ඩී එස්-මහානාම රන් සටන ජය පරාජයෙන් තොරයි

ඩී එස්-මහානාම රන් සටන ජය පරාජයෙන් තොරයි

කොළඹ ඩී.එස්‌. සේනානායක විදුහල සහ මහානාම විදුහල අතර 9 වැනි වරටත් පැවැති "රන් මහ සටන" මහ ක්‍රිකට්‌ තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය. තරගය පැවති දෙදින ම වර්ෂාවෙන් දැඩි බාධා එල්ල වීම කැපී පෙනිණි.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඩී. එස්‌. සේනානායක විදුහල් පිල කඩුලු 8කට ලකුණු 275ක්‌ (පන්දු වාර 70.2) ලබා සිටිය දී ඉනිම අත්හිටුවා පන්දුවට පහර දීමේ වාරය මහානාම විදුහලට ලබා දෙනු ලැබූ අතර ඒ අනුව ඔවුන් වර්ෂාව හේතුවෙන් තරගය නිමා කරන විට කඩුල්ලක් දැවී ලකුණු 37 ක්‌ ලබා සිටියේය. ඩී.එස්‌. නායක හරිත් මධුවන්ත පන්දු 143කදී හතරේ පහර 8ක් සමග ලකුණු 97ක් ලබා සිටිය දී දැවී යෑමෙන් ශතකය අහිමිවීම කැපී පෙනුණි. ඔහු ඉදිරි පාදයේ ආරක්ෂාකාරීවීමට ගත් උත්සාහයේදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට දකුණත් පිට දඟ පන්දු යැවූ දුලංජන ටෙනිෂාන් සමත්විය. තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීමට ඔහුට හැකිවිය.

වසර 2007 දී ආරම්භ වූ ඩී. එස්‌. - මහානාම රන් මහ සටන මේ වන විට අඛණ්‌ඩව වසර 9 ක්‌ පවත්වා ඇති අතර ඉන් තරග 7 ක්‌ ජය පරාජයෙන් තොරව අවසන් වී ඇති අතර ඩී. එස්‌. සේනානායක විදුහල එක්‌ තරගයක්‌ ජයගෙන ඇත.

මෙතෙක්‌ පැවැති එක්‌දින තරග 8 න් තරග 4 ක ජය මහානාමයටත්, තරග 3 ක ජය සේනානායකයන්ටත් හිමි වී එක්‌ තරගයක්‌ විසඳුමකින් තොරව නිමවී ඇත.

ඩී.එස්‌. පළමු ඉනිම-275/8යි. හරිත් මධුවන්ත 97, අකිල් ඉල්හාම් 42, මොරින් පිටිගල 39, උවින් බණ්ඩාර 34 (ඩී.ටෙනිසන් 68/3, නිදුක වැලිකල 51/2) -මහානාම පළමු ඉනිම-37/1යි. තනුල සන්දේශ් නොදැවී 18, සහන් පීරිස් නොදැවී 8 (මොරින්පිටිගල 19/1)

ලකුණු 97ක් ලබා ඩී.එස්.ඉනිමට ජීවයක් ගෙනදුන් හරිත් මධුවන්තගෙන් පහරක්. ඡායාරූපය-ප්‍රින්ස් ගුණසේකර

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා