මහා බෝධි ප්‍රහාරයට සැක දෙදෙනෙක් අත්අඩංගුවට

මහා බෝධි ප්‍රහාරයට සැක දෙදෙනෙක් අත්අඩංගුවට

ඉන්දියාවේ චෙන්නායිහි ශ්‍රී ලංකා මහාබෝධි මධ්‍යස්ථානයට පෙරේදා (24) රාත්‍රී මැර ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු තමිල්නාඩු ප්‍රාන්ත පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.  මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ මෙසේ ද දැක් වේ. විදේශ කටයුතු අමාත්‍යවරයා ද කොළඹ පිහිටි ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය හරහා ඉන්දියන් රජය සමඟ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදු කරන බවට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය එරට සිටින ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් වඩිවෙල් ක්‍රිෂ්ණ මූර්ති මහතා අවශ්‍ය පියවර ගත් බව ඊයේ කොළඹ මහා බෝධි අග්‍රශ්‍රාවක මහා විහාරයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක් වූ ශ්‍රී ලංකා මහා බෝධි සංගමය නියෝජ්‍ය ලේකම් හා චෙන්නායි මහා බෝධි මධ්‍යස්ථානාධිපති පූජ්‍ය කිනියාවල පාලිත හිමියෝ පැවැසූහ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් චෙන්නායි මහා බෝධි විහාරයට ආරක්ෂාව තර කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස උපදෙස් දුන් බවද උන්වහන්සේ පැවසූහ.  මේ කොටි හිතවාදීන්ගේ ප්‍රහාරයේදී කුඹුරුගමුවේ වජිර නායක හිමියෝ ඇතුළු හිමිවරුන් සුළු තුවාල ලබා ප්‍රතිකාර ලබා ගත් බවත් උන්වහන්සේලාගේ සිරුර අභ්‍යන්තරයට කිසිදු හානියක් නොමැති බවත් ප්‍රකාශ කළ කිනියාවල පාලිත හිමියෝ මීට පෙර කිසිදු අවස්ථාවක චෙන්නායි මහා බෝධි විහාරයට කිසිදු ප්‍රහාරයක් එල්ල නොවූ බව සිහිපත් කළහ.

මේ නිසා විශාල ගැටුමක් ඇති කර නොගන්නා ලෙසත් ද්‍රවිඩ ජනතාවට කිසිදු හානියක් නොවන ආකාරයට කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටි පාලිත හිමියෝ මේ සිද්ධිය පදනම් කරගෙන කිසිඳු ආකාරයකින් හෝ පසුබට නොවන බවත් පියවරෙන් පියවර ඉදිරියට ගමන් කරන බවත් සඳහන් කළහ. මීට පෙර වෙසක් උත්සවය මෙන්ම, නිදහස් සැමරුම් උත්සව අලංකාර ලෙස පැවැත්වූ බව සිහිපත් කළ මහා බෝධි මධ්‍යස්ථානාධිපති හිමියෝ එම වැඩසටහන් ඉදිරියටත් ක්‍රියාත්මක කරන බව පෙන්වා දුන්හ.

මේ අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා නව දිල්ලි නුවර සිටින ශ්‍රී ලංකා මහකොමසාරිස් ප්‍රසාද් කාරියවසම් මහතා ඊයේ (25) චෙන්නායි නුවරට පැමිණ තිබෙන අතර මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන ලෙසට තමිල්නාඩු ප්‍රධාන ලේකම් වරයාගෙන් ඉල්ලා තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. මේ මාධ්‍ය සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ ප්‍රධාන ලේකම් වසන්ත සිල්වා, විධායක අධ්‍යක්ෂ රූපරත්න පෙරේරා, මාධ්‍ය අධ්‍යක්ෂ සමන් අතාවුද හෙට්ටි , මහත්වරුද එක්ව සිටියහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා