තොරතුරු තාක්‍ෂණ ජාලයට තවත් රාජ්‍ය ආයතන 150ක්

තොරතුරු තාක්‍ෂණ ජාලයට තවත් රාජ්‍ය ආයතන 150ක්

ලබන වසරේ දී තවත් රාජ්‍ය ආයතන 150ක් තොරතුරු තාක්‍ෂණ රැහැනින් සම්බන්ධ කිරීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ආයතනය(ICTA) පියවර ගෙන ඇත.

ඒ අනුව ලංකා රාජ්‍ය ජාල ව්‍යාපෘතියේ (LGN) දෙවැනි පියවර අරඹා ඇති අතර, අලුතින් එක්වන රාජ්‍ය ආයතන 150ක් සමඟ ලංකා රාජ්‍ය ජාල ව්‍යාපෘතිය මඟින් ආවරණය වන සමස්ත රාජ්‍ය ආයතන ගණන 475ක් බව ICTA හි මෙහෙයුම් නිලධාරි රෙෂාන් දේවපුර මහතා සඳහන් කරයි.

ලංකා රාජ්‍ය ජාල ව්‍යාපෘතිය ක්‍රියාත්මක රාජ්‍ය ආයතන සඳහා අන්තර්ජාල පහසුකම්, VOIP දුරකතන පහසුකම් හා ෆැක්ස් පහසුකම් ආදිය ද ලබා දීම සිදු කරන අතර, අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා පළාත් පාලන ආයතන තොරතුරු තාක්‍ෂණය මඟින් එකම පරිගණක ජාලයකට සම්බන්ධ කිරීම මේ ව්‍යාපෘතියෙන් සිදුවේ.

මෙමඟින් එම ආයතන අතර තොරතුරු හුවමාරු කර ගැනීම පහසුව හා මහජන සේවාවන් කාර්යක්‍ෂමව සිදු කිරීමට හැකියාව ලැබෙන අතර, මේ ලංකා රාජ්‍ය ජාල ව්‍යාපෘතිය තවදුරටත් ව්‍යාප්ත කිරීමේ කටයුතු සඳහා දකුණු කොරියාවේ සැම්සුම් නෙට්වර්ක් ආයතනයේ සහාය ලැබී ඇත.

මේ සඳහා වන ගිවිසුමට (ICTA) ආයතනයේ සභාපති මහාචාර්ය පී. ඩබ්ලිව්. ඈපාසිංහ, මෙහෙයුම් නිලධාරී රෙෂාන් දේවපුර හා සැම්සුම් නෙට්වර්ක් ආයතනයේ නියෝජ්‍ය සභාපති ඩේහීකිම් මහත්වරු නොබෝදා අස්සන් තැබූහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා