අනුරාධපුර බන්ධනාගාරයේ ගැටලු සමථයකට පත් වෙයි

අනුරාධපුර බන්ධනාගාරයේ ගැටලු සමථයකට පත් වෙයි

පාලනය මූලස්ථාන අධිකාරීවරයකු යටතට

අනුරාධපුර බන්ධනාගාරයේ පෙරේදා (24) සිදුවූ ගැටුම නිසා ඇතිවූ නොසන්සුන්තාව සමථයකට පත් කර එහි පාලන කටයුතු පවත්වාගෙන යාම සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තු මූලස්ථානයේ මූලස්ථාන අධිකාරීවරයකු වූ ගාමිණී කුලතුංග මහතා පත් කර ඇත.චන්ද්‍රසිරි ගජධීර මහතාගේ උපදෙස් පරිදි මේ පත්වීම සිදු කර ඇතැයි එම අමාත්‍යාංශ ලේකම් ඒ. දිසානායක මහතා කීය.

ඊයේ (25) උදෑසන 4.00 පමණ වන විට අනුරාධපුර බන්ධනාගාරයේ තත්ත්වය පාලනය කළ බවත් සියලුම රැඳවියන් අදාළ සිරමැදිරිවලට යොමු කළ බවත් දිසානායක මහතා කීය.  ඇමැති චන්ද්‍රසිරි ගජධීර මහතා, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් මේජර් ජනරාල් වී. ආර්. සිල්වා, බන්ධනාගාර කොමසාරිස් ලක්ෂ්මන් සිල්වා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් අනුරාධපුර බන්ධනාගාර පරිශ්‍රයේදී ඊයේ (25) පැවැත්වූ හදිසි රැස්වීමකදී අනුරාධපුර බන්ධනාගාරයේ පෙරේදා (24) සිදුවූ ගැටුම පිළිබඳව තවදුරටත් කරුණු සෙවීමට අමාත්‍යාංශ අතිරේක ලේකම් වී. කේ. එස්. රවින්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් පත් කළ බවද දිසානායක මහතා පැවසීය.

ඡායාරූපය - අනුරාධපුර සමූහ

ගැටුමක් දක්වා දුර දිග ගිය සිදුවීමට මුල්වූ සිරකරු ඉල්ලීම් පිළිබඳව සලකා බලන ලෙස මෙහිදී ඇමැතිවරයා බන්ධනාගාර මූලස්ථාන අධිකාරී ගාමිණී කුලතුංග මහතාට උපදෙස් ලබා දී ඇත.     අනුරාධපුර බන්ධනාගාරයේ පවතින සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරීම, මළපවාහන පද්ධතිය ක්‍රමවත් කිරීම, සිරකරුවන් සමග බන්ධනාගාර කළමනාකාරීත්වය සාකච්ඡා කිරීම, සිරකරුවන්ගේ අඩු පාඩු දුක් ගැනවිලි පිළිබඳව කළමනාකාරීත්වය ඇහුම්කන්දීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් මේ සාකච්ඡාවේදී ඇමැති චන්ද්‍රසිරි ගජධීර මහතා හමුවේ අනාවරණය කර ඇත.

ඉල්ලීම් අතර සාධාරණ හා ඉටු කළ හැකි ඒවා පිළිබඳව අවධානය යොමු කර ඒ සඳහා කඩිනම් විසඳුම් ලබා දෙන්නැයි ගාමිණී කුලතුංග මහතාට ඇමැතිවරයා උපදෙස් ලබා දුන් බවද අමාත්‍යාංශ ලේකම්වරයා කීය. අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියන් 600 කට අධික පිරිසක් සිටින අතර දඬුවම් නියම වූ රැඳවියන් ප්‍රමාණය 100 ඉක්මවයි. කාන්තා රැඳවියන් සංඛ්‍යාව 60 කි.  පෙරේදා (24) සිදුවූ ගැටුමින් තුවාල ලැබූ රැඳවියන් 27 ක් බන්ධනාගාර නිලධාරීන් 08 ක් අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබන අතර බරපතළ තත්ත්වයේ පසුවන රැඳවියකු කොළඹ ජාතික රෝහලට යවා ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා