ඡන්ද පොළේ සිට මීටර් 500ක් ඇතුළත කලබල කිසිවක් බෑ

ඡන්ද මධ්‍යස්ථානාධිපතිවරුන්ගේ බලතල පුළුල් කර තිබෙනවා

ඡන්ද පොළේ සිට මීටර් 500ක් ඇතුළත කලබල කිසිවක් බෑ

- මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක

දකුණු පළාත් සභා ඡන්දය පැවැත්වෙන සෙනසුරාදා (10) ඡන්ද මධ්‍යස්ථානයේ සිට මීටර් පන්සියයක සීමාව තුළ කලබල සිදුකොට නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමකට අවස්ථාව අහිමි කළහොත් එම මධ්‍යස්ථානයේ ඡන්දය ශූන්‍ය කරන බව මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා කියයි.

ප්‍රධාන ඡන්ද මධ්‍යස්ථානාධිපතිවරයාට මෙතෙක් පැවැරී තිබුණේ එම මධ්‍යස්ථාන පරිශ්‍රය පමණක් වුවත් මේ ඡන්දයේ දී ඔහුට මධ්‍යස්ථානයෙන් බැහැර මීටර් පන්සියයක දුර ප්‍රමාණයේ අධිකාරි බලයද පවරා ඇති බැවින් තමාට ඡන්ද ශූන්‍ය කළ හැකි බව කොමසාරිස්වරයා පෙන්වා දුන්නේය.

එම මීටර් පන්සියයක ප්‍රදේශය තුළ සිට ඡන්ද ආයාචනය කිරීම, ඡන්දදායකයන් පලවා හැරීම බලකිරීම වැනි ක්‍රියාමාර්ග ගන්නේ නම් ඡන්ද ශූන්‍ය කළ හැකි බැවින් එසේ නොකිරීමට වගබලා ගන්නැයි හෙතෙම දේශපාලන පක්‍ෂවලින් ඉල්ලා සිටියේය.

ඡන්ද ගණන් කරන අවස්ථාවේදී කිසියම් පෙට්ටියක් සැකකටයුතු ලෙස දුටුවහොත් එම මධ්‍යස්ථානයේ ඡන්දය ශූන්‍ය කිරීමටත් කටයුතු කරන්නේ යැයි ද කොමසාරිස්වරයා කීවේය.

“වයඹ පළාත් සභා ඡන්දයේ දී නායකච්චේන ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්ද පෙට්ටියේ ඡන්ද පත්‍රිකා දෙක තුන හතරට නමා දමා තිබුණා. ඒ මධ්‍යස්ථානයේ ඡන්දය ශූන්‍ය කළා. ඡන්ද පෙට්ටිය ගැන සැක නම් ඒ සැකයේ වාසිය අප ගන්නවා. ශූන්‍ය කර නැවත ඡන්දයක් පවත්වනවා” යැයි ද කොමසාරිස්වරයා කීය.

මැතිවරණ කොමසාරිස්වරයා එසේ පැවැසුවේ දකුණු පළාත් සභා ඡන්දය පිළිබඳව මැතිවරණ මහලේකම් කාර්යාලයේ ඊයේ (7) සවස පැවැති ජනමාධ්‍ය හමුවේ දීය.

දේශපාලන ප්‍රධානින් හා පාක්‍ෂිකයන් ඡන්ද පොළ ආශි‍්‍රතව කටයුතු කරනවිට බෙහෙවින් ප්‍රවේශමෙන් වැඩ කළ යුතුයි. ඡන්දදායකයන් පැමිණීම වැළැක්වීම, ඡන්ද නියෝජිතයන් පැමිණීම වැළැක්වීම, ඡන්ද නියෝජිතයන් පලවාහැරීම, ඡන්ද පොළට බලෙන් පැමිණීම ඡන්ද පත්‍රිකා හෝ ඡන්ද පෙට්ටි උස්සාගෙන යාම යන නිර්නායක කඩ කිරීමෙන් නිදහස් හා සාධාරණ ඡන්දයකට අවස්ථාව අහිමි වන නිසා ඡන්දය ශුන්‍ය කළහැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකින් තමාට බලතල ලැබී ඇතැයිද කීවේය.

ඡන්ද මධ්‍යස්ථානයේ දී රහස්‍යභාවයට ඉඩ තිබේද? නැතිනම් බලෙන් කටයුතු සිදුවනවාදැයි සුපරීක්‍ෂාවෙන් සිටීමට පිටස්තර ප්‍රදේශවලින් නිලධාරීන් තම නියෝජිතයන් ලෙස පත්කර යවන බවත් එවැනි දේ කලින් සැලසුම්කරගෙන ඉන්නවා නම් නවත්වන්නැයි දැනුම් දෙන බවත් හෙතෙම කීය.

දකුණු පළාත් සභා ඡන්ද විමසීමේදී ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක තුනේ රාජකාරි පිණිස නිලධාරීන් 23,250ක් සෘජුවම සේවයට යොදවන අතර පිටස්තර ප්‍රදේශවලින් නිලධාරීන් 2800ක් යවන බවත් කොමසාරිස්වරයා පැවැසීය.

ඡන්ද විමසීමේ සියලු ප්‍රචාරක කටයුතු 7වැනිදා මධ්‍යම රාත්‍රී 12.00ට අවසන් වන බවත් ඔහු කීය.

මුදල් ගෙවා ප්‍රචාරය කරන දැන්වීම් පිළිබඳ මේ අවස්ථාවේ නීතිප්‍රතිපාදන නොමැති හෙයින් සියලු මාධ්‍ය ප්‍රධානින් පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය පිළිබඳ තේරීම්කාරක සභාව හමුවට කැඳවන ලද විට පැය 48 ක් තුළ එම ප්‍රචාර නැවැත්වීමට ඔවුන් එකඟ වූ බවද පැවැසු කොමසාරිස්වරයා “ අපේක්‍ෂකයින්ට සුභාශිංසන වැනි දේ පවා ප්‍රචාරය නොකළ යුතු යැයිද කීය. මේ ගැන ඉකුත් 5 වැනිදා මාධ්‍ය ප්‍රධානින්ට දැනුම් දුන්නා. 7වැනිදා (ඊයේ) රැස්වීම්වල වාර්තා අද (8) විද්‍යුත් මුද්‍රිත මාධ්‍යයේ පළකළාට කමක් නැහැ” යිද කීවේය.

“ ඡන්ද මධ්‍යස්ථානවලට ඇතුළුවිය හැක්කේ ඒ සඳහා අවසර ලත් අයට පමණයි. තරා තිරම නිසා ඇතිකර ගත් තත්ත්වය මත ඇතුළු වෙන්න බැහැ. ඡන්දදායකයෙක් නොවේ නම් ඇමැතිවරයෙක් මන්ත්‍රීවරයෙක් වුනත් ඇතුළුවෙන්න බැහැ. ඒ වගේම ඇමැතිවරු මන්ත්‍රීවරු ඡන්දය ප්‍රකාශ කිරීමට එනවා නම් අවිගත් රැකවලුන් මධ්‍යස්ථාන පරිශ්‍රයෙන් පිටත රඳවා අවි නැතිව පැමිණිය යුතුයි. එවැනි දේ ගැන පක්‍ෂ ලේකම්වරුන් දැනුවත් කළා. අවි රැගෙන පැමිණියහොත් ඡන්දදායකයන් භීතියට පත්විය හැකිය”.

ඡන්දය නිරීක්‍ෂණය සඳහා පැෆරල් හා මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්‍ෂණ මධ්‍යස්ථානයට ඡන්ද මධ්‍යස්ථානවල සිට කටයුතු කිරීමට ඉඩ දී තිබෙනවා.

පිළිගත් හැඳුනුම්පත් වර්ග හතක් ගැන නිවේදනය කර තිබෙනවා. ඒවා හැර වෙනත් අනන්‍යතා පත්‍ර පිළිගන්නෙ නැහැ. ඡන්ද පොළට ජංගම දුරකථන ගෙන එන්න බැහැ. ඒ වගේම ඡායාරූප හා වීඩියෝගත කිරීමටත් බැහැ. විශේෂ යමක් අවශ්‍ය නම් තේරිම්භාර නිලධාරයා සමග සාකච්ඡාකර ඊට ඉඩ ලබා ගත යුතුයි.

සියලු ප්‍රචාරක පුවරු යනාදිය ඉවත් කළ යුතු වුවත් හම්බන්තොට පොලිස් බල ප්‍රදේශ දෙකක ඒවා ඉවත්කර නැති බවත් ඡන්ද දිනය වන විට ඒවා ඉවත් කළේ නැත්නම් එම ප්‍රදේශවල ඡන්දය නොපවත්වන බවත් එහි වගකීම පොලිසිය බාර ගත යුතු බවත් කොමසාරිස්වරයා කීවේය.

කටවුට්, පෝස්ටර්, බැනර් ඉවත් කරන්න බැහැයි කියන්න පොලිසියට කියන්න බැහැ. කොහේහෝ තිබෙනවා නම් ඉවත් කරන්න. පැෆරල් සංවිධානය මේ ගැන උසාවි ගියා. සැම පොලිස් ස්ථානාධිපතිවරයකුටම මේවා ඉවත් කරන්න කියා තිබෙනවා.

පොලිස් නිලධාරියෙක් මේ කාලය තුළ වරදක් කරනවා නම් ඔහු අනිවාර්ය නිවාඩු ගැන්විය යුතුයි. නැතිනම් විනයානුකූ®ල පරීක්ෂණ පැවැත්විය යුතුයි. මාරු කිරීමට පිළිවන්කමක් නැහැ. මා ඉන්නේ ඒ මතයේ යි.

මාරු කරන ලද වැලිගම පොලිස් ස්ථානාධිපතිවරයා නැවත එහි ම ස්ථානගත කර තිබෙනවා. දහ හත්වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන පටලවාගෙන සිටි එවකට සිටි පොලිස්පතිවරයා මා සමග ලොකු අරගලයක් කළා. ඉදිරි දින තුනේ දී මැතිවරණ කටයුතුවළ යෙදී සිටින පොලිස් නිලධාරීන් ස්වාධීන හා අපක්ෂපාතීව රාජකාරි කරන්නැයි මා ඉල්ලා සිටිනවා.

ජාතික හැඳුනුම්පත නැති කිසිවෙක් ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ හෝ ඡන්දපොළ නියෝජිතයෙක් ලෙස පත් නොකරන ලෙස පක්ෂ හා ස්වාධින කණ්ඩායම් වලට දන්වා තිබෙනවා. මැති ඇමැතිවරුන්ටත් ඡන්ද ගණන් කරන තැනට එන්න බැහැ.

එම ශාලාවෙන් පිට තැනක තේරීම් භාර නිලධරයා යම් ස්ථානයක් වෙන් කළා නම් ඔවුන්ට එතැනට එන්න පුළුවන්. ඡන්ද ගණන් කරන මධ්‍යස්ථානයේ් සිටින පක්ෂ නියෝජිතයන් මාරු කරන්න ඉඩ නැහැ. ඒ වගේම තැනින් තැනට යන්නත් බැහැ.

ඡන්ද පැවැත්වීම සඳහා වත්මන් පොලිස්පතිවරයාගේ සහයෝගය අවශ්‍ය අවස්ථාවේ දී ලැබී තිබෙනවා.

සමහර තොරතුරු මාධ්‍යයට ප්‍රකාශ කළාට අපට ලැබෙන්නේ නැහැ. මටත් මගේ අතිරේක කොමසාරිස් දෙදෙනාටත් නියෝජ්‍ය කොමසාරිස්වරයාටත් හය වැනි විඥානය ලැබී නැහැ. එහෙම ලැබුණා නම් මෙතැන ඉඳන්ම එහෙ වෙන දේ දකින්න තිබුණා.

සියලු කටයුතු සැලසුම් පරිදි සිදු වූවහොත් 10 වැනිදා මධ්‍යම රාත්‍රීයේ පළමු ඡන්ද ප්‍රතිඵලය ලබා දීමට හැකි වේවි යැයි ද නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමකට සියලු කටයුතු සැලසුම්කර ඇතැයි ද කොමසාරිස් වරයා කීවේ ය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා