සංවර්ධන යුද්ධය ජය ගැනීමට ඵලදායිතාව ඉහළ නැංවිය යුතුයි

සංවර්ධන යුද්ධය ජය ගැනීමට ඵලදායිතාව ඉහළ නැංවිය යුතුයි

- ඇමැති අතාවුද සෙනවිරත්න

රට තුළ සංවර්ධන යුද්ධය දැන් ආරම්භ වී ඇති බවත් එම යුද්ධයේ සෙබළු ලෙස අප සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බවත් කම්කරු සබඳතා හා මිනිස් බල ඇමැති අතාවුද සෙනෙවිරත්න මහතා පැවසීය.

ඵලදායිතාව ඉහළ නංවා එම සංවර්ධන යුද්ධය ජය ගත යුතු බවද ඇමැතිවරයා කීය.

පෙරේදා (06) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති ජාතික ඵලදායිතා සම්මාන 2008 උළෙල සඳහා සහභාගී වෙමින් ඇමැති අතාවුද සෙනෙවිරත්න මහතා එසේ පැවසීය.

ඇමැතිවරයා එහිදී මෙසේද කීය. අප සියලු දෙනා රාජ්‍ය සේවකයන් ලෙස ජනතාවට සේවය කළ යුතුයි. එම සේවය කාර්යක්‍ෂම ඉටු කිරීම සෑම දෙනාගේම වගකීමක්. ජනතාවගේ මුදලින් නඩත්තු වන සේවකයින් ලෙස කැපවීමෙන් හා කාර්යක්‍ෂමතාවයෙන් සේවය සැලසිය යුතුයි. එසේ කාර්යක්‍ෂමතාව ඇති කිරීමට ඵලදායිතාව වර්ධනය කර ගත යුතුයි.

මුල් කාලයේදී අපිට ඵලදායිතාව පෞද්ගලික අංශයේ වැඩක් වගේ පෙනුණේ. මුල් කාලයේදී ව්‍යාපාරිකයන්ට මේ ඵලදායිතා සම්මාන ලබා දුන්නා.

රාජ්‍ය අංශයේ තියෙන්නේ නිෂ්පාදන හා සේවා ආයතනයි. ඒ නිසා ලාභය අපේක්ෂා කරලා ඵලදායිතා වැඩසටහන් ක්‍රියාත්මක කර වැඩක් නෑ. අපගේ සේවය බලාපොරොත්තුවෙන් එන ජනතාවට ඉක්මන් සේවයක් සැලසීමයි අපගේ යුතුකම. සියලුම දෙනාගේ එකමුතු කමෙන් මෙම සේවය සලසා දිය යුතුයි.

විශේෂයෙන්ම ආයතනයක ප්‍රධානියා ඒ වගකීම ගත යුතුයි. ඒ සඳහා අවශ්‍යය වන්නේ උනන්දුව හා කැපවීමයි.

හරි පාලනයක් තියෙනවා නම් ඒ ආයතනය දියුණු වෙනවා. පාසලක වුවත් එය එසේ්මයි. සෑම ආයතනයකම නායකත්වය ප්‍රධානයි.

වෙලාවට වැඩ කරන සංස්කෘතියක් ඇති කළ යුතුයි. කාලය රන්හා වටිනවා කියලා තියෙන්නේ දැන් කාලය රිදී වෙලා තියෙන්නේ. වැඩ කිරීම පිළිබඳ චින්තන වෙනසක් ඇති කළ යුතුයි. වැඩ කිරීමේ ආකල්ප ඇති කළ යුතුයි.

පාසල් සියයකට ඵලදායිතා සම්මාන ලැබුණා. එය සතුටට කරුණක්.

දැන් මායිම් ගම්මාන නෑ. තියෙන්නේ දුෂ්කර ගම්මාන. ඒ දුෂ්කර ගම්මාන ඛ්දන්න අප හැමෝම එක් විය යුතුයි.

ආහාර හිඟය පැවැති කාලයේ අපි ඵලදායිතාවය ඉහළ නංවා රට ගොඩ ගත්තා.

රට සංවර්ධනය කරන්න ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ එක් වන්නැයි ජනතාවට ආරාධනා කරනවා. ඒ වගේම ඵලදායිතාව ඉහළ නංවන්න කටයුතු කරන්න.

ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා

ඵලදායිතාව පිළිබඳ මුළු රට පුරාම අද කතා වෙනවා. ගුවන් හමුදාවත් ඵලදායිතා සම්මාන හිමි කර ගත්තා. නොයෙක් ආකාරයේ සංකල්ප රාමු ඇති කරලා රටේ රාජ්‍ය සේවය මෙවැනි තැනකට ගෙන ඒම පිළිබඳ අපි සතුටු විය යුතුයි.

අපිට තිබෙන සම්පත් සීමිතයි. ඒ සීමිත සම්පත් වලින් ප්‍රයෝජනය ගන්නේ කෙසේද කියලා සොයා බලා පසු විපරම් කිරීමට ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කළා. ඊටත් පෙර සිටම ඵලදායිතා ලේකම් කර්යාලය විශාල ඵලදායිතාවක් රාජ්‍ය හා පෞද්ගලික අංශ වල ඇති කළා.

අද රාජ්‍ය සේවයේ බොහෝ පිරිස් මේ ඵලදායිතාව පිළිබඳව සොයා බලා කටයුතු කරනවා. යම් රජයේ කාර්යයක් පිළිබඳ අපට වේලාවක් ගෙන එම කාර්යය ඉටු කර දීමට රාජ්‍ය සේවකයා කටයුතු කරන තත්ත්වයට ඵලදායිතාවය වර්ධනය කර තිබෙනවා.

මේ සම්මාන උළෙලේදී පාසල් රාජ්‍ය හා පෞද්ගලික අංශය වෙනුවෙන් ආයතන 165 ක් ඇගයීමට ලක් කර සම්මාන ප්‍රදානය කෙරුණි.

ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයත් කම්කරු සබඳතා හා මිනිස් බල අමාත්‍යාංශයත් මේ සඳහා දායකත්වය සපයා ඇත. කම්කරු සබඳතා අමාත්‍යාංශයේ ලේකම් මහින්ද මඩිහහේවා, අග්‍රාමාත්‍ය ලේකම් මහින්ද බන්දුසේන, ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ අධ්‍යක්‍ෂ උපාලි මාරසිංහ, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඩී. දිසානායක මහත්වරු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා