යුද අධිකරණය අධිකරණයක්

යුද අධිකරණය අධිකරණයක්

ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි

යුද අධිකරණය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව නිසි පරිදි බලය ලත් අධිකරණයක් බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇතැයි අභියාචනාධිකරණය ඊයේ (25) ප්‍රකාශයට පත් කෙළේ ය. මරණ දඬුවම පවා නියම කළ හැකි යුද අධිකරණය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 89 - D වගන්තියේ සඳහන් වන ‘කවර හෝ අධිකරණයක්’ යන නිර්වචනයට ඇතුළත් වන බව අගවිනිසුරු අසෝක ද සිල්වා සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සලීම් මර්සුප් මහත්වරුන් වෙන වෙනම ලියා ඇති තීන්දුවල සඳහන් වේ.

සරත් ෆොන්සේකා මහතාගේ මන්ත්‍රීධුරය අහිමි වීමට එරෙහිව ඒ මහතා අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබූ පෙත්සම විභාගයේ දී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 89 - D වගන්තියේ කියැවෙන නිසි බලය ලත් අධිකරණ යටතට යුද අධිකරණය අයත් වන්නේද පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපණය ලබා ගැනීම සඳහා අභියාචනාධිකරණය විසින් ඉදිරිපත් කෙරිණි. ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච විනිසුරු මඬුල්ලක් හමුවේ පැවැත්වුණු විභාගයකින් පසුව එහි මතය සහිත තීන්දු දෙකක් අභියාචනාධිකරණය වෙත යොමු කෙරිණි.

අගවිනිසුරු අසෝක ද සිල්වා, ශිරාණි බණ්ඩාරනායක, නිමල් ගාමිණී අමරතුංග, සලීම් මර්සුප් සහ කේ. ශ්‍රීපවන් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලයේ මතය සහිත තීන්දු දෙක ඩබ්ලිව්. එල්. ආර්. සිල්වා, ඒ. ඩබ්ලිව්. එස්. සලාම් සහ උපාලි අබේරත්න යන අභියාචනාධිකරණ විනිශ්චය මණ්ඩලය මගින් ප්‍රකාශයට පත් කෙරිණි. තීන්දු දෙක මගින් එළැඹ ඇති නිගමනය වනුයේ යුද අධිකරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නිසි බලය ලත් අධිකරණයක් බවයි.

යුද හමුදා පනතේ 133 වැනි වගන්තිය යටතේ මරණීය දණ්ඩනය පැනවීමට සහ සිර දඬුවම් නියම කිරීමට යුද අධිකරණයට බලය ඇති අතර එවැනි දඬුවම් නියම කළ හැක්කේ නිසි බලයලත් අධිකරණයකට පමණක් බවද තීන්දු සඳහන් කරයි.  තීන්දුවේ මෙසේද සඳහන් වේ. යුද අධිකරණය ආණඩු ක්‍රම ව්‍යවස්ථාවට පෙර පිහිටු වූ අධිකරණයක් වන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් එම අධිකරණය පිළිගෙන තිබේ. නඩු ඇසීම, සාක්කි විමසීම, වලංගු දඬුවම් පැනවීම, මරණ දඬුවම් නියම කිරීමට යුද අධිකරණයට බලය පවතී.

මරණ දඬුවම පවා පැනවීමට හැකි නම් යුද අධිකරණය බලයලත් අධිකරණයක් නොවන්නේ කෙසේද යන නීතිපතිවරයා ඉදිරිපත් කළ තර්කය අධිකරණය පිළිගනී. අධිකරණ සංකල්පයට සියලු දෙනාගේම පිළිගැනීමක් පවතී. යුක්තිය පසිඳලීමට පවතින ලිඛිත නීතිරීතිවලට අනුකූ®ලව පාර්ලිමේන්තුවේ අනුමැතිය අනුව පිහිටු වූ විනිශ්චය සභා සහ ආයතන අධිකරණ ලෙස සැලකිය යුතු බව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 105 ව්‍යවස්ථාවේ පැහැදිලිවම සඳහන් වේ.

ඒ අනුව යුද අධිකරණයද එසේ පිහිට වූ අධිකරණයකි. ව්‍යවස්ථාවේ 142 වැනි ව්‍යවස්ථාව අනුව රඳවා ගෙන සිටින රැඳවියන් යුද අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාරයට නියම කිරීමට අභියාචනාධිකරණයට බලයක් තිබේ. මෙම සියලුම කරුණු සැලකිල්ලට ගැනීමේදී යුද අධිකරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 - D ව්‍යවස්ථාවේ සඳහන් වන අධිකරණයක් බවට අධිකරණයේ මතය යැයි තීන්දුවේ සඳහන්ය. තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ෆර්සානා ජමීල් මහත්මිය අධිකරණය අමතමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපණය අනුව පෙත්සම නිශ්ප්‍රභ කරන ලෙස ඉල්ලා සිටියාය.

යුද අධිකරණය ආ.ක්‍ර.ව. වේ 89 ච් ව්‍යවස්ථාව අනුව අධිකරණයක් නොවන හෙයින් මන්ත්‍රීධූරය අහිමි කිරීමට වගඋත්තරකරුවන් ගත් ක්‍රියාවන් නිත්‍යනුකූ®ල නොවන නිසා එම ක්‍රියාවන් අත්හිටුවීමට රිට් ආඥාවක් පෙත්සම්කරු ඉල්ලා ඇති බවත් යුධ අධිකරණය බලය ලත් අධිකරණයක් බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති හෙයින් පෙත්සම පවත්වා ගෙන යාමට පෙත්සම්කරුට අයිතියක් නොමැති බවත් සඳහන් කළාය.

පෙත්සම පවත්වාගෙන යෑමේ හැකියාව පිළිබඳව විමසීම සඳහා පෙත්සම පෙබරවාරි 11 දා දක්වා කල්තැබිණි. රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ අර්ජුන ඔබේසේකර මහතා සමග නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ෆර්සානා ජමින් මහත්මිය නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියාය. ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ෆොන්සේකා මහතා වෙනුවෙන් පෙනී සිටියේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා