30 වසරක යුද්ධයෙන් පසු ජනතාවගේ මානසිකත්වය යහපත් අතට හැරී තිබෙනවා

30 වසරක යුද්ධයෙන් පසු
ජනතාවගේ මානසිකත්වය යහපත් අතට හැරී තිබෙනවා

- ඇමැති නිමල් සිරිපාල ද සිල්වා

තිස්වසරක යුද්ධයෙන් පසුව උදාකර ගත් නිදහසත් සමඟ රටේ ජනතාවගේ මානසික සෞඛ්‍ය සුබසාධනය යහපත් අතට හැරී ඇති බව සෞඛ්‍ය ආරක්ෂණ හා පෝෂණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කෙළේය.

යුරෝපීය රටවලට ධන බලය, පිරිස් බලය, යුද බලය ආදී කවර බලයක් තිබුණත් ඔවුන්ට මානසික තෘප්තිමත්භාවයක් නැති බවද, මේ අතෘප්තිමත්කරභාවය නිසා එම රටවල් සෙසු රටවලට ද බලවත් පීඩනයක් එල්ල කරන බව ද ඒ මහතා පැවසුවේය.

අග්නිදිග ආසියානු කලාපීය රටවල මානසික සෞඛ්‍ය සුබසාධනය සඳහා ශ්‍රී ලංකාවේ ටාජ් හෝටලයේ දී පැවැති අන්තර්ජාතික සමුළුව අමතමින් ඇමැතිවරයා පෙරේදා (06) මේ අදහස් පැවසීය.

මේ සමුළුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය රටවල කාර්යාලය විසින් සංවිධානය කර තිබිණි. මේ සඳහා ඉන්දියාව, නේපාලය, තායිලන්තය, පිලිපීනය, ඉන්දුනීසියාව ආදී රටවල් ගණනාවක නියෝජිතයන් 150 දෙනෙකු පමණ සහභාගි වී සිටියහ. ලෝක සෞඛ්‍ය සම්මේලනයේ සභාපතිවරයා වශයෙන් නිමල් සිරිපාල ද සිල්වා මහතා කළ ඉල්ලීමකට අනුව මේ සමුළුව මෙවර ශ්‍රී ලංකාවේ පැවැත්වීමට කටයුතු යොදා ඇත. එවැනි සමුළු කිහිපයක් ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ද නියමිතය.

මානසික සුබසිද්ධිය උදෙසා කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ලෝකයේ විශිෂ්ටම ඉගැන්වීම මීට වසර 2500කට පමණ පෙර බුදුරජාණන් වහන්සේ දේශනා කළ බවත්, අධික සැපත් අධික දුකත් මානසික සුබසිද්ධියට අහිතකර බවත් පැවසූ ඇමැතිවරයා අත්ථකිලමතානුයෝගය සහ කාමසුඛල්ලිකානුයෝගය අත්හැර මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කිරීම තුළින් මානසික සමබරතාව මෙන්ම ශාරීරික තුලිත බව පවත්වාගත හැකිබව ද කීය.

සමස්ත රට පුරාම ජනතාවගෙ මානසික යහපැවැත්ම තහවුරු කිරීමට වත්මන් රජයට හැකියාව ලැබී ඇතැයි ද, ඒ අනුව රටට පැමිණෙන විදේශීය සංචාරකයන්ට කිසිදු බියකින් තොරව සංචරණයට අවස්ථාව උදා වී ඇතැයි ද ඒ මහතා පැවැසුවේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අතුල කහඳලියනගේ මහතා යුද්ධය දිනා සිටින මෙවැනි මොහොතක ජනතාවගේ මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය දරන උත්සාහය කාලෝචිත බව කීය. අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ ජයාන් මෙන්ඩිස් මහතා ජනතාවගේ සිත් තුළ තිබෙන සෘනාත්මක සිතුවිලි බැහැර කර ධනාත්මක ආකල්ප ඇති කර ගැනීමෙන් ඉදිරියේදී බිහිවන පරම්පරාව ද යහපත් ආකල්ප ඇති පිරිසක් ලෙස රටට දායක කළ හැකි බව ය.

මේ අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂිකා වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත වෛද්‍ය ආර්. මේතා, මහත්ම මහත්මීහු සහභාගි වූහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා