දුරකථන ගාස්තු සංශෝධනයට වාසුදේව ඉදිරිපත් කළ පෙත්සම ඉවතට

දුරකථන ගාස්තු සංශෝධනයට වාසුදේව ඉදිරිපත් කළ පෙත්සම ඉවතට

දුරකථන බදු සහ ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමට සහ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට එරෙහිව ජනාධිපති උපදේශක වාසුදේව නානායක්කාර ඇතුළු තිදෙනකු ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙනම ඉවත දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය පෙරේදා (06) තීරණය කෙළේ ය.

පෙත්සම සම්බන්ධයෙන් නීතිපතිවරයා ඉදිරිපත් කළ මූලික විරෝධතා 2 ක් පිළිගනිමින් ගාස්තු රහිතව මේ පෙත්සම නිෂ්ප්‍රභ කරණු ලැබීය.

ජනාධිපති උපදේශක වාසුදේව නානායක්කාර මහාචාර්ය කුමාර් ඩේවිඩ්, මේජර් ජෙනරාල් ඩබ්ලිව්. ජේ. ටී. කේ ප්‍රනාන්දු විසින් මේ පෙත්සම ඉදිරිපත් කැර තිබිණි’

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම, එහි අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රියන්ත කාරියප්පෙරුම එහි සභාපති ලලිත් වීරතුංග, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය, සහ නීතිපතිවරයා පෙත්සම මගින් වගඋත්තරකරුවන් කොට සිටියහ.

නිමල් ගාමීණි අමරතුංග, පී. ඒ. රත්නායක , එස්. අයි ඉමාම් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියෙහි මේ පෙත්සම පෙරේදා (06) කැඳවන ලදී.

මෙහිදී වගඋත්තරකාර විදුලි සංදේශ නියාමන කොමිසම, එහි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා, සභාපතිවරයා සහ නීතිපතිවරයා වෙනුවෙන් රජයේ ජේ්‍යෂ්ඨ නීතිඥ සුමති ධර්මවර්ධන මහතා සමග පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් එස්. රාජරත්නම් මහතා පෙත්සමට එරෙහිව මූලික විරෝධතා 2ක් ඉදිරිපත් කෙළේ ය.

අදාළ පෙත්සමෙහි ඇතුළත් වගන්ති 49 න් වගන්ති 17ක්ම මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දුන් තීන්දුවක් නැවත විමසා බලන ලෙස ව්‍යංගාර්ථයෙන් කරන ඉල්ලීමක් බව පළමු විරෝධතාව විය.

ශ්‍රේෂ්ඨාධිකරණ අභියාචන පෙත්සමක තීන්දුවක් මීට පෙර හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා ප්‍රමුඛ විනිසුරු මඩුල්ලක් විසින් දෙනු ලැබීය.

එය නැවත සැලකිල්ලට ගෙන විමසා බලන ලෙස පෙත්සම්කරුවන් ව්‍යංගර්ථයෙන් කරන ඉල්ලීමට අවසර දීම වැරැදි නීතිමය පුර්වාදර්ශ ඇති කරණු ඇති බවට නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා කරුණු ඉදිරිපත් කරණු ලැබීය.

දුරකථන ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලබා දුන් පෙත්සම ඉදිරිපත් කර තිබුණේ ලංකා පාරිභෝගික සංගමය විසිනි. එම පෙත්සම සම්බන්ධයෙන් දුන් තීන්දු ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටීමේ නීතිමය අයිතියක් මේ පෙත්සම්කරුවන්ට නොමැති බව දෙවැනි මූලික විරෝධතාව විය.

එසේම 1991 අංක 25 දරන විදුලි සංදේශ නියාමන කොමිසන් සභා පනතෙහි අංක 5 (කේ) වගන්තිය අනුව දුරකථන බදු සහ ගාස්තු සම්බන්ධ ක්‍රියාත්මක බලය විදුලි සංදේශ නියාමන කොමිසමට පවරා ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා කීය. ශ්‍රි ලංකා ටෙලිකොම් ආයතනය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සංජීව ජයවර්ධන මහතා අදාළ විරෝධතා අනුමත කෙළේ ය. අදාළ පනතේ අංක 9, සහ 12 වගන්ති අනුව ගාස්තු සම්බන්ධ මහ ජනතාවගේ අදහස් විමසීමක් කරන ලෙස පෙත්සම්කරුවන් ඉල්ලා සිටින නමුත් ගාස්තු සංශෝධනයට අදාළ වන්නේ එම වගන්ති දෙක නොව 5 (කේ) වගන්තිය බව ඒ මහතා සඳහන් කෙළේ ය.

මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය දුන් උපදෙස් මත ලංකා පාරිභෝගික සංගමය සහ ටෙලිකොම් ආයතනය එක්ව දුරකථන ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක් පවත්වනු ලැබීය. එහිදී ඉදිරිපත් වූ යෝජනා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ගාස්තු සියයට 8.72 කින් අඩු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මීට පෙර යෝජනා කරණු ලැබිණි. ඒ අනුව දුරකථන පාරිභෝගිකයන්ට එම සහනය ලැබෙන ආකාරය පිළිබඳව වාර්තාවක්ද ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයක් මත විදුලි සංදේශ නියාමන කොමිසම විසින් ඉදිරිපත් කරන ලදී.

අනතුරුව 2007 ජනවාරි මස සිට ක්‍රියාත්මක වන පරිදි දුරකථන ගාස්තු සියයට 9.3 කින් අඩු කිරීමටත් පෙර අය කළ වැඩි ගාස්තු 2007 නොවැම්බර් මස 01 සිට පාරිභෝගිකයන්ගේ බිල්පත් වලින් අඩු කිරීමටත් ශ්‍රේෂ්ඨාධිකරණය යෝජනා කෙළේ ය.

ඒ අනුව කටයුතු කිරිමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විදුලි සංදේශ නියාමන කොමිසමට නියෝග කෙළේ ය. එකී නියෝගය එම කොමිසමට දීම මගින් ශ්‍රේෂ්ඨාධිකරණය විදුලි සංදේශ නියාමන කොමිසමට ගාස්තු සංශෝධනය සම්බන්ධව ඇති බලය පිළිගෙන ඇතැයි නීතිඥ ජයවර්ධන මහතා කීය.

එබැවින් මහජන විමසුමක් මගින් විදුලි සංදේශ නියාමන කොමිසමට ඇති එම බලය වෙනස් කළ නොහැකි බව ඒ මහතා කීය. එසේ ම මේ පෙත්සම කාලාවරෝධීව ඉදිරිපත් කර ඇතැයි ජයවර්ධන මහතා කියා සිටියේ ය.

මෙහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උදිත ඉගලහේවා මහතා කියා සිටියේ මේ පෙත්සම මගින් මීට පෙර දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් නැවත විමසා බලන ලෙස ඉල්ලීමක් කර නොමැති බවයි. විනිසුරු නිමල් ගාමිණී අමරතුංග මහතා මෙහි දී ප්‍රශ්න කෙළේ මූලික විරෝධතා සම්බන්ධව පෙත්සම්කරුවන්ගේ අදහස් කුමක්ද යන්න විමසු අවස්ථාවේ නීතිඥ ඉගළ හේවා මහතා මෙසේ කීය.

එහිදී විනිසුරු අමරතුංග මහතා ප්‍රශ්න කෙළේ මුල් නඩු තීන්දුව ලබා දුන් හිටපු අගවිනිසුරුවරයා විශ්‍රාම යාමට පෙර මේ පෙත්සම ඉදිරිපත් නොකළේ ඇයි ද යන්නයි.

කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය මූලික විරෝධතා පිළිගනිමින් පෙත්සම නිෂ්ප්‍රභ කෙළේ ය. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් එස්. රාජරත්නම් මහතා සමඟ රජයේ නීතිඥ සුමති ධර්මවර්ධන මහතා සහ නීතිඥ සංජීව ජයවර්ධන මහතා වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටියහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා