පවතින ඡන්ද ක්‍රමය කුමක් වුවත් වගකීම් ඉටුකිරීම නායකයන්ගේ යුතකමක්

පවතින ඡන්ද ක්‍රමය කුමක් වුවත් වගකීම් ඉටුකිරීම නායකයන්ගේ යුතකමක්

සුමේධා අභිනන්දන උළෙලේ දී ඇමැති මෛත්‍රීපාල කියයි

ඇමතිනී සුමේධා ජී ජයසේන මහත්මිය ‘සුමේධා අභිනන්දන’ සමරු කලඹ ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතාට පිළිගැන්වූ අයුරු.

මේ රටේ දේශපාලන සංස්කෘතිය පිරිහී ඇත්තේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින ඡන්ද ක්‍රමය නිසා බව කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඇමැතිවරයා මේ බව පැවසුවේ ළමා හා කාන්තා අභිවෘද්ධි ඇමැතිනි සුමේධා ජී ජයසේන මහත්මියගේ පාර්ලිමේන්තු දිවියට වසර 20ක් පිරීම නිමිත්තෙන් මොනරාගල මහානාම මධ්‍ය මහා විද්‍යාලයේ දී ඉකුත් 5 දා පැවැති ‘සුමේධා අභිනන්දන’ උපහාර උළෙලට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමිනි.

තවදුරටත් අදහස් දැක් වූ ඇමැතිවරයා අද පවතින මනාප ඡන්ද ක්‍රමය දේශපාලන පක්ෂ ප්‍රතිපත්ති දර්ශන යටපත් කරනවා. මැතිවරණයකට ඉදිරිපත් වුණාම අපේක්ෂකයා මෙන් ම ඔහුගේ ආධාරකරුවන් කථා කරන දේවල්, ගහන පෝස්ටර්, කටවුඩ්, බැනර් ප්‍රදර්ශනය කරන්නේ පක්ෂයේ ප්‍රතිපත්ති දර්ශන අනුව නොවේ. මෙම ඡන්ද ක්‍රමය පුද්ගලයා ශක්තිමත් කිරීම, ඉහළට නැංවීම, ජනප්‍රිය කිරීම, ශක්තිමත් කිරීම පමණයි කරන්නේ. එවිට පොදු බව විනාශ වෙනවා. සාමුහිකත්වය සමාජය තුළ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වී බරපතළ දේශපාලන ප්‍රශ්න මතුවෙනවා.

මේ සඳහා පවතින මැතිවරණ ක්‍රමය වෙනස් කළ යුතුයි. මනාප ක්‍රමය අහෝසිකළ යුතු ය. ක්‍රමය කුමක් වුවත් තමන්ගේ යුතුකම් හා වගකීම් ඉටු කිරීමට දේශපාලනඥයන් ද වග බලාගත යුතුයි. පවතින සමාජ විෂමතාවයන් අනුව ජාතික මෙන් ම අන්තර් ජාතික දේශපාලන බලවේග, ආර්ථික බලවේග, සංස්කෘතික කුණාටු නව තාක්ෂණයත් සමඟ එන නොවැදගත් දේ, පිළිගත නොහැකි දේ වැනි පරිසර රටාව තුළ අද දසරාජ ධර්මයෙන් රට පාලනය කිරීමට නොහැකියි. එහෙත් අද අපේ රටේ පවතින තත්ත්වය අනුව ජාතිය ශක්තිමත් කරන්න පෞඪ ජාතියක් විදියට ඉදිරියට යන්නට අපගේ වගකීම හා යුතුකම කුමක් ද යන්න රටේ ජනතාව තේරුම් ගෙන තිබීම පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් විදිහට මම ජනතාවට ගෞරව කරනවා.

අප රටේ උරුමය ශිෂ්ඨාචාරය ආර්ථික පසුබිමත් සමඟ ලෝකයේ පෞඪ රාජ්‍යයක් විදිහට පෙනී සිටීමට මහින්ද රාජපක්ෂ ජනපතිතුමාගේ ඍජු නායකත්වය නිසා අපට හැකි වුණා.

එය තේරුම් ගෙන වැරදි දේ, සුදුසු නුසුදුසු දේ සුභවාදී අසුභවාදී දේ අධ්‍යයනය කරමින් වගකීමෙන් යුතු ව දේශපාලනඥයන් කටයුතු කිරීම ඉතා වැදගත්. කලදුටු කළ වල ඉහගන්නා දේශපාලනඥයන් සමාජය ප්‍රතික්ෂේප කරනවා. බලය ඇතත් නැතත් තමා ගොඩනගාගත් ප්‍රතිරූපය ආරක්ෂා කර ගැනීමට වගබලා ගත යුතුයි. විරුද්ධ මත දරන්නන් නොසලකා හැරීමෙන් තමන් විනාශය කරා ළගා වන බව ද සිහිතබා ගත යුතුයි. සමාජයේ පොදු පිළිගැනීම් වන්නේ වඩාත් නිවැරැදි දේ පිළිගැනීමයි.

නිවැරදි දේ තේරුම් ගෙන පොදු මතයට අනුව ජනතාවට සේවය කිරීමෙන් වසර 20 ක් පාර්ලිමේන්තුවේ අපරාජිතව සිටීමට හැකිවීම සුමේධා ජයසේන මහත්මිය ලබාගත් ජනතා ජයග්‍රහණයක්.

ඇමැතිවරුන් වන ජගත් පුෂ්පකුමාර, ධර්මදාස බණ්ඩා, ඌව හිටපු ප්‍රධාන අමාත්‍ය විජිත් විජයමුනි සොයිසා මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා