සමඟියෙන් ජීවත්වීමේ අයිතිය ලබා දුන් ජනපතිට කළගුණ සලකන්න දකුණේ ජනතාවට වරම් ලැබිලා

සමඟියෙන් ජීවත්වීමේ අයිතිය ලබා දුන්
ජනපතිට කළගුණ සලකන්න දකුණේ ජනතාවට වරම් ලැබිලා

ඇමැති චමල් රාජපක්ෂ හම්බන්තොට දී කියයි

ත්‍රස්තවාදීන්ගෙන් රට බේරා ගෙන සියලු ජන කොටස් වලට සාමයෙන් සමගියෙන් ජීවත් වීමේ අයිතිය ලබා දුන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත තම කෘතවේදීත්වය පළ කිරීමේ අවස්ථාව දකුණේ ජනතාවට ලැබී ඇතැයි වරාය ගුවන්සේවා වාරිමාර්ග හා ජල කළමණාකරන ඇමැති චමල් රාජපක්ෂ මහතා පැවසීය.

ඇමැතිවරයා මේ අදහස් පළ කෙළේ හම්බන්තොට සිංගප්පූරු ප්‍රජා ශාලාවේ පැවති හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිවාසලාභීන්ට නිවාස ණය හා ආධාර සමගින් නිවාස හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

දක්ෂිණ ලංකා නිවාස වැඩසටහන යටතේ නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහ නාගරික සංවර්ධන හා පූජා භූමි සංවර්ධන අමාත්‍යාංශයේ දායකත්වයෙන් ජනාවාස සංවර්ධන අධිකාරියේ සහභාගීත්වයෙන් මේ උත්සවය පැවැත්විණි.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ චමල් රාජපක්ෂ මහතා මෙසේද කීය. යුද්ධය නිමා වී අද උදාවී ඇත්තේ අප හැම අපේක්ෂා කළ සාමයයි. ජනාධිපතිතුමන්ගේ නිර්භීත නායකත්වය තුළ අද අප රටේ ජනතාවට ජීවත්වීමේ බිය සැක තුරන්ව නොබියව ජීවත් වීමේ අයිතිය හිමිව තිබෙනවා. එයට සමගාමීව මෙරට ජීවත්වන ජනතාවට හෙට දිනය වඩාත් යහපත් කරලීමේ අරමුණින් විවිධ වූ සංවර්ධන වැඩපිළිවෙළ රජය ක්‍රියාත්මක කරනවා. එය සංකේතවත් කරමින් දකුණුලක හම්බන්තොට දිස්ත්‍රික්කය අද ශීඝ්‍ර සංවර්ධනයක් සිදු වී තිබෙනවා.

මෙම සියවසේ ශ්‍රී ලංකාවේ නාවික කර්මාන්තයේ සංවර්ධනය සංකේතවත් කරමින් හම්බන්තොට වරාය දැන් කඩිනමින් ඉදි වෙමින් තිබෙනවා. එයට සමගාමීව හම්බන්තොට ප්‍රදේශයට අංග සම්පූර්ණ පරිපාලන සංකීර්ණයක්, ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් ඇතුළු හම්බන්තොට ප්‍රදේශයේ මාර්ග, ජලය, විදුලිය ඇතුළු යටිතල පහසුකම් වැඩි දියුණුව ද සිදුව තිබෙනවා.

නාගරික සංවර්ධන හා පූජා භූමි සංවර්ධන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා දහස් සංඛ්‍යාත ජනතාවකගේ ජීවිත බිලි ගනිමින් පැවති ත්‍රස්තවාදී යුද ගැටුම් නිමාකර ජනාධිපතිතුමන් ගේ නායකත්වයෙන් යුත් වත්මන් රජය අද විශේෂ අවධානයක් යොමුකර ඇත්තේ අප රටේ ජනතාව ජීවත් කරලීමේ යුද්ධයෙන් ජය ගැනීමටයි.

මෙහිදී ආර්ථික වශයෙන් ශක්තියක් නොමැති නිවසක අයිතියක්නැති නිවාස අපේක්ෂිත ජනතාවට තමන්ගේම නිවහනක් තම ශක්තියෙන් ඉදි කර ගැනීමේ දායකත්ව වැඩසටහනක් ලෙසින් අරුණෝදය වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. රජයෙන් ලැබුණු සුළු මූල්‍ය ආධාරයකට තම ශ්‍රම දායකත්වය එක් කරලමින් කෙටි කාලයක් තුළදී සිය නිවාස ඉදි කර ගැනීම මගින් මේ දිරිමත් ජන කොටස තමන් ආර්ථික වශයෙන් ශක්තිමත් නොවුනත් ස්ව ශක්තියෙන් සිය නිවහන ඉදි කර ගත හැකි බව ප්‍රායෝගිකව ඔප්පු කොට තිබෙනවා.

වැඩබලන නිවාස හා පොදු පහසුකම් ඇමැති නිවාස ඇමැති ගීතාංජන ගුණවර්ධන මහතා ජනාධිපතිතුමන්ගේ මහින්ද චින්තන ජාතික ප්‍රතිපත්තියට අනුව රටේ සියලු ප්‍රදේශයන්හි විවිධ වූ සංවර්ධන වැඩ පිළිවෙළ දැන් ක්‍රියාත්මක වෙනවා.

එයට සමගාමීව ක්‍රියාවට නැංවෙන ජන සෙවණ ජාතික නිවාස වැඩසටහන යටතේ වඩාත් සංවර්ධිත දිස්ත්‍රික්කයක් ලෙසින් හම්බන්තොට දිස්ත්‍රික්කය හඳුන්වා දිය හැකියි. එම වැඩපිළිවෙළට අනුකූලව ජනාධිපති පදවි ප්‍රාප්තියට පත්ව ගතවූ වසර 05 කට ආසන්න කාලය තුළ හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිවාස අපේක්ෂිත පවුල් 5000 කට අධික ප්‍රමාණයකට නිවාස පහසුකම් සපයාදීම නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ මග පෙන්වීම යටතේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සිදු කොට තිබේ.

ඒ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 65 කට ආසන්න වේ. 2008 වසරේදී පමණක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ මෙම නිවාස වැඩපිළිවෙළ වෙනුවෙන් රජය රුපියල් මිලියන 20 කට අධික මුදලක් වැය කර ඇති අතර 2009 සැප්තැම්බර් මාසය වන විට වැය කොට ඇති මුදල රුපියල් මිලියන 25 කට ආසන්න වෙනවා.

අද දිනයේදී මෙම ස්ථානයට රැස්ව සිටින නිවාසලාභීන්ට රුපියල් මිලියන 05 කට ආසන්න නිවාස ණය සහ ආධාර ප්‍රදානය කිරීම සිදු කෙරෙන අතර තවත් පවුල් 100 කට අධික ප්‍රමාණයකට ඔප්පු ප්‍රදානය කිරීමද සිදු කරනවා.

ජලසම්පාදන ඇමැති මහින්ද අමරවීර, හම්බන්තොට නගරාධිපති ගාමිණි ශ්‍රී ආනන්ද, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රසන්න ගුණවර්ධන, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරී එල්. එස්. පලන්සූරිය යන මහත්වරුද මෙම උත්සවය අමතා කතා කළහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා