තරගයේ ජය නැවියන්ට : රගර් කිරුළ මහනුවරට

තරගයේ ජය නැවියන්ට : රගර් කිරුළ මහනුවරට

අන්තර් සමාජ පළමුපෙළ ලීග් රගර් තරගාවලියේ තීරණාත්මක අවසන් තරගයෙන් ලකුණු 12-11ක තියුණු ජයක් අත්කරගැනීමට නාවික හමුදා කණ්ඩායම සමත්වූවත් ප්‍රසාද ලකුණු සටහනට අනුව නැවියන්ට වඩා එක් ලකුණක් ඉදිරියෙන් සිටි මහනුවර ක්‍රිඩා සමාජයට ශුරතාව හිමිවිය.

නිත්තවෙල ක්‍රීඩා පිටියේ ඊයේ පස්වරුවේ පැවැති මේ තරගයට පෙර මහනුවර පිල ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවූ අතර නාවික හමුදා පිල ලකුණු 4කින් ඔවුන්ට වඩා පහළින් දෙවැනි තැන සිටියේය. ඊයේ තරගයෙන් ජයලැබීමත් සමග නාවික හමුදා පිලේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව ඉහළ ගියත් ලකුණු 7ක පරතරයක් සහිතව තරගයෙන් පරාජයට පත්වූ මහනුවර පිල එක් ලකුණකින් නාවික හමුදා පිල අභිබවා යමින් ශූරතාවට හිමිකම් කීමට සමත්විය.

නාවික හමුදා පිල වෙනුවෙන් නුවන් හෙට්ටිආරච්චි දඬුවම් පහර 4ක් වාර්තා කළ අතර මහනුවර පිල වෙනුවෙන් ක්‍රිස් ක්ලෝටේ උත්සාහක දිනුමක් සහ රොෂාන් වීරරත්න දඬුවම් පහර දෙකක් වාර්තා කළේය. තරගයේ පළමුභාගය නිමාවනවිට මහනුවර පිල ලකුණු 8-6කින් පෙරමුණ ගත්තේය.

සී.ආර්.පිලට තියුණු ජයක්

මේ අතර පොලිස් කණ්ඩායමට එරෙහිව ලකුණු 30-29ක තියුණු ජයක් අත්කරගැනීමට සී.ආර්.පිල සමත්විය. කොළඹ තුරඟ තරග පිටියේ පෙරේදා පස්වරුවේ පැවැති මේ තරගයේ පළමු භාගය නිමාවනවිට ලකුණු 20-10කින් පෙරමුණ ගත් හැව්ලොක්ස් පිලට දැඩි අභියෝගයක් එල්ල කළ පොලිස් කණ්ඩායම දෙවැනි භාගයේ දී වැඩි ගෞරව අත්කරගැනීමට සමත්විය.

දෙවැනි භාගයේ දී නැවත තරගයට අවතීරණ වූ පොලිස් කණ්ඩායම අවසන් මොහොතේ දී එරන්ද වීරක්කොඩි තැබූ විශිෂ්ට උත්සාහක දිනුමකින් තරගයේ වාසිය පොලිස් කණ්ඩායම දෙසට හැරවීය. එහෙත් එම උත්සාහක දිනුම ගෝලයක් බවට පත්කිරීමට රිම්සි ජමාල්දීන් අසමත්වීමෙන් පොලිස් පිල පරාජයට පත්වූයේ එක් ලකුණකිනි. සී.ආර්.පිල ලැබූ ලකුණු සංඛ්‍යාවට ගෝලයක්, උත්සාහක දිනුම් 4ක් සහ දඬුවම් පහරක් එක්වූ අතර පොලිස් පිල ගෝල් 3ක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් එල්ල කළේය.

හැව්ලොක්ස් පිලට ජය

මෙවර තරගාවලියේ දෙවැනි වටයේ සිය අවසන් තරගයෙන් ගුවන් හමුදා පිල ලකුණු 47-22කින් පරාජය කිරීමට හැව්ලොක්ස් පිල සමත්විය. හැව්ලොක්ස් පිටියේ පෙරේදා පැවැති මේ තරගයේ පළමු භාගය නිමාවනවිට ලකුණු 28-10කින් පෙරමුණ ගත් හැව්ලොක්ස් පිල ගෝල 6කින් සහ උත්සාහක දිනුමක් මගින් සිය ලකුණු සංඛ්‍යාව සම්පූර්ණ කළ අතර ගුවන් හමුදා පිල රැස් කළේ ගෝල් 2ක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් පමණි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා