවාල ලැබූහ.

මියගොස් ඇත්තේ අංක 484 නුගවෙල පාර, මීගමුව පදිංචි ආර්. ධර්මසේන (52) (පියා) අංජලි ප්‍රබුද්ධි (22) (දියණිය) හර්ෂ තරිඳු (20) (පුත්‍රයා) ළහිරු සාලින්ද (15) (පුත්‍රයා) වූ අතර මව වූ ඩබ්. ඒ. තුෂාරිකා සිල්වා (41) රාගම රෝහලේ  ප්‍රාථමික සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර ළාබාල දියණිය වූ තරුෂි සඳසානි (11) බරපතළ තත්ත්වයෙන් රාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

හඬා වැටෙන ඥාතීන්.

රාගම ප්‍රදේශයේ ඥාතියකු බැලීමට මෙම පිරිස පැමිණ ඇති බව පැවසේ. රාගම, බටුවත්තේ දුම්රියපළ ආසන්න දුම්රිය හරස් මාර්ගයේ ඉදිරිපිට කැබ් රථය නවත්වා ගෙන සිට ඇත්තේ රඹුක්කන සිට කොළඹ දක්වා ගමන් කළ දුම්රිය එම ස්ථානයෙන් ගමන් කළ නිසා වන අතර එම දුම්රිය කොළඹ දෙසට ගමන් කළ පසු දුම්රිය සංඥා නාද නතර වීමට පෙර කැබ් රථය බටුවත්ත දුම්රිය හරස් මාර්ගයට දමා තිබේ.

එම අවස්ථාවේ මාතර සිට කොළඹ හරහා ඕමන්තය දක්වා වේගයෙන් ගමන් කළ රජරට රැජින දුම්රියට වැදුණු රථය මීටර් 50ක් පමණ ඇදගෙන බටුවත්ත දුම්රිය ස්ථානයේ වේදිකාව අසලට ම ගොස් නතර වී තිබුණි.

මෙම දුම්රිය අනතුරෙන් පියා ඇතුළු දරුවන් තිදෙනා එම ස්ථානයේ ම මියගොස් තිබූ අතර රාගම පොලිසිය හා ප්‍රදේශවාසීන් එක්ව මියගිය අය හා අනෙක් දෙදෙනාව රාගම රෝහලට ගෙන ගොස් තිබුණි. ‍මෙම අනතුර සම්බන්ධව පරීක්ෂණ රාගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අර්ජුන කොඩිකාර මහතාගේ උපදෙස් මත සිදු කරයි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා